සිංහල සිනමා වංශය



                                               සිංහල සිනමා වංශය .

                                 Image result for sri lanka film industry  
                                                               චිත්‍රපට ඉතිහාසය ගැන කතා කිරීමේ දී 19 වන සියවසේ සිට 21 වන සියවස ආරම්භය දක්වා අවුරුදු ගණනාවක් පුරාවට විහිද යයි . ලංකාවේ සිනමාවේ ආරම්භය ගැන කතා කිරීමට ප්‍රථම ලෝක සිනමාවේ ආරම්භය ගැන සාරාංශ වශයෙන් හෝ විමසීම ඉතාමත් වැදගත් වේ . එයට හේතුව වන්නේ ලෝක සිනමාවෙන් ලද ආභාශය තුලින් ලාංකික සිනමාව උපත ලැබීමයි . චිත්‍රපට කලාව සන්නිවේදන සහ රසාස්වාදයේ අංගයක් බවටද අද වන විට පත්ව ඇත . එයට හේතුව චිත්‍රපටය මගින් කලාව , දේශපාලනය , තාක්ෂණය , සමාජය යන ඒකකයන් තුලට සැලකිය යුතු ප්‍රභල බලපෑමක් එල්ල කිරීමට හැකි ප්‍රභල මාධ්‍යක්  වීමයි . 
                                                      ලෝක චිත්‍රපට ඉතිහාසයේ මූලාශ්‍රගත ස්ථිරවම සනාථ කල හැකි මුල්ම චිත්‍රපටය ලෙස සඳහන් වන්නේ එංගලන්තයේ ලුවිස් ලී ප්‍රින්ස් විසින් 1888 ඔක්තෝම්බර් 14 වන දින එංගලන්තයේ බටහිර යෝක්ෂයර් හි ලීඩ්ස් රවුන්ඩ් ප්‍රදේශයේ පටිගත කරන ලද “ Roundhay Garden Scene ” නම් දර්ශනයයි . දැනට ඉතිරිව ඇති සාක්ෂි මගින් ලොව මුල්ම චිත්‍රපටය ලෙස හදුන්වා දිමට හැකිවන්නේ මෙම චිත්‍රපටයයි . එමෙන්ම 1895 - 12 - 28 දින පැරීසියේ දී ලුවී ලුමියර් සහ ඔගස්ටේ ලුමියර් යන දෙදෙනා විසින් “ Arrival of a Train at La Ciotat ( 1896 ) ” යන කාලය විනාඩි 02 කින් යුක්ත චිත්‍රපටයක් ප්‍රදර්ශණය කර ඇත . මෙය ද ලෝක සිනමාවේ කැපී පෙනෙන ප්‍රභල සිදුවීමක් ලෙස හදුන්වා දීමට හැකිය . එඩ්වින් .එස් . පෝටර් , ඩී . ඩබ්ලිව් . ග්‍රිපිත් , සර්ජි . එම් . අයිසන්ටයින් යන පුද්ගලයන් ලෝක සිනමාවේ ආරම්භක පුරෝගාමීන් ලෙස හදුනා ගැනීමට හැකිය . මෙලෙස සිනමාව ප්‍රාථමික අවදියේ සිට ආරම්භවී අද වන විට ලෝකයේ රටවල් රැසක් පුරා ව්‍යප්ත වෙමින් ප්‍රභල සන්නිවේදන මාධ්‍යක් බවට පත්වී තිබේ . 
                                                       ලාංකීය සිනමා ඉතිහාසය ගැන කතා කිරීමේ දී ලංකාව තුලට සිනමා කලාව පැමිණ ව්‍යප්ත වන්නේ බ්‍රිතාන්‍ය පාලනයට යටත්ව පැවති යුගයේදීය . ලෝකය තුල සිනමාව ආරම්භ වී වසර පහක් ගතවීමටත් ප්‍රථමයෙන් සිනමා අද්දැකීම ලබා ගැනීමට ශ්‍රී ලාංකිකයන්ට හැකි විය . බටහිර ජාතීන් මෙරට යටත්කර සිය පාලනයට ගැනීමට ප්‍රථම විදේශ ජාතීන් රැසක්ම මෙරට පාලනය කරන ලදී . නමුත් ඔවුන්ට මෙරට සම්පූර්ණයෙන්ම යටත්කර ගැනීමට නොහැකි විය . 1796 දී බ්‍රිතාන්‍යයන් විසින් ලන්දේසීන්ව මුළුමනින්ම පරාජයට පත්කිරීම සිදුකරන ලද අතර උඩරට ගිවිසුම මඟින් මුළුමහත් ලංකාවම ඒකාබද්ධ පාලනයකට නතුකර ගැනීමට හැකි විය . 1833 දී කෝල්බෲක් කැමරන් වාර්ථාව මගින් ලංකාවේම පාලනය ඒකාබද්ධ කිරීමෙන් අනතුරුව මෙරට නව සමාජ ක්‍රමයක් ඇති විය . මෙම පසුබිම සිනමා ප්‍රදර්ශණ ව්‍යාපාරය ව්‍යාප්ත වීමට බෙහෙවින්ම ප්‍රයෝජනවත් විය . විශේෂයෙන්ම 19 වන සියවසේ දී ඇති වූ විදේශ සම්බන්ධතා නිසා විවිධ සමාජ පරිවර්තන රැසකටම මෙරට සමාජය නතුවිය . ඒවා තුලින් ධනවාදී සමාජ රටාවකට අනුව හැඩගැසීම සිදුවිය . වතු වගාව හේතුවෙන් මුදල් හුවමාරු ආර්ථිකයක් බිහිවීම නිසා සමාජ , දේශපාලන , අධ්‍යාපනික , ප්‍රවාහන යන අංශයන්ගේ ඉමහත් දියුණුවක් ඇති විය . ප්‍රධාන වශයෙන්ම කොළඹ නගරය රටේ ප්‍රධාන නගරය වෙමින් දියුණු වීමත් සමඟ රටේ ධනවතුන් සහ මධ්‍යම පාන්තිකයන්ගෙන් කොළඹ නගරය පිරීයාම සිදුවිය . මෙම නිසා ලංකාවේ සිනමා ව්‍යාපාරය පළමුවෙන්ම ආරම්භ වූයේ කොළඹ නගරය කේන්ද්‍ර කරගෙනය . ලංකාවේ පළමුවෙන්ම සිනමා ව්‍යාපාරය ආරම්භ වූ බවට සඳහන්ව ඇත්තේ කොළඹ කොටුව , මල්වත්ත හා චාමස් ධාන්‍යාගාරය ආශිත ප්‍රදේශයෙනි . මේ වන විට ලංකාවේ සිටි යුරෝපා ජාතීන් මෙන්ම ලාංකීය උගත් පිරිස් තම විනෝදාස්වාදය සඳහා මෙම කොටුව මල්වත්ත ප්‍රදේශයට පැමිණ ඇති බව කියවේ . එයට ප්‍රධානම හේතුව වූයේ විදේශීය නාට්‍ය , සංගීත , සර්කස් කණ්ඩායම් ඔවුන්ගේ රැගුම් ඉදිරිපත් කිරීම සඳහා මෙම මල්වත්ත ප්‍රදේශය තෝරා ගැනීමයි . මෙම පසුබිම සිනමාව වැනි වාණිජ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට යහපත් වාතාවරණයක් සැපයීය . මීට අමතරව ලංකාවේ පැවති නූර්ති , නාඩගම් , නාට්‍ය වැනි දේශීය කලා අංග ද මෙරට සිනමාව ආරම්භ වීම සඳහා මහත් සේ බලපෑ බව මතක් කල යුතුය . සාමාන්‍යයෙන් විචාරකයන් හදුන්වා දෙන්නේ සිනමාව යනු නාට්‍ය කලාවේ දියුණුම අවස්ථාව හැටියටයි . එයට හේතුව වන්නේ සිනමාව ආරම්භ වීමට මූලික වී ඇත්තේ නාට්‍ය කලාව වීම තුලින් එය පැහැදිලි වේ . යුරෝපය තුල ආරම්භ වී ජනප්‍රිය වූ මැජික් ලන්තෑරුම් ක්‍රමය ද ලංකාව තුල ජනප්‍රිය වී ඇති බවට සාධක හමු වී ඇත . 1873 දෙසැම්බර් 20 වන දා කෲගර් නම් විදේශිකයෙක් මැජික් දර්ශන සමඟ පැනොරොමා දර්ශන කොළඹ නගර ශාලාවේ පෙන්වා ඇති බව නාට්‍ය කලාවේ විකාශනය නම් ග්‍රන්ථය තුල තිස්ස කාරියවසම් මහතා සඳහන්කර තිබේ . 
                                                             1890 කාලය තුල New York , London , Paris යන නගරවල බයිස්කෝප් පෙට්ටි නැමැති උපකරණය මඟින් විවිධ දර්ශණ මිනිසුන් ගැවසෙන ස්ථාන වල පෙන්වා ඇති අතර පසුකාලීනව කොළඹ නගරයේ ද ප්‍රදර්ශණය කර ඇති බව සඳහන් වේ . ශත පහක් වැනි මුදලක් අය කරමින් දඹදිව බෞද්ධ සිද්ධස්ථානයන් හා බැකිංහැම් මාලිගාව වැනි ස්ථානවල රූප රාමු පෙන්වා ඇත . ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට චිත්‍රපටයක් ප්‍රදර්ශණය කිරීම සම්බන්ධයෙන් සාධක හමුවන්නේ 1901 බ්‍රිතාන්‍ය යටත්විජිතයක්ව පැවති සමය තුලයි . මේ වන විට ලංකාවේ ආණ්ඩුකාර ධූරය දැරූ වෙස්ට් රිජ්වේ ආණ්ඩුකාරවරයා විසින් බ්‍රිතාන්‍ය ජාතිකයන්ටත් , ඉංග්‍රීසි උගත් ලාංකික පිරිසටත් චිත්‍රපට දර්ශණ පෙන්වා ඇති බව “ සරසවිය ” පුවත්පතේ ග්‍රැන්විල් සිල්වා මහතා ලියන ලද ලිපියක සඳහන් වේ . මෙම ප්‍රදර්ශනයේ දී අප්‍රිකාවේ බෝයර් යුද්ධයේ ජයග්‍රහණය , එංගලන්තයේ 7 වන ජෝජ් රජුගේ මෞලි මංගල්‍ය , වික්ටෝරියා රැජිනගේ අවමගුල් උත්සවය දර්ශණය කර ඇති බව සඳහන් වේ . වර්ෂ 1901 මෙරට පළමු වරට චිත්‍රපට ප්‍රදර්ශණයක් පැවැත් වූ බව පිළිගත්ත ද ඊට කලින් චිත්‍රපට ප්‍රදර්ශණ පැවැත්වූ බව 1898 – 01 – 08 වන දින “ දිනපතා ප්‍රවෘති ” නම් පුවත්පතේ සඳහන්ව ඇත . තවත් මතයක් වන්නේ 1898 වර්ෂයේ පබ්ලික් හෝල් නම් ශාලාවේ සිනොමැටික් ග්‍රොෆ් නම් යන්ත්‍රය මඟින් “ ඉංග්‍රීසි ක්‍රිකට් ගසන්නෝ ” , “ ග්‍රීක් තුර්කි යුද්ධය ” යන වාර්ථා චිත්‍රපට දෙක ප්‍රදර්ශණය කල බවද සඳහන්වේ . මෙම චිත්‍රපට දෙක ලුමියර් සහෝදරයන්ගේ නියෝජිතයන් විසින් ප්‍රදර්ශණය කර ඇති බව පිළිගනි . මේ ආකාරයට ලංකාවේ සිනමා කර්මාන්තයේ ප්‍රාථමික අවධිය හදුනා ගැනීමට හැකිය .
