සංවර්ධනය සහ සංවර්ධන සන්නිවේද ව්‍යාපෘති පිළිබඳ සැකෙවින්.....


                              Image result for developing image \

ඕනෑම ව්‍යාපෘතියක් ක්‍රියාවට නැංවීම කරනු ලබන්නේ යම්කිසි ගැටළුවකට විසදුමක් ඉදිරිපත් කිරීමක් වශයෙනි . ප්‍රධාන ධාරාවේ සන්නිවේදන මාධ්‍ය මෙන්ම අන්තර් පුද්ගල හා සමූහ සන්නිවේදන ක්‍රියාකාරකම් ඔස්සේ ද අපේක්ෂිත අරමුණු ඉටුකර ගැනීම පිණිස යොමුවිය හැකිය . ගැටළුවේ ස්වාභාවය හා අදාල ග්‍රාහක ප්‍රජාවගේ ස්වභාවය අනුව එය තීරණය වේ . ව්‍යාපෘතිය දියත්කරන්නා සතුව මූලික අවබෝධය තිබීම අනිවාර්ය සාධකයක් වන අතර නිශ්චිත කාලයක් තුළ අරමුණු කිහිපයක් මුදුන්පත් කරගැනීමට හෝ සැලසුම් කරගැනීමට හෝ සැලසුම් කරන ලද ක්‍රියාපටිපාටියක් ලෙස සන්නිවේදන ව්‍යාපෘතියක් හදුන්වා දිය හැකිය . මේ ආකාරයට ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමේදී එය මනාව කළමණාකරනය කිරීම වැදගත් වේ . තවද ව්‍යාපෘති සැළසුම්කරණයේ අරමුණ විය යුත්තේ සීමිත සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගැනීමත් ව්‍යාපෘතිය අපේක්ෂිත ඉලක්ක කරා මෙහෙයවීමත් ය .

සන්නිවේදන ව්‍යාපෘතියක් සැළසුම් කිරීම තනි පුද්ගලයෙකුට කළ හැක්කක් නොවේ . එය සාමූහික ප්‍රයත්නයකි . මේ සදහා පොදු යොමුවක් හා පොදු එකඟතාවයක් තිබීම වැදගත් වේ . සංවර්ධන සන්නිවේදන ව්‍යාපෘතියක් සැලසුම් කර ක්‍රියාත්මක කිරීම දක්වා පවතිනුයේ තරමක් සංකීර්ණ ක්‍රියාවලියකි . නිදසුනක් ලෙස යම් කිසි ප්‍රජාවක් ඉලක්ක කර ගනිමින් සිදුකරනු ලබන සංවර්ධන ව්‍යාපෘතියක් මගින් එම ජනයාගේ අවශ්‍යතා නිසි පරිදි හදුනාගැනීම හා ඒවා ඉටුකර දීමට හැකිවිය යුතුය . එනම් ගැටළු හදුනා ගනිමින් ඒවාට විසදුම් යෝජනා ගෙනහැර දැක්වීමේ විශේෂ ප්‍රාගුණයක් පැවතිය යුතු වන්නේය .

සංවර්ධන ව්‍යාපෘතියක තිබෙන්නා වූ " සංවර්ධනය " යනු කුමක්ද ? එය හුදෙක්ම අප සිතන්නා වූ සංවර්ධනය පමණක් ද එනම් ඒ පිළිබඳව මුල් කාලීන අදහස වූයේ සංවර්ධනය යනු " ආර්ථිකය " පදනම් කරගත් සංඛ්‍යානමය මිනුම් දඬු වලින් හසුකරගත හැකි භෞතික දියුණුව බවයි . නමුත් පසු කාලීනව එම අදහස ප්‍රතික්ෂේප විය . වර්තමානය වන විට සංවර්ධන සංකල්පය වෙනස් මුහුණුවරක් ගෙන තිබෙන අතර 1982  මෙක්සිකෝ නගරයේ පැවැත්වූ යුනෙස්කෝ සමුළුවේ දී පෙන්වා දුන්නේ සංවර්ධනය යනු " ආර්ථික වර්ධනය ඉක්මවා පැතිරෙන සංකීර්ණ , පුළුල් හා බහුමානීය ක්‍රියාවලියක් බවයි " . එසේම ශ්‍රීමත් ආතර් ලුවිස් පැවසූයේ සංවර්ධනය යනු ආර්ථික මෙන්ම භෞතික හා ආධ්‍යාත්මික අංශවල වර්ධනයක් බවයි . තවද ඩඩ්ලි සියර්ස් පෙන්වා දුන්නේ සංවර්ධනය යනු දරිද්‍රතාව , සාක්ෂරතා ගැටළු , විරැකියාව , සමාජ අසමානතාවය ආදිය දුරුකිරීම බවයි . මේ අනුව සලකා බලන කළ විවිධාකාර නිර්වචනානුසාරයෙන් ද සංවර්ධනය යන සංකල්පය අවබෝධ කරගැනීමත් සංවර්ධන ව්‍යාපෘති සැකසීම පිළිබඳ යම් අවබෝධයක් ලබා ගැනීමක් ද කළ හැකිය .

- තිලිනමල් සුසරා අමරවීර -

Comments

Post a Comment

Popular posts from this blog

සිංහල සිනමා වංශය

සමාජ යථාර්ථවාදය සහ සිනමාව .

කසුකුසුව 01 - රත්න ශ්‍රී විජේසිංහ සමඟ