Image result for rajakiya wikramaya film                                                           මෙලෙස විදේශීය දර්ශණ විකාශයෙන් අනතුරුව මුල්ම වතාවට සිංහල චිත්‍රපටයක් ලෙසින් නිපදවනු ලබන්නේ “ රාජකීය වික්‍රමය ” නම් ලංකාවේ ප්‍රථම නිහඬ චිත්‍රපටය යි . මෙය 1923 දී පටිගත කරන ලද බව සඳහන් වේ . මෙම චිත්‍රපටය කොළඹ බම්බලපිටියේ හිස්ව තිබූ බංගලාවකදී පටිගත කල බව ටයිම්ස් ඔෆ් සිලෝන් වාර්ෂික සගරාවේ (1963) පලවූ ලිපියක සඳහන් වේ . මෙම චිත්‍රපටය කැමරාගත කිරීම කොළඹ දී හා කෝට්ටේ නාවල දියවන්නා ඔය ඉවුරේදී ද සිදුකර තිබේ . ලංකාවේ ප්‍රථම නිහඬ චිත්‍රපටය ලෙස ඉතිහාස ගතවන “ රාජකීය වික්‍රමය ” නම් චිත්‍රපටයේ නිෂ්පාදකවරයා වන්නේ ටී . ඒ . එෆ් නූර්බායි ය . ඔහු පිටරට චිත්‍රපට මෙරටට ගෙන්වා මෙරට සිනමා ශාලාවල පෙන්වූ ව්‍යාපාරිකයෙකි . නිහඬ චිත්‍රපට ප්‍රදර්ශණය කල මුල් අවධිය තුල චිත්‍රපට නැරඹීමට පැමිණියේ ඉතා සුළු පිරිසකි . මෙම නිසා ප්‍රේක්ෂකයන් සිනමාහල් වලට ගෙන්වා ගැනීමට සිනමාශාලා හිමියන් විසින් විවිධ උපක්‍රම අනුගමනය කරන ලදී . මෙම කාල සීමවේ කල්කටාවේ ධර්මරාජික විහාරයට සර්වඥධාතූන් වහන්සේලා පූජා කිරීමේ උත්සවයක් සඳහා අනගාරික ධර්මපාල තුමා ඇතුළු සිංහල බෞද්ධ ප්‍රභූවරුන් කිහිප දෙනෙකු සහභාගී වීමේ උළෙලක් ඇතුලත් වූ චිත්‍රපටයක් වැල්ලවත්තේ පැලස් සිනමා ශාලාව තුල ප්‍රදර්ශණයකර තිබේ . එහි දී එම චිත්‍රපටය නැරඹීමට විශාල දේශීය ප්‍රේක්ෂකයන් ප්‍රමාණයක් පැමිණ ඇත . එමගින් නූර්බායි වටහා ගන්නා ලද්දේ දේශීය ප්‍රේක්ෂකයන් සිනමා ශාලාවලට ගෙන්වා ගැනීමට නම් ලාංකිකයන් ඇතුලත් චිත්‍රපට නිපදවීම කලයුතු බවයි . මෙහි ප්‍රතිඵලය වශයෙන් සිංහල චිත්‍රපටයක් නිපදවීමට නූර්බායි තීරණය කරන ලදී  
                                                       මේ කාල වකවානුව සලකා බැලීමේ දී ඉන්දීය සිනමාව කර්මාන්තයක් වශයෙන් එම සමය තුල යම්කිසි තත්වයක පැවතිනි . එම නිසා නූර්බායි විසින් චිත්‍රපට තැනීම සඳහා ඉන්දීය ශිල්පීන්ගේ සහය ලබාගන්නා ලදී . ඒ යටතේ “ රාජකීය වික්‍රමය ” චිත්‍රපටය නිපදවීමට ඉන්දීය සිනමා අධ්‍යක්ෂක වරයෙකු වූ ගුප්ත නැමැත්තා චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වශයෙන් යොදාගන්නා ලදී . එමෙන්ම චිත්‍රපටයට අවශ්‍ය කැමරා උපකරණ ද ඉන්දියාවෙන්ම ගෙන්වන ලදී . කැමරා ශිල්පියා වශයෙන් කටයුතු කරන ලද්දේ ගුප්ත නම් වූ ඉන්දියාවෙන් ගෙන් වූ කැමරා ශිල්පියෙකි . මෙලෙස ශිල්පීන් හා අවශ්‍ය උපකරණ ඉන්දියාවෙන් ගෙන්වීමට සිදුවූයේ එම කාල සීමාව වන විට මෙරට තුල ශිල්පීන් හා තාක්ෂණික උපකරණ විරල වීම නිසාය . “ රාජකීය වික්‍රමය ” චිත්‍රපටයේ ප්‍රධාන නළුවා වශයෙන් ඇන් .ඇම් පෙරේරා මහතා රඟපාන ලද අතර ප්‍රධාන නිළි චරිතය රඟපාන ලද්දේ සිබිල්පිම් නැමැති ලන්සි තරුණියකි . මෙම ප්‍රථම නිහඬ චිත්‍රපටයේ රඟපාන ලද සෙසු නළු නිළියන් වූයේ ග්‍රේෂන් පෙරේරා , එරික් වීරසේකර , ඇන් . ජී . ඩී ඇල්බට් සිල්වා , රෙජිනෝල්ඩ් පෙරේරා , පර්සි පෙරේරා සහ ඩේවිඩ් මැනුවෙල් යන ශිල්පීන්‍ ය . 
                                                         මෙම කාලයේ පැවති විශේෂත්වයක් වන්නේ නාට්‍ය හා නූර්ති හි රඟ දැක්වීම කාන්තාවන් විසින් සිදු නොකිරීමයි . එම සමය තුල පිරිමි පුද්ගලයන් විසින් කාන්තා චරිත රඟ දක්වන ලදී . මෙවන් සමාජ පසුබිමක් පැවති මෙම කාල වකවානුව තුල චිත්‍රපටයේ කාන්තා චරිතය රඟපෑම සඳහා සිබිල්පිම් යොදා ගැනීම ලාංකීය සිනමා කලාවේ විශේෂ සන්ධිෂ්ඨානයක් ලෙස හදුනාගත හැකිය . මෙම සිදුවීම නිසා එතෙක් පැවති සමාජ පටලය කඩා බිඳ දමමින් ප්‍රථම කතා නාද චිත්‍රපටයේ කාන්තා චරිතය රඟ දැක්වීමට ලාංකීය රංගන ශිල්පිනියක් වශයෙන් රුක්මනී දේවි යොදා ගැනීම එහි ප්‍රභල ප්‍රතිඵලයකි . “ රාජකීය වික්‍රමය ” චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂක වරයා ලෙස ප්‍රසිද්ධ සිතුවම් ශිල්පියෙකු වූ සාර්ලිස් මාස්ටර් කටයුතු කර ඇති අතර සහය කලා අධ්‍යක්ෂක ලෙස ජී . ඇස් ප්‍රනාන්දු කටයුතු කර තිබේ . කෙසේ වුවත් ප්‍රථම නිහඬ සිංහල චිත්‍රපටය ලංකාවේ ජනතාවට නැරඹීමට නොහැකි විය . සිංහල සිනමා ඉතිහාසය තුල අවාසනාවන්තම සිදුවීමක් ලෙසට මෙය හදුන්වා දීමට හැකිය . ප්‍රථම සිංහල චිත්‍රපටය විදේශිකයන්ට පමණක් නැරඹීමට හැකිවිය . 1925 දී මෙම චිත්‍රපටය බොම්බාය , සිංගප්පූරුව වැනි ප්‍රදේශවල ප්‍රදර්ශණය කල නමුදු බොම්බායේ දී චිත්‍රපටයේ සෙලෝලයිට් පටය ගිනිගෙන විනාශ විය . මෙය කුමන්ත්‍රණයකින් විනාශ කල බවද බොහෝ අය විශ්වාස කරනු ලබයි . කෙසේ වෙතත් මෙය ලාංකීය ජනතාවට දැක බලා ගැනීමට නොහැකි වීම ලංකාවේ සිනමා ඉතිහාසය තුල සිදුවූ අවාසනාවන්තම සිදුවීමකි . 
                                                               එම අවාසනාවන්ත සිදුවීමෙන් පසු නැවතත් 1925 න් පසු යළි සිංහල චිත්‍රපටයක් නිපදවීමේ ප්‍රයත්නයක් එවකට ප්‍රසිද්ධ සංගීතඥයකු වූ ඩබ්ලිව් . දොන් එඩ්වඩ් විසින් දරන ලදී . ඒ “ පළිගැනීම ” නම් සිංහල නිහඬ චිත්‍රපටය යි . “ රාජකීය වික්‍රමය ” ශ්‍රී ලාංකිකයන්ට දැක ගැනීමට නොහැකි වීම නිසා ශ්‍රී ලාංකිකයන්ට දැක ගැනීමට හැකි වූ ප්‍රථම නිහඬ චිත්‍රපටය වූයේ “ පළිගැනීම ” චිත්‍රපටය යි . මෙම චිත්‍රපටය 1930 දී කොළඹ සිනමාහලක ප්‍රදර්ශණය කරන ලද අතර එවකට වේදිකාවේ ජනප්‍රිය නළු නිළියන් වූ ඇන් . ඈර් . ඩයස් දොන් එඩ්වඩ් , ජෝශප් සංඝපාල , ශ්‍රියා කාන්තා , ඩී . ඒ සංඝපාල , එච් . ඩබ්ලිව් සුගතදාස මෙහි රඟපාන ලද නළු නිළියන් විය . “ පළිගැනීම ” සිංහල නිහඬ චිත්‍රපටය ලාංකීය සිනමා ඉතිහාසයේ සුවිශේෂිතම චිත්‍රපටයක් වන්නේ එය ලාංකිකයන්ගේ ශිල්පීය දැනුමින් නිෂ්පාදනය කරගත් ප්‍රථම චිත්‍රපටය නිසාය . අධ්‍යක්ෂණය , කැමරාකරණය , රඟපෑම ආදී සියල්ලම ලාංකිකයන් අතින් සිදුවිය . මෙම චිත්‍රපටයට පසුව 1937 දී තවත් සිංහල චිත්‍රපටයක් නිපදවීමේ උත්සාහයක ඉහළ පෙළේ ව්‍යාපාරිකයන් වූ සී . ඒ ගාඩිනර් , ඇම් . සවරිමුත්තු , ඇස් . පී පරෙක්‍ යන පිරිස සමාගමක් පිහිටුවා “ ශ්‍රී වික්‍රම රාජසිංහ ” නමින් සිංහල චිත්‍රපටයක් නිපදවීමට උත්සාහ ගන්නා ලදී . කෙසේ නමුත් එවකට පැවති දෙවන ලෝක යුද්ධය (1944 ) නිසා මෙය චිත්‍රපටයක් ලෙස නිපදවීමට නොහැකි විය . 1940 දී “ ලෝක දෙකක් ” නමින් කතා නාද චිත්‍රපටයක් නිපදවීමට උත්සාහ ගත් නමුත් එය නතර විය . එසේම ඉන්පසු ද “ ප්‍රේමවතී ” නමින් ද “ බෑන්ක් මැනේජර් ” නම් චිත්‍රපට දෙකක් නිපදවීමට ගත් උතසාහයක් ද සාර්තක නොවීය . එසේම සිංහල සිනමාව තුල අධ්‍යක්ෂක වරයෙකු මෙන්ම නිෂ්පාදක වරයෙකු වූ තංගල්ලේ සිරිසේන විමලවීරයන්ගේ “ රොඩී කෙල්ල ” නාට්‍ය 1936 දී චිත්‍රපටයට නැගීමට උත්සාහ ගත් නමුත් එය සිදුවී නොමැත . 
                                                               සිංහල චිත්‍රපට ඉතිහාසය තුල ඉතාමත් කැපීපෙනෙනම සංධිෂ්ඨානයක් ලෙස හදුන්වා දිය හැකි චිත්‍රපටයක් ලෙස “ කඩවුණු පොරොන්දුව ” පෙන්වා දීමට පුළුවන . එය එසේ වන්නේ ලාංකීය සිනමා ඉතිහාසය තුල නිර්මාණය වූ ප්‍රථම කතා නාද චිත්‍රපටය වීම නිසාය . “ කඩවුණු පොරොන්දුව ” චිත්‍රපටය ප්‍රථම මහජන ප්‍රදර්ශණය සඳහා තිරගත වූයේ 1947 ජනවාරි 21 වෙනිදාය . මෙම චිත්‍රපටය සිනමාවට නැගීමට පෙර මිනර්වා නාට්‍ය කණ්ඩායමේ නාට්‍යක් වන “ කඩවුණු පොරොන්දුව ” නාට්‍යය යි . පසුව “ චිත්‍රකලා මුවිටොන්  ” නමින් සමාගමක් පිහිටුවා කඩවුණු පොරොන්දුව සිනමාවට නගන ලදී . මිනර්වා නාට්‍ය කණ්ඩායම විසින් මෙම චිත්‍රපටය නිර්මාණය කිරීමට ප්‍රථම මෙහි නාට්‍යය අටසිය වාරයක් පමණ ලංකාව පුරා ප්‍රදර්ශණය කර ඇති බව සඳහන් වේ . මෙම කාල වකවානුව වන විට චිත්‍රපටයකට නැගීමට කතාවක් සොයමින් සිට එස් . එම් නායගම් මහතා විසින් “ කඩවුණු පොරොන්දුව ” සිනමාවට නැගීමට සුදුසු කතාවක් බව හදුනාගෙන මිනර්වා කණ්ඩායම හමුවී චිත්‍රපටයකට නැගීමට අවසර ඉල්ලන ලදී . නමුත් මුල් වරට එ . ඩබ්ලිව් ජයමාන්න මහතා විසින් එය ප්‍රතික්ෂේප කරන ලද මුත් පසුව මෙය චිත්‍රපටයකට නැගීමෙන් අත්වන වාසිදායක තත්වයන් පැහැදිලි කිරීමෙන් පසු ජයමාන්න මහතා අවසර ලබාදී තිබේ . මේ අනුව 1946 ජූනි 26 වන දින මිනර්වා නාට්‍ය කණ්ඩායම කඩවුණු පොරොන්දුව චිත්‍රපටය රූගත කිරීමට ඉන්දියාවේ මදුරාසි පුරයට පිටත්වන ලදී . මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමට භාරවූයේ ජේ . සිංහ නම් ඉන්දියානු අධ්‍යක්ෂක වරයාටය . මෙම චිත්‍රපටය සඳහා රඟ දැක්වීම මිනර්වා නාට්‍ය කණ්ඩායම විසින්ම සිදුකරන ලද බව සඳහන්වේ . බී . ඒ . ඩබ්ලිව් ජයමාන්න , රුක්මනී දේවි , එඩී ජයමාන්න , පීටර් පීරිස් , ජෙමිනි කාන්තා , ස්ටැන්ලි මල්ලවආරච්චි , රූපා දේවි , ජේ . බී පෙරේරා , ඇසිලින් බාලසූරිය , ජෝ ජයකොඩි , හියුගෝ ප්‍රනාන්දු , ව්ව්ලින් බාලසූරිය , බර්ට්‍රම් ප්‍රනාන්දු , වීඩා පෙරේරා යන අය මෙම චිත්‍රපටයට රංගනයෙන් දායකත්වය සැපයූ අයගෙන් කිහිප දෙනෙකි . මොවුන් එවකට සිංහල සිනමාවේ තාරකා බවට පත්විය . කඩවුණු පොරොන්දුව චිත්‍රපටයේ සංගීත අධ්‍යෂණය නාරායන් අයියාර් නම් ද්‍රවිඩ ජාතික සංගීතඥයෙක් සිදුකර තිබේ .
                                                                       කඩවුණු පොරොන්දුව චිත්‍රපටයේ නිර්මාණ කටයුතු කරන අතරේම සිංහල චිත්‍රපටයක් තැනීමට කිහිපවරම උත්සාහ ගෙන තිබූ “ සිලෝන් තියටස් ” සමාගම ශාන්ති කුමාර් හා එක්ව නව චිත්‍රපටයක් නිර්මාණය කිරීමට කටයුතු කරන ලදී . එම චිත්‍රපටය “ අශෝකමාලා ” චිත්‍රපටයයි . චිත්‍රපටය මෙහෙයවීම භාර වූයේ ශාන්ති කුමාර් හටය . මෙම චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක විය යුතු නළු නිළියන් තෝරා ගැනීම ද ශාන්ති කුමාර් විසින්ම සිදුකරන ලදී . “ අශෝකමාලා ” චිත්‍රපටය නිපදවීම සඳහා පිරිස ඉන්දියාව බලා 1940 ඔක්තෝම්බර් මාසයේදී පිටත්වීම සිදුවිය . ඒ ඉන්දියාවේ කොයිම්බටූර්හි සෙන්ට්‍රලි චිත්‍රාගාරය බලාය . ඉන්පසු “ අශෝකමාලා ” චිත්‍රපටයේ මූලික වැඩ ආරම්භ කරන ලද්දේ 1946 ඔක්තෝම්බර් 09 වෙනිදාය . මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑම සඳහා ඉවොන් සූටිස් නම් සුරූපී තරුණියක් තෝරාගෙන සිටි නමුත් ඇයට සිංහල වචන උච්චාරණය කිරීමේ යම්‍ යම් ගැටළු පැවතීම නිසා එම අවස්ථාව එමලින් දිඹුලාන නම් සුරූපී ලාංකීය තරුණියට හිමි විය . “ අශෝකමාලා ” චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂක වශයෙන් මොහොමඩ් ගවුස් සහ කැමරා අධ්‍යක්ෂක වශයෙන් ඇම් . මස්තාන් කටයුතුකර තිබේ . කඩවුණු පොරොන්දුව සමඟ සමකාලීනව වැඩ කටයුතු සිදුකිරීම නිසා ප්‍රථම සිංහල කතා නාද චිත්‍රපටය වශයෙන් ඉදිරිපත් කිරීමේ අදහසින් කඩවුණු පොරොන්දුව සමඟ තරඟයට නිෂ්පාදන කටයුතු සිදුකරන ලදී . මීට අමතරව මයිකල් සන්නස් ලියනගේ “ විපුල සෙනෙවි ” ලෙසත් , දොන් එඩ්වඩ් “ මාලාගේ පියා ” ලෙසත් , මයිකල් රුද්‍රිගු “ දුටුගැමුණු රජු ” චරිතයත් ආදී වශයෙන් ප්‍රධාන චරිත රඟ දක්වන ලදී . අශෝකමාලා චිත්‍රපටය සඳහා ලක්ෂ තුනක පමණ මුදලක් සිලෝන් තියටස් සමාගම වැයකර ඇති බව සඳහන් වේ . අශෝකමාලා චිත්‍රපටය 1947 අප්‍රේල් මස 09 වන දින දී රීගල් සිනමාහලේ ප්‍රදර්ශණය කරන ලදී . මෙරට ප්‍රථම කතා නාද චිත්‍රපටය ලෙස ඉතිහාස ගතවීමට නොහැකි වුවත් අශෝකමාලා චිත්‍රපටය ලංකා සිනමා ඉතිහාසයේ ප්‍රථම ඉතිහස කතා පුවතක් තේමාව කරගත් ප්‍රථම ඉතිහාස ගත චිත්‍රටය විය . එමෙන්ම අශෝකමාලා චිත්‍රපටය සිංහල පුද්ගලයෙකු අධ්‍යක්ෂණය කල ප්‍රථම චිත්‍රපටය වීම ද වැදගත් වේ . එමෙන්ම සංගීත අධ්‍යක්ෂණය ගැන කතා කිරීමේ දී මොහොමඩ් ගවුස්ගේ ප්‍රථම සංගීත අධ්‍යක්ෂණය වීම හා සියලු ගීතයන් ස්වතන්ත්‍ර තනු වීම නිසා සිංහල චිත්‍රපට ඉතිහාසයේ පළමු කතා නාද චිත්‍රපටය වීමට නොහැකි වුවත් මෙම විශේෂත්වයන් නිසා සිංහල සිනමාවේ විශේෂ සන්ධිෂ්ඨානයක් සනිටුහන් කල චිත්‍රපටයක් ලෙස පෙන්වාදිය හැකිය .
                                                                සිංහල සිනමා වංශකතාවේ ආරම්භයයේ දී සිනමාව දියුණුවට බලපාන ලද තවත් අවස්ථාවක් ලෙස ලයනල් වෙන්ඩ්ට් සහ 1945 – 1948 කාල වල සිටි චිත්‍ර ශිල්පීන් ආදීන් එක්ව “ කොළඹ සිනමා සමාජය ” ( Colombo Film Society ) නම් සංගමය පිහිටවූ අතර එහි සභාපති ලෙස L . O . ද සිල්වා මහතා පත්විය . මෙම කාල වකවානුව තුල දී සාමාන්‍ය ජනතාවට මෙවැනි සමාජ සංගම් විවෘත නොවූ අතර බොහෝ උසස් විදේශීය චිත්‍රපට කොළඹ “ YMBA ශාලාව , මරදාන “ ඔලිම්පියා ” ශාලාව මෙන්ම ඒ අවට තිබුණු වැහගත් චිත්‍රපට පමණක් පෙන්වූ අතර කුඩා ශාලා තුළ චිත්‍රපට ප්‍රදර්ශණය කරන ලදී . ප්‍රධාන වශයෙන්ම දෙමළ සහ ඉංග්‍රීසි චිත්‍රපට මෙම සංගමය හරහා ප්‍රදර්ශණය කර ඇති අතර මෙම සමයේ දී තරුණ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා ද මෙහි සාමාජිකයෙකු වී කටයුතු කල බව සඳහන් වේ . මෙම සංගමය හරහා ගොඩනැගුණු වැදගත්ම මතවාදය වූයේ ඉන්දීය සිනමා ප්‍රතිරූපයෙන් මිදුණු ලංකාවට අනන්‍ය වූ සිනමාවක් බිහිවිය යුතු බවයි . මෙම කාලවකවානුව තුලම ලංකාව තුල “ රජයේ චිත්‍රපට අංශය ” පිහිටවූ අතර “ The Song Of Ceylon නම් චිත්‍රපටය ද මෙම ආයතනයේ නිපදවීමකි .
                                                           මෙතෙක් ලංකාවේ චිත්‍රපට නිෂ්පාදනය කෙරුනේ ඉන්දීය චිත්‍රාගාර තුලදී ය . නමුත් පසුකාලීනව ලංකාව තුල දේශීය චිත්‍රාගාර බිහිවන්නට විය . ඇන් . ඇම් නායගම් විසින් කඳානේ “ සුන්දර සවුන්ඩ්ස් ” නම් චිත්‍රාගාරයක් ඉදිකල අතර කිරිබත්ගොඩ අක්කර දෙකක භූමි භාගයක විමලවීර “ නව ජීවන ” නම් චිත්‍රාගාරයක් ඉදිකළේය . ඉතා දුප්පත් චිත්‍රාගාරයක් වූ මෙහි හඬකැවීම් කටයුතු කළේ රෑ 9 ත් පාන්දර 3 අතර කාලය තුල පමණක් බව සඳහන් වේ . ඊට හේතුව බාහිර ශබ්ද නිසා හඬකැවීම් කටයුතු වලට බාදා පැමිණීමයි . සිංහල සිනමා ඉතිහාසය තුල 1953 වර්ශයේ නිෂ්පාදනය වූ “ කැලෑ හඳ ” චිත්‍රපටය ද වැදගත් තැනක් හිමිවන සිනමා නිර්මාණයකි . මෙම චිත්‍රපටය සුවිශේෂී චිත්‍රපටයක් වන්නේ ලාංකීය සාහිත්‍ය ඇසුරින් සිනමාවට නැගුණු පළමු චිත්‍රපටය වීම නිසාය . ඩබ් . ඒ . ද සිල්වාගේ අතිශය ජනප්‍රිය කැලෑ හඳ නවකතාව ඇසුරින් මෙම චිත්‍රපටය නිර්මාණය කරන ලදී . රුක්මනී දේවි මෙහි ප්‍රධාන චරිතය රඟපෑ අතර මෙහි අධ්‍යක්ෂක වරයා වූයේ බී . ඒ . ඩබ්ලිව් ජයමාන්න යි .ප්‍රධාන නළුවා වූයේ ස්ටැන්ලි පෙරේරා ය . මෙහි ගීත රචනය හර්බට් එම් . සෙනෙවිරත්න විසින් සිදුකර තිබේ . මෙරට සිනමා ඉතිහාසය තුල අමතක කල නොහැකි වැදගත්ම සිනමා නිර්මාණයක් ලෙස “ සුජාතා ” චිත්‍රපටය ද පෙන්වාදීමට හැකිය . එයට හේතුව මෙතෙක් සිංහල සිනමාව පැවතුනේ විනෝදාස්වාදය වෙනුවෙන් චිත්‍රපට නිපදවීමේ අරමුණකිනි . නමුත් සුජාතා චිත්‍රපටය හරහා සිනමාව වාණිජකරණයට ලක්වී සිංහල සිනමාව පදනම් සහිත ව්‍යාපාරයක් බවට පත්වීම සිදුවේ . ශ්‍රී ලාංකීය සිනමා ඉතිහාසය තුල චිත්‍රපටයක පූර්ව ප්‍රචාරක පටයක් මුල්ම වතාවට ප්‍රදර්ශණය වූ අවස්ථාව හැටියට මෙම සුජාතා චිත්‍රපටය හදුන්වාදීමට පුළුවන . කේ . ගුනරත්නම් නම් ව්‍යාපාරිකයාට චිත්‍රපටයක් නිපදවන ලෙස බල කරන ලද්දේ “ සුජාතා ” හි නිෂ්පාදක , අධ්‍යක්ෂණය ද සිදුකල ටී . සෝමරත්නම් විසිනි .  ටී . සෝමරත්නම් යනු මෙරට වාණිජ සිනමාවේ නියමුවානන් වන්නෙ එබැවිනි . හොලිවුඩ් සිනමාව දෙස අවධානය යොමු කිරීමේ දී Star Consept , Company Concepts , Stero Systems ආදිය හදුන්වා සිනමාව ව්‍යාපාරයක් බවට බවට පත්කරන ලද්දේ අර්වින් කැල්බර්ග් විසිනි . ලංකා සිනමාව තුල අර්වින් කැල්බර්ග් අනුව යමින් මෙරට සිනමාව තුල තරු සංකල්පය ආදිය හදුන්වා දෙමින් සිනමාව ව්‍යාපාරයක් බවට පත්කිරීමේ ගෞරවය හිමිවන්නේ සෝමසේකරයන්ට ය . ලංකා සිනමා ඉතිහාසය තුල අතිශය වැදගත් විප්ලවීය සිනමාපටයක් වූ සුජාතා රූගත වන්නේ එවකට දකුණු ඉන්දීය සිනමාවේ අධිරාජ්‍යා යනුවෙන් සිනමා ලොව හදුනාගත් ටී . ආර් සුන්දරම්ගේ සේලම් නගරයේ පිහිටි මොඩර්න් චිත්‍රාගාරයේ දී ය . එය එවකට දකුණු ඉන්දියාවේ පිහිටි විශාලතම චිත්‍රාගාරය ලෙස සඳහන් වේ . සුජාතා හරහා අද දක්වාම මෙරට සිනමාවට බිඳිය නොහැකි විප්ලවීය නව මානයක් රැගෙන ඒමට මොවුන්ට හැකිවිය . සුජාතා චිත්‍රපටය හරහා හදුනා ගතහැකි තවත් ලක්ෂණයක් වන්නේ චිත්‍රපට ප්‍රදර්ශණ මණ්ඩලයක් ( Film Circit ) ඇතිවීම යි . සුජතා චිත්‍රපටය නිසා ලාංකීය සමාජය තුල උමතුවක් ඇති විය . හොඳම උදාහරණය වන්නේ 1953 කාල වකවානුව තුල උපත ලද දැරිවියන්ට සුජාතා නමින් නම් පවා දමන ලද බව සඳහන් වේ. ප්‍රධාන වශයෙන්ම ලංකා සමාජය තුල සිනමා තරු සංකල්පය ද ප්‍රභලව ස්මතු වන්නේ සුජාතා චිත්‍රපටය හරහා ය . මෙම චිත්‍රපටය තුල ප්‍රධාන නළුවාගේ චරිතය රඟපෑ ප්‍රේම් ජයන්ත් සහ ප්‍රධාන නිළියට රඟපාන ලද ෆ්ලෝරීඩා ජයලත් මෙරට සිනමා ඉතිහාසයේ ප්‍රථම සුපිරි තරු යුගලය වීම සිදුවිය . හින්දි චිත්‍රපටයක් අනුසාරයෙන් සීමා සහිත සිනමාස් සමාගම නිපදවූ සුජාතා මෙරට චිත්‍රපට නිෂ්පාදනයේ හැඩතල සාදමින් සියළු සිනමාහල් වල දින සියය ඉක්මවා පෙන්වමින් සුජාතා උමතුවක් ඇති කලේය .බෙග් මාස්ටර් , ජමුනා රානි , ඒ . එම් රාජා වැන්නවුන් ගී ගැයූ මෙහි ගායනයට ඉන්දියාවේ ගී කෝකිලාවිය ලතා මංගෙෂ්කාර් ද ගීතයක් ගයමින් මෙරට සිනමාවේ ගීත ගායනයට එක් වූයේ ද සුජාතා චිත්‍රපටයෙනි . ලාංකික මුල්ම දමිළ අධ්‍යක්ෂකවරයා මෙන්ම ලංකාවේ මුල්ම වාණිජ ( ජනප්‍රිය ) සිනමාවේ ලාංකික සිනමාකරු වූ සෝමසේකරයන් මහා නළුවන් තිදෙනාගෙන් අයෙකු වූ ජෝ අබේවික්‍රමයන්ව තිරයට හදුන්වා දුනි . “ සුජාතා ” චිත්‍රපටයෙන් ඇරඹුණු සිනමාව වාණිජකරණයට පත්වීම 1955 නිෂ්පාදිත “ මාතලන් ” චිත්‍රපටය වාණිජ සිනමාවේ හැරවුම් ලක්ෂයක් ලෙස හැඳින් වේ . 1955 අගෝස්තු 27 වනදා සිට මරදානේ - ගාමිණී , වැල්ලවත්තේ - සැෆායාර් ඇතුළු සිනමාහල් 21 ක තිරගත වූ මෙම චිත්‍රපටය මෙරට සිනමාව තුල සන්ධිෂ්ඨානය කි . මාතලන් එස් . එම් නායගම්ගේ පස්වන නිපයුම වූ අතර ඒ . එස් නාගරාජන් මෙය අධ්‍යක්ෂණය කරන ලදී . මෙම චිත්‍රපටයේ තවත් විශේෂත්වයක් වන්නේ භරතමුණිගේ නව නළු රස සියල්ලම අඩංගු වීම මෙන්ම ඇතැම් සිංහල ජනකතා ද ( “ එලොව ගිහින් මෙලොව ආව” වැනි ) සම්බන්ද කර තිබීම පෙන්වාදීමට හැකිය . මාතලන් චිත්‍රපටය සඳහා සංගීත රචනා සිදුකර ඇත්තේ ආර් . මුත්තුසාමි මාස්ටර් විසිනි .
                                                                   මෙතෙක් පැවති ඉන්දීය චිත්‍රපට අනුකරණ යුගය අවසන්කර ශ්‍රී ලාංකික සිනමාවක් සොයා මූලික කටයුතු අරඹන්නේ 1956 රේඛාව චිත්‍රපටය ප්‍රදර්ශණයත් සමගය . 1956 දී වාර්ථාගත චිත්‍රපට නිෂ්පාදක ලෙස්ටර් ජේම්ස් පීරිස් හා ඔහුගේ සම කාර්මික ශිල්පීන් වන ටයිටස් තොටවත්ත හා විලියම් බ්ලේක් යන අය රාජ්‍ය චිත්‍රපට මණ්ඩලයෙන් ඉවත්වී ශ්‍රී ලාංකීය සින්මාව කුමක්දැයි සොයා යෑම ඇරඹීය . මෙහිදී රේඛාව තිරපිටපත ලෙස්ටර් අතින් රචනා වූ අතර කේ . ඒ . ඩ්බ්ලිව් පෙරේරා දෙබස් රචනා කරන ලදී . මෙහි සහය අධ්‍යක්ෂණය , කලා අධ්‍යක්ෂණය , සංස්කරණය යන කාර්යන් ටයිටස් තොටවත්ත සිදුකරන ලද අතර ගීත රචනය මර්සලින් ජයකොඩි පියතුමා සහ සංගීත අධ්‍යක්ෂණය සුනිල් සාන්තයන් විසින් සිදුකරන ලදී . කැමරාව මෙහෙයවන ලද්දේ විලී බ්ලේක් විසිනි . සෝමපාල ධර්මප්‍රිය , මර්ට්‍රල් ප්‍රනාන්දු , ඩී . ආර් . නානායක්කාර යන අය මෙහි ප්‍රධාන චරිත රඟ දක්වන ලදී . මෙම චිත්‍රපටයේ ඇති තවත් වැදගත්කමක් වන්නේ චිත්‍රකලා සමාගම විසින් දළ සේයාපට අඩි 400 ක් ගබඩා කළ හැකි “ ඇරිෆ් ලෙක්ස් ” නම් රාත්තල් 58 බර කැමරාවක් ජර්මනියෙන් සහ එළිමහන් ශබ්ද පටිගත කිරීමට 12 CA Kinevox නම් මැග්නටික් සවුන්ඩ් රෙකෝඩරයක් ඇමරිකාවෙන් ගෙන්වා චිත්‍රපටයේ නිශ්පාදන කටයුතු සඳහා යොදා ගැනීම යි . මෙම චිත්‍රපටයේ තවත් විශේෂත්වයක් වන්නේ ලංකාවේ සිනමා සක්විති ලෙස හදුන්වන ගාමිණී ෆොන්සේකා සහය නළුවෙකු වශයෙන් මුල්වරට කැමරාව ඉදිරියේ පෙනී සිටීමයි . 1955 රූගත කිරීම් ආරම්භ කරන රේඛාව තිරයට පැමිණෙන්නේ 1956 - 12 - 30 වන දිනය . කෙසේවෙතත් රේඛාව චිත්‍රපටය සාමාන්‍ය ප්‍රේක්ෂක ජනයා අතර ප්‍රසාදයක් නොලැබුණු චිත්‍රපටයක් විය . නමුත් ඒ සමය වන විට සිටි ප්‍රකට විචාරකයන් වන කරුණාරත්න ජයලත් , ජයවිලාල් විලේගොඩ වැනි විචාරකයන් රේඛාව මහත් ඉහලින් වර්ණනා කලහ . ඒ සමයේ මෙරටට පැමිණ සිටි බටහිර ප්‍රකට සිනමා නිළියක් වන “ මරියා ෂෙල් ” ලංකාවේ සිනමාහලක මෙය නරඹා රේඛාව “ කාන් ” චිත්‍රපට උළෙලට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලදී . මෙම චිත්‍රපටය එංගලන්තයේ සිනමා උළෙලක ප්‍රදර්ශණය කල අතර එය මෙරට චිත්‍රපටයක් අන්තර්ජාතික සිනමා උළෙලක් නියෝජනය කල මුල්ම අවස්ථාව වේ . පසුව රේඛාව සිනමාපටය පෝලන්තය , චෙකොස්ලෝවැකියාව , රුසියාව , ජර්මනිය , ප්‍රංෂය වැනි සිනමාවේ ප්‍රභල රටවල් වලින් ද ප්‍රදර්ශණය සඳහා ඇරයුම් ලැබූ චිත්‍රපටයක් විය .
                                                              කොතරම් පැසසුම් , සම්මාන ලැබුව ද රේඛාව දේශීය වශයෙන් ආදායම් අතින් පාඩු ලැබූ සිනමාපටයක් විය . ඒ හේතුවෙන් චිත්‍රලංකා සමාගම ද වසා දැමීමට සිදුවිය . “ කාලොවිචාරි ” සිනමා උළෙල තුල ද ප්‍රදර්ශනය කිරීමට නැවත අවස්තාව ලැබීම තුලින් රේඛාව අන්තර්ජාතික වශයෙන් කොතරම් පිළිගත් චිත්‍රපටයක් ද යන්න වැටහේ . එම කාල වකවානුව තුල රේඛාව චිත්‍රපටය ගැන කොතරම් කතාබහ ඇති වූවා ද කිවතොත් ලංකාවේ “ ඩේලි නිවුස් ” පුවත්පතේ ද ඉන්දියාවේ “ ඉලුස් ට්‍රේටඩ් වීක්ලි ඔෆ් ඉන්දියා ” සඟරාව තුල ද රේඛාව පිළිබඳ ලිපි ඵලවීමෙන් ඒ බව ගම්‍යවේ . එවකට අධ්‍යාපන ඇමති වූ විජයානන්ද දහනායක මහතා මෙය තහනම් කලයුතු චිත්‍රපටයක් බව ප්‍රකාශ කරන ලදී . රේඛාව චිත්‍රපටයෙන් ලාංකීය සිනමාවේ ඉතා වැදගත් නිළියක් වන අයිරාංගනී සේරසිංහ සිනමා බිමට පය තැබීම සිදුවේ . 1956 වසරේ සිනමාව සම්බන්දයෙන් සිදුවූ අනෙක් වැදගත් අවස්ථාව වන්නේ සිනෙමා උළෙලවල් දේශීය වශයෙන් බිහිවීමයි . මේ යටතේ දිණමින පුවත්පත හරහා “ ජනප්‍රිය තරු තේරීමේ ” උළෙලකුත් , ලංකාදීප පුවත්පත මඟින් “ දීපශිඛා ” සම්මාන උළෙලත් පවත්වාගෙන යාම සිදුවිය . මේ නිසා අනාගතය ගුණාත්මක සිනමාවකට අවශ්‍ය මඟපෑදීම සිදුවිය . සිනමාවේ පළමු දශකය චිත්‍රපට 39 කට සීමාවෙමින් සිනමාවේ දෙවන දශකය කරා පැමිණියේය .


      සිංහල සිනමාවේ දෙවන දශකය

                                   සිංහල සිනමාවේ දෙවන දශකය ගැන කතා කිරීමේ දී සිංහල සිනමාවේ පෙරළියක් ඇති කල දශකයක් වේ . එයට හේතුව වන්නේ පළමු යුගයේ දී චිත්‍රපට 39 කට සීමාවුව ද දෙවන දශකය තුල චිත්‍රපට 107 නිර්මාණය වුනි . චිත්‍රපටයක් රූගත කිරීමේ දී චිත්‍රාගාරය තුල සියළු රූගත කිරීම් සිදුකිරීමේ ක්‍රමවේදය ඉවත හෙලමින් කැමරාව චිත්‍රාගාරයෙන් පිටතට ගෙන ගොස් රූගත කිරීම අරඹන්නේ දෙවන යුගය තුලදී ය . 1961 දී ඉන්දීය චිත්‍රපට දෙබස් කවා මෙරට ප්‍රදර්ශණය කිරීම නැවැත්වීම සිදුවිය . පළමු යුගය තුල සිනමා ලොව පෙරළියක් ඇති කරන ලද “ රේඛාව ” සිනමාපටය මුල් කරගෙන මෙම යුගය තුල සිනමා නිර්මාණයන් බිහිවීම සිදුවීම කැපීපෙනෙන කාරණාවකි . සිනමා කර්මාන්තය සඳහා දෙවන දශකය තුල නවීන සිනමාශාලා ආරම්භවීම සිදුවූ අතර ඒ යටතේ සැවෝයි , එම්පියර් , රියෝ වැනි අධි සුපෝපභෝගී සිනමාහල් ඉදිවිය .

Image result for gamperaliya film
                        දෙවන දශකය තුල නිර්මාණය වූ කැපීපෙනෙනම චිත්‍රපටය ලෙස “ ගම්පෙරළිය ” හදුන්වා දීමට හැකිය . එයට හේතුව වන්නේ අන්තර්ජාතික සිනමා උළෙලවල් වල පවා සම්මාන ලැබීමයි . 1963 දී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා නිෂ්පාදකයකු වූ ඇන්ටන් වික්‍රමසිංහ මහතා සමඟව එකතුව මාටිංවික්‍රම සිංහයන්ගේ ජනප්‍රිය නවකතාවක් වූ ගම්පෙරළිය නවකතාව ඇසුරින් “ ගම්පෙරළිය ” චිත්‍රපටය නිෂ්පාදනය කරන ලදී . මෙම චිත්‍රපටයේ විශේෂත්වය වන්නේ එතෙක් නිර්මාණය වූ චිත්‍රපට වලින් වෙනස්ම මඟකට පිවිසෙමින් සාමාන්‍යයෙන් චිත්‍රපට වල අඩංගුව තිබූ ගීත , නැටුම් , විහිළුතහළු සහ සටන් වලින් තොර චිත්‍රපටයක් ලෙස නිර්මාණය වීමයි . මෙය ඉතාමත් කලාත්මක චිත්‍රපටයක් විය . නමුත් මුල් යුගයේ රේඛාව මෙන් ආර්ථික අතින් කඩා වැටුණු චිත්‍රපටයක් නොවුනු අතර වාණිජමය සාර්ථකත්වයක් ද ලබාගැනීමට සමත්විය . “ ගම්පෙරළිය ” චිත්‍රපටය ඉන්දියාවේ නවදිල්ලියේ පැවති තුන්වන ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී රජත මොනර සම්මානය ( Golden Peacock Award ) හා විචාරකයන්ගේ තිළිණයද ( Critics Prize ) ලබාගැනීමට සමත්වීම සිංහල සිනමාවට ලැබුණු විශේෂතම අවස්ථාවක් මෙන්ම ලාංකීය සිනමාවේ අමරණීය සංධිෂ්ඨානයක් ලෙස හදුන්වා දීමට හැකිය . “ ගම්පෙරළිය ” චිත්‍රපටයේ සාර්ථකත්වය ලාංකීය චිත්‍රපටවල ගමන් මග විශාල වශයෙන් වෙනස් කරන ලදී . ගම්පෙරළිය  ප්‍රදර්ශණයෙන් පසු මෙතෙක් ඉවත දමා තිබූ සැබෑ භාහිර දර්ශණ අඩංගු චිත්‍රපට නිෂ්පාදනයට නැවත යොමු විය . මෙම යුගය තුල විශ්වවිද්‍යාල , වෘතීය සමිති තුල සිනමා සමාගම් බිහිවීම සිදුවිය . උදාහරණයක් වශයෙන් කොළඹ , පේරාදෙණිය වැනි විශ්වවිද්‍යාල වල සිනමා සමාගම් බිහිවීම පෙන්වා දිය හැකිය .
                                                                     දෙවන යුගය තුල සිදුවූ තවත් සුවිශේෂී සිදුවීමක් වන්නේ මෙරටට අනන්‍ය වූ සිනමා තරු බිහිවීමයි . සිනමාවට ආවේනික පුවත්පත් බිහිවන්නේ ද දෙවන දශකය තුලයි . විසිතුරු , සරසවිය එම පුවත්පත් වලට උදාහරණ වේ . දේශීය සිනමා සම්මාන උළෙලවල් නිල වශයෙන් ආරම්භ වන්නේ මෙම අවධිය තුල දී වන අතර සරසවි සම්මාන උළෙල ඇරඹෙන්නේ ද මෙම අවධිය තුලය . ප්‍රථම සරසවි සම්මාන උළෙල පැවැත්වෙන්නේ 1964 - මැයි - 09 දින කොළඹ අශෝක සිනමා ශාලාව තුලය . ලංකාවේ සිනමාව මෙම අවධිය වන විට දියුණු මට්ටමක පැවති අතර සිනමාවේ දියුණුව සඳහා නවීන පහසුකම් සහිත චිත්‍රාගාර බිහිවීම සිදුවිය . මුල්ම අවධියේ චිත්‍රාගාර කාලයත් සමඟ විවිධ හේතු නිසා විනාශයට පත්වූ අතර ඒ වෙනුවට “ විජයා ” චිත්‍රාගාරය වැනි එවකට අති නවීන චිත්‍රාගාර බිහිවිය . කේ . ගුණරත්නම් විසින් ඉදිකරන ලද මෙම චිත්‍රගාරය එවකට දකුණු ඉන්දීය චිත්‍රාගාර පරයායන  අති නවීන චිත්‍රාගාරයක් විය . මීට අමතරව සිනමාවේ උන්නතිය වෙනුවෙන් Ceylon Theaters සමඟ ලංකා චිත්‍රාගාරය ( Ceylon Studios ) ඇරඹීම සිදුවිය . ගොළුහදවත , නිධානය , අක්කර පහ යන ශ්‍රී ලාංකීය සිනමා ඉතිහාසයේ විශිෂ්ඨ නිර්මාණයන් මෙම ලංකා චිත්‍රාගාරය හරහා නිර්මාණය වූ නිර්මාණයන් වේ . එමෙන්ම සරසවි චිත්‍රාගාරය ද ඉදිවීම සිදුවුවත් එය අංග සම්පූර්ණ චිත්‍රාගාරයක් නොවූ හෙයින් එය ශබ්ද පරිපාලනයට යොදාගෙන තිබේ . දෙවන යුගය තුල සිනමා සමාගම් ගැන කතා කිරීමේ දී ජනප්‍රිය සමාගම් වලට අමතරව තවත් සිනමා සමාගම් බිහිවීම සිදුවිය .

උදාහරණ 
  • සෙරන්ඩිබ් සිනමා සමාගම බිහිවීම
 මයික් . ජේ විල්සන් , ආතර්සී . ක්ලාක් , ශේෂා පලිහක්කාර මෙහි ආරම්භකයන් වූ අතර රන්මුතු දූව , ගැටවරයෝ , සාරවිට හා සොරුන්ගෙත් සොරු වැනි චිත්‍රපට මේ සමාගම හරහා බිහිවිය . මෙම සමාගම මගින් නළු නිළියන්ට හා කාර්මික ශිල්පීන්ට මාසික වැටුප් ක්‍රමයක් ද , ඉහළ තාක්ෂණික උපකරණ ද සපයා තිබේ . සිනමා වංශ කතාවේ දෙවන යුගය තුල සිනමා ගුරුකුල සම්ප්‍රදායක් ද ඇතිවිය . ලාංකීය සිනමා කරුවන් ප්‍රධාන අධ්‍යක්ෂකවරු දෙදෙනෙක්ගේ අඩිපාරේ ගමන් කිරීම සිදුවිය . ඔවුන් එම් . මස්තාන් හා ලෙස්ටර් ජේම්ස් පීරිස් ය . දෙවන දශකය තුල සිදුවූ තවත් විශේෂ සිදුවීමක් වන්නේ රාජ්‍ය තන්ත්‍රය සින්මාවට හවුල් වීමයි . ඒ 1963 දී පළමු සිනමා කොමිසම මගිනි . “ ජෝතිසේන වික්‍රමසිංහ කමිටුව ” නම් වූ මෙහි සාමාජිකයන් ලෙස ,



  •   ජෝතිසේන වික්‍රමසිංහ - සභාපති
  •  රෙජී සිරිවර්ධන - පාලන නිලධාරී , කලා විචාරක , කලා රසික
  •   පාලිත වීරමන් - පරිපාලන නිලධාරී
                              යන අය වූහ . මෙම කොමිසමේ අදහස වූයේ චිත්‍රපට කර්මාන්තයට රජය ඍජුව මැදිහත් විය යුතුය යන්නයි . සිනමා පාසලක් ඇතිකල යුතුය , විදේශයට ගොස් චිත්‍රපට තැනීම නැවැත්විය යුතුය වැනි යෝජනා රැසක් මෙමගින් ඉදිරිපත් විය . නමුත් මේ වන විට ලංකාවේ සිටි දැවැන්ත සිනමා සමාගම් මෙම කොමිසමට දැඩිව විරෝධතාවය දක්වන ලදී . මෙම කාල වකවානුව වන විට ප්‍රධාන චිත්‍රපට සමාගම් අධිකාරී බලයක් ගොඩනගාගෙන තිබූ අතර කුඩා පරිමාණ නිෂ්පාදකවරු තම චිත්‍රපට තිරගත කරන විට විවිධ ගැටළු වලට මුහුණ දුන්හ . ප්‍රධාන සමාගම් ස්වාධීන නිෂ්පාදකවරුන්ට ණය ලබා දුන්නද ආදායමෙන් පලමු කොටස ණය මුදල පියවීම සඳහා ප්‍රධාන සමාගම් වලට දිය යුතු විය . ඉන්පසු චිත්‍රපටය තව දුරටත් ප්‍රදර්ශණය කරනවා ද නැද්ද යන්න සමාගම තීරණය කරයි . මේ නිසා බොහෝ චිත්‍රපට අසාර්ථක විය . ප්‍රචාරක වියදම චිත්‍රපටය නිෂ්පාදකයා හා ප්‍රදර්ශකයා යන දෙදෙනා සම සමව බෙදාගත් අතර අප්‍ර්ල් , මැයි , අගෝස්තු වැනි ආදායම් වැඩිවන උත්සව කාලවල ප්‍රධාන සමාගම් තමන් නිපද වූ චිත්‍රපට පමණක් ප්‍රදර්ශණය කිරීම නිසා ස්වාධීන නිෂ්පාදකවරු අපහසුතාවයට පත්විය . සිංහලයන් 71 % ක් සිටිය ද සිංහල චිත්‍රපට පෙන්වීමට ලබාදුන් ඉඩකඩ 24.3 % ක් පමණි . මෙ යට යම් ජාතිවාදී බලපෑමක් ද පැවතිනි . මෙලෙස සිංහල චිත්‍රපට වලට අඩු අවස්ථාවක් ලබාදීමට හේතුව වූයේ ප්‍රධාන සමාගම් වල හිමිකරුවන් දමිළ ජාතිකයන් වීම නිසාය . මේ සියළු කරුණු විමසා බැලූ කමිටුව නිර්දේශ 06 ක් යෝජනා කළේය .

  1. .     චිත්‍රපට උපදේශක මණ්ඩලයක් පිහිටුවීම .
  2. චිත්‍රපට ආනයනය , බෙදාහැරීම , චිත්‍රාගාර පහසුකම් සැලසීම , අධ්‍යාපනික , සංස්කෘතික , චිත්‍රපට නිෂ්පාදනය සඳහා වෙනම සං‍යුක්ත මණ්ඩලයක් පිහිටුවීම .
  3. කොළඹ නගරයේ කලාප සිනමා කලාප වලට වෙන්කර නිෂ්පාදකවරුන්ට ආදායම් ප්‍රතිශෝධනය කිරීම .
  4. කොපි කතා තනම් කිරීම .
  5.      චිත්‍රපට සං‍රක්ෂණාගාරයක් ගොඩනැගීම .
  6.  දේශීය චිත්‍රපට තිරගත කිරීමට නිෂ්චිත කාලයක් ලබාදීම .
                                                                     මෙම යෝජනාවලිය සඳහා රජය මෙන්ම විරුද්ධ පාක්ෂිකයන් ද ප්‍රශංසා කලහ . නමුත් ප්‍රධාන සමාගම් විරුද්ධ විය . පසුව ආණ්ඩුව පෙරලීමත් සමඟ කොමිසම ද අඩාල විය . දෙවන දශකය තුල ආදායම් වාර්ථා අලුත්කල චිත්‍රපටයක් ලෙස “ සංදේශය ” චිත්‍රපටය හදුන්වා දීමට හැකිය . මෙම චිත්‍රපටය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ දෙවන චිත්‍රපටය යි . එම් . එ .එම් ෆිඩ්ස්ලර් රචිත “ Ceylon and Prortugal ” හා කේරෝස් ගේ “ The Temporal and Spiritual Conquest Of Ceylon නම් කෘති පාදක කරගෙන සංදේශය කතාව රචනා කල අතර මෙහි නිෂ්පාදක වූයේ කේ . ගුණරත්නම් ය . ලාංකීය , කොරියානු , ඉංග්‍රීසි , ඇමරිකානු , ජර්මන් ආදී ජාතිකයන් රඟපෑ මෙම චිත්‍රපටය නළු නිළියන් 200 කට අධික පිරිසක් , අශ්වයින් 20 පමණ රඟපෑ ලංකා සිනමා ඉතිහාසයේ අතිශය දැවැන්තම සිනමා නිර්මාණයක් ලෙස සැලකේ . සුමිත්‍රා ගුණවර්ධන දර්ශණ සම්බන්ධතා ලිවීමෙන් සහය වූ අතර ගාමිනී ෆොන්සේකා ඇතුළු සහාය අධ්‍යක්ෂකවරු 08 දෙනෙක්ගේ පමණ සහාය මෙම දැවැන්ත සිනමා නිර්මාණය සඳහා යොදාගෙන තිබේ . විලියම් බ්ලේක් කැමරාකරණයෙන් දායකවී ඇති අතර සුමිත්‍රා ගුණවර්ධන හා ටයිටස් තොටවත්ත සංකරණයෙන් දායක වී තිබේ . සිංහල සිනමා වංශ කතාවේ අති දැවැන්තම චිත්‍රපටයක් වන සංදේශය මාස 08 පුරා රූගත වූ අතර ආදායම් වාර්ථා අලුත් කරන ලද චිත්‍රපටයකි .
Image result for ranmuthu duwa film                                               පළමු දශකයේ සිට දෙවන දශකය මැදක් වන තෙක්ම සිනමාවේ රූප කළු සුදු වර්ණයෙන් යුක්ත විය . නමුත් ලංකා ඉතිහාසයේ නිර්මාණය වූ පළමු වර්ණ චිත්‍රපටය ලෙස “ රන්මුතු දූව ” චිත්‍රපටය ඉතිහාසගත වේ . මෙය 1962 – 63 කාල වකවානුව තුල නිර්මාණය වී තිබේ . “ රන්මුතු දූව ” කාරණා කිහිපයක් නිසාම ලංකා සිනමා ඉතිහාසය තුල සුවිශේෂී නිර්මාණයක් වේ . ලංකාවේ සිටි දක්ෂ නළුවෙකු හා නර්තන ශිල්පියෙකු වූ ශේෂා පලිහක්කාර දිනක් මුහුදයට දර්ශණ ඇතුලත් වීඩියෝවක් දුටු අතර එය වීඩියෝ ගත කර තිබුනේ ආතර් සී . ක්ලාක් , මයික්ජේ , විල්සන් හා රොඩ්නි ජහුමාස් යන පිරිස විසිනි . එය දුටු ශේෂාට මුහුද යට දර්ශණ ඇතුලත් චිත්‍රපටයක් කිරීමට සිත්විය . ඒ අනුව මුහුද යට ඇති නිධානයක් ගොඩ ගැනීමේ සිද්ධියක් ඇතුලත්කර චිත්‍රපටයක් නිපදවීමට ක්ලාක් හා මයික් සමඟ එක්ව “ සෙරන්ඩිබ් ” නම් සමාගම පිහිටුවාගෙන චිත්‍රපටය තැනීම ආරම්භ කරන ලදී . රන්මුතු දූව ලංකා සිනමා ඉතිහාසයේ පළමු වර්ණ චිත්‍රපටය වනවාසේම අවස්ථානුකූලව ගීත යොදාගත් මුල්ම චිත්‍රපටය ද වේ . මුළු චිත්‍රපටය පුරාවටම ගීත යොදා ඇත්තේ 03 පමණි . අමරදේවයන් තම මුල්ම චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වී සම්මාන ලබාගත්තේ ද මෙම චිත්‍රපටයෙන් වීම විශේෂත්වයකි . මෙහි වූ මුහුද යට රූගත කිරීම් දුටු ඇමරිකානුවන් විශ්මයට පත්වූ බවත් , ඒවා හොලිවුඩයට ද එකල ආගන්තුක ඒවා වූ බවත්  සඳහන්වේ . සුප්‍රකට බටහිර ජේම්ස්බොන්ඩ් චිත්‍රපට මාලාව සඳහා මෙම දර්ශණ ආදර්ශයට ගත් බව සඳහන් වේ . ඒ තරමටම එම වකවානුව වන විට ලාංකීය සිනමාව ප්‍රභල තලයක පැවත ඇත . මෙහි ප්‍රධාන චරිත ගාමිණී ෆොන්සේකා හා ජීවරාණි කුරුකුලසූරිය විසින් රඟපා ඇත .

            ලාංකීය සිනමාවේ තෙවන දශකය     

                                                                        සිනමාවේ තෙවන දශකය යනු ස්වර්ණමය යුගයේ උපරිම කාල වකවානුවයි . 1957 ඇරඹි සිනමා සංගම්වල ප්‍රතිඑල ලැබෙන්නේ මේ දශකය තුලදීය . මෙම යුගය තුල සිදුවූ සිදුවීම් රාශියකි . මෙම දශකය තුල සිදුවූ ඉතා වැදගත්ම සිදුවීම වන්නේ ජාතික චිත්‍රපට සංස්ථාව ඇරඹීමයි . 1972 ජනවාරි 21 දින රාජ්‍ය ආයතනයක් ලෙස කථා නාද සිනමාවට වසර 25 ක් පිරෙන දින ඇරඹි මෙම සිනමා සංගමයේ ප්‍රධාන අරමුණු දෙකකි .


  1.      ව්‍යාපාර අරමුණු .
  2.    දේශපාලන අරමුණු .
                                                    1970 හා 1972 ලංකාවේ මැතිවරණ ව්‍යාපාරයේ සමගි පෙරමුණ ආණ්ඩුවේ තිබූ ඡන්ද පොරොන්දුවකි “ ලංකාවේ සිනමා පාලනාධිකාරිය රජය යටතට ගැනීම  ” මේ නිසා ලංකාවේ එවකට සිටි නළු නිළියන් එක්ව සමගි පෙරමුණට සහාය දී විශාල ඡන්ද පෙරළියක් සිදුකරන ලදී .1972 වසරේ දී මෙරට සිනමාවේ තවත් සුවිශේෂී සිදුවීමක් වූයේ මෙම කාල වකවානුව වන විට මෙරට සිටි සියළුම ඉන්දීය ශිල්පීන් ඉන්දියාවට යාම පෙන්වා දිය හැකිය . එච් . මස්තාන්ගේ 1970 දී “ ආත්ම පූජා ” චිත්‍රපටය මෙරට අවසන් ඉන්දීය සිනමාකරුගේ චිත්‍රපටය විය . තරුණ සිනමාකරුවන්ගේ ආගමනය සිදුවන්නේ ද මෙම අවධිය තුලයි . තරුණ සිනමාකරුවන් මෙම අවධිය තුල වාණිජ සිනමාවෙත් , සම්භාව්‍ය සිනමාවෙත් ප්‍රමිතිය වර්ධනය කරමින් සිංහල සිනමාව වර්ධනයට දායක විය . වාණිජ සිනමාපට වශයෙන් ලෙනින් මොරායස්ගේ “ එදත් සූරයා අදත් සූරය ” , යසපාලිත නනායක්කාරගේ “ තුෂාරා ” , නීල් රූපසිංහගේ “ දැන් මතකද ” යන ජනප්‍රිය සිනමාපට හදුන්වා දීමට හැකිය . සම්භාව්‍ය සිනමා ගණයට සුගතපාල සෙනෙරත් යාපාගේ “ හන්තාවේ කතාව ” , ධර්මසේන පතිරාජගේ “ අහස්ගව්ව ” සිරි ගුණසිංහගේ “ සත් සමුදුර ” , වසන්ත ඔබේසේකරගේ “ වෙස්ගත්තෝ , වල්මත්වූවෝ , පළගැටියෝ ” හදුන්වා දීමට හැකිය .
                                                         සිංහල සිනමා ඉතිහාසයේ තෙවන දශකය තුලදී මුල්වරට චිත්‍රපට හරහා ලිංගිකත්වය ගැන කතාකිරීමට යොමුවීමද කැපී පෙනෙන ලක්ෂණයකි . “ නිම්වළල්ල , හදවත් නැත්තෝ , මොකද වුනේ , කළුදිය දහර , දුහුළු මලක් ” වැනි චිත්‍රපට හරහා ලිංගික දර්ශන සිනමා තිරයට ගෙන එන ලදී . එම නිසා මෙම කාලයේ බොහෝමයක් චිත්‍රපට සඳහා ලිංගිකත්වය වස්තු විෂය කරගන්නා ලදී . මෙම චිත්‍රපට හරහා සාධු චර්‍යා චරිත බිඳහෙලීම සිදුවිය . උදාහරණයක් ලෙස පෙර සිනමාපට වල නිරූපිත කාන්තාව සෑම විටම සුදු චරිතයන් විය . මෙම චිත්‍රපට මඟින් එම සම්ප්‍රදාය බිදහෙලමින් කාන්තාවන් කළු පසුබිම් චරිත තුලින් ද තිරය ඉදිරියට ගෙන එන ලදී .
                                                         මෙම කාලය තුල සිදුවූ තවත් වැදගත් සිදුවීමක් වූයේ චිත්‍රපට ආනයනය කිරීම රජයේ චිත්‍රපට සංස්ථාව පමණක් පවරා ගැනීමයි . ඒ යටතේ බොහෝවිට චිත්‍රපට ප්‍රදර්ශණය වූයේ රජයේ සංස්ථාව කැමති ආකාරයටයි . චිත්‍රපට සංස්ථාව මගින් සිනමාහල් වලට නියෝගයන් සිදුකරන ලදී . එනම් එතෙක් ඉංග්‍රීසි චිත්‍රපට පමණක් පෙන්වූ තැන්වල නියත වශයෙන්ම සිංහල චිත්‍රපට සඳහා වසරක යම් කාලයක් ප්‍රදර්ශණය සඳහා වෙන් කලයුතු බවයි . එමෙන්ම අතීතයේ මෙන් සිනමා සමාගම් වලට රිසිසේ චිත්‍රපට ප්‍රදර්ශණය කිරීමට නොහැකි වූ අතර ඒ සදහා චිත්‍රපට සමාගමෙන් අවසර ලබාගැනීම අවශ්‍යම විය . නිර්මාණකරුගේ පළමු චිත්‍රපටය නම් ඊට පෙර කෙටි චිත්‍රපටයක් සාදා පෙනවා චිත්‍රපට සෑදීමට වරම් ලබාගතයුතු විය . ආදී වශයෙන් විවිධ නීති පවා චිත්‍රපට සංස්ථාව මගින් ගෙන එන ලදී . 1976 - 03 – 01 දින සිට සිංහල චිත්‍රපට බෙදාහැරීමේ අයිතිය මුළුමනින්ම චිත්‍රපට සංස්ථාව හරහා රජයට පවරාගන්නා ලදී . මෙතෙක් පැවති ඉන්දීය ආරේ සංගීතයෙන් වෙන්වීම සිදුවන්නේ තෙවන දශකය තුලයි . ඒ තුලින් ලාංකික සැබෑ සංගීතය හදුනාගැනීමට හැකියාව ලැබේ . ඒ හරහා ප්‍රේමසිරි කේමදාස , සරත් දසනායන වැනි සංගීත කලාවේ දැවැන්තයින් සංගීතය හරහා අපේකම මතු කිරීම සිදුකරන ලදී . තෙවන දශකය තුල ලාංකීය සිනමාව තුල හරවත් සිනමා චින්තනයක් ගොඩනැගීම සඳහා චිත්‍රපට නිපදවීම සිදුවීම කැපීපෙනේ . ඒ යටතේ හන්තානේ කතාව වැදගත් චිත්‍රපටයක් වේ . හැටේ දශකයේ “ කලා පෙළ ” හරහා සිනමාවට පිවිසෙන සුගතපාල සෙනරත් යාපා අධ්‍යක්ෂණයෙන් හා සම තිර නාටක රචනයෙන් ද , බර්ටි ජයසේකර , ධර්මසේන පතිරාජ , බර්ටි ගුණවර්ධන , විජය ධර්ම ශ්‍රී දෙබස් රචනය හා සහය අධ්‍යක්ෂණයෙන් ද මෙම චිත්‍රපටය නිර්මාණය විය . හැත්තෑව දශකයේ තරුණ තරුණියන් මුහුණ දී සිටි ප්‍රශ්න සාකච්ඡාකොට සංවාදශීලී සිනමාවකට නව මංපෙත් විවරකරන ලදී .
                                                 ලාංකීය සිනමා ඉතිහාසය තුල එදා මෙදාතුර බිහිවූ සිනමාපට අතුරින් හොඳම සිනමාපටය ලෙස පිළිගනු ලබන්නේ “ නිධාන ” චිත්‍රපටය යි . මෙහි අධ්‍යක්ෂක වශයෙන් කටයුතුකර ඇත්තේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාය . මහාචාර්‍ය ජේ . බී දිසානායකගේ කෙටිකතාවක් ඇසුරින් නිර්මිත මෙම චිත්‍රපටය 1972 වසරේ ප්‍රදර්ශණය කර තිබේ . මෙම චිත්‍රපටය එම වසරේ ලෝකයේ විශිෂ්ඨතම චිත්‍රපට 20 පමණ තරඟ වැදින ඉතාලියේ වැනීස් උළෙලට ඉදිරිපත් වූ අතර එහිදී ලොව හොඳම චිත්‍රපටයට හිමි රජටත සිංහ සම්මානය දිනාගැනීමට ද හැකිවිය . මෙම චිත්‍රපටය අදටත් ලෝකයේ හොඳම චිත්‍රපට 100 න් එකක් වන අතර මෙරටින් එම තැන දරන්නේ ද නිධානය චිත්‍රපටය පමණි . මේ නිසා ලංකා සිනමා ඉතිහාසයේ ඉතාමත් වටිනා සිනමා නිර්මාණයක් ලෙස මෙම චිත්‍රපටය හදුන්වා දීමට හැකිය . මෙරට සිනමා ඉතිහාසය ගැන කතාකිරීමේ දී කතා නොකරම බැරි චිත්‍රපටයක් ලෙස යසපාලිත නානායක්කාරගේ අධ්‍යක්ෂණයක් වූ “ තුෂාරා ” හදුන්වාදීමට හැකිය . මෙම චිත්‍රපටය වාණිජ සිනමාවේ ආදායම් වාර්ථා අලුත් කල සිනමා නිර්මාණයක් විය . මෙම චිත්‍රපටයේ ඇති අනෙක් විශේෂත්වය වන්නේ ප්‍රධාන චරිත රඟපෑ විජය කුමාරතුංග හා මාලනී ෆොන්සේකා මගින් විජය - මාලනී යුගය සිනමාව තුල නිර්මාණය වීමයි . එම කාල වකවානුව තුල ආරම්භක සිනමාහල් සිලල්ළේම දින 120 ත් පසුකර ආදායම් වාර්ථා බිදහෙලූ චිත්‍රපටයක් ලෙස ඉතිහාසයට එක්වේ . තෙවන දශකය තුල සිදු වූ තවත් සුවිශේෂතම සිදුවීමක් ලෙස සිනමාකරුවන් අතරින් වැඩිම දේශපාලන අවබෝධයක් තිබූ වම් ඉව්‍රේ සිනමාකරු ලෙස හඳුන්වන ධර්මසේන පතිරාජයන් ද තම පළමු සිනමා නිර්මාණය ලෙස “ අහස්ගව්ව ( 1975 ) ” අධ්‍යක්ෂණය කරමින් සිනමාවට පිවිසෙන්නේ මෙම අවධිය තුලයි .        


ලාංකීය සිනමාවේ සිව්වන දශකය ( 1977 - 1986 )

                                                         සිනමා ඉතිහාසයේ සිව්වන දශකය යනු මෙරට සිනමාවේ අදුරු යුගය යනුවෙන් හදුන්වනු ලැබේ . වර්ථමානය වන විට අප ගෙවන හා විදින දුක සතුට , දෝමනස්සයන්ගේ පසුබිම ඇරඹෙන්නේ මෙම දශකය තුලය . විශේෂයෙන්ම මෙරට දේශපාලන වශයෙන් වෙනස්වීම් රැසකට ලක්වනේ ද මෙම අවධිය තුලය . එම වෙනස්කම් ලාංකීය සිනමාවේ ද වෙනස්කම් රැසක් ඇති කලේය . එම වෙනස්කම් අතර 1978 ආණ්ඩුක්‍රම සංශෝධනයත් සමඟ විවෘත ආර්ථිකය මෙරටට පැමිනීමත් සමඟ බලපෑම් රැසක් එල්ලවීම සිදු විය . එමෙන්ම මෙම සමය තුල ක්‍රියාත්මක වූ ජාතිවාදී ගැටුම් ද සිනමාවේ ගමනට බලපාන ලදී . මෙම හේතුව නිසා සිනමා ක්ෂේත්‍රයේ වෙනස්කම් රැසක් ඇතිවිය . ප්‍රධානතම වෙනස වූයේ පෙර පැවති පෙරළිකාර සිනමා උණුසුම අඩු වීමයි . එමෙන්ම 1978 විවෘත ආර්ථිකයත් සමඟ මිනිසාගේ ජීවන වියදම ඉහල යාම සිදුවූ අතර චිත්‍රපට බැලීමට වඩා මිනිස් අවශ්‍යතා අසීමිතවීම සිදුවිය . මෙම නිසා චිත්‍රපට නැරඹීම ඔවුන්ගේ අවශ්‍යතා අතරින් ඉවත්වී යාම සිදුවිය . 
                                                 ඊට අමතරව රජය මෙම කාල වකවානුව තුල දී අසීමිත ලෙස සිනමා කර්මාන්තයට මැදිහත්වීම සිදුවිය . මෙම නිසා බොහෝ සිනමාකරුවන්ට අපහසුතා රැසකට මුහුණ දීමට සිදුවිය . මෙයට හොදම උදාහරණය වන්නේ ප්‍රකට ගීත රචකයෙකු වූ සෝමපාල ලීලානන්ද චිත්‍රපටයක් තැනූ අතර ඔහුට අධ්‍යක්ෂක අවසරපත නොතිබීම නිසා ඳල සේයාපටය නොදීමට රජය තීරණය කල අතර අවසානෙයේ ඔහුට වෙන අධ්‍යක්ෂක වරයෙකු ලවා ඳල සේයාපටය ගැනීමට සිදුවිය . මෙම නිසා චිත්‍රපට නාමාවලියේ පවා අධ්‍යක්ෂණය කල ඔහුගේ නම යෙදීමට නොහැකි විය . එම නිසා ලංකා සිනමා ඉතිහාසයේ චිත්‍රපට නාමාවලියේ අධ්‍යක්ෂකගේ නම නොමැති එකම සිංහල චිත්‍රපටය “ චන්ඩි පුතා ” චිත්‍රපටය විය . ඒ සෝමපාල ලීලානන්ද අධ්‍යක්ෂණය කල චිත්‍රපටය යි . මෙම කාල වකවානුව තුල වර්ණ චිත්‍රපට සඳහා රජය විසින් ණය ලබාදීම සිදුකරන ලදී . නමුත් විවෘත ආර්ථිකය නිසා මිනිසාගේ ජීවන වියදම ඉහල යෑම , සිවිල් යුද්ධය ආදී කරුණු පාදක කරගෙන චිත්‍රපට නැරඹීම සඳහා ප්‍රේක්ෂකයන් සිනමා ශාලා වලට නොයාම හේතුවෙන් චිත්‍රපට නිෂ්පාදක වරුන්ට පාඩු සිදුවිය . එයට ප්‍රධාන හේතුව වන්නේ කළු සුදු චිත්‍රපට වලට වඩා වර්ණ චිත්‍රපට නිපදවීම සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදුවීමයි . ඉහත දැක්වූ විවිධ කරුණු හේතු කරගෙන ප්‍රේක්ෂකාගාරය සිනමාවෙන් ඈත්වීම නිසා විශාල සමාගම් සිනමා කර්මාන්තයෙන් ඈත්වීම සිදුවිය .
                                                         තවද විනෝද මාධ්‍යක් ලෙස විවෘත ආර්ථිකයත් සමඟ රූපවාහිනිය හා VHS වීඩියෝ යන්ත්‍ර මෙරට ජනතාවට හදුන්වා දෙන ලදී . ඒත් සමඟම බොහෝ පිරිසක් සිනමා ශාලා වලින් ඈත්ව රූපවාහිනියෙන් විනෝදාස්වාදය ලබා ගැනීමට තල්ලු විය . ප්‍රථම වරට 1976 දී නොබැදි ජාතීන්ගේ සමුළුව මෙරට පවත්වන විට රටවල් 96 ක් ඊට සහභාගී වූ අතර මෙම සමුළුව මහජනයාට ප්‍රදර්ශණය කිරීම සඳහා විශාල වර්ණ රූපවාහිනී යන්ත්‍ර කොළඹ නගරයේ තැනින් තැන රදවා සමුළුව මහජනයාට ප්‍රදර්ශණය කරන ලදී . එය මහජනතාව අතර රූපවාහිනිය ගැන උනන්දුවක් ඇතිවීමට හේතුවිය . මේත් සමඟම රූපවාහිනිය හරහා චිත්‍රපට පෙන්වීමද සිදුකරන ලදී .  ITN නාලිකාව හරහා “ මඩොල්දූව ” ( ලෙස්ටර් ජේම්ස් පීරිස් ) , රූපවාහිනී නාලිකාව මඟින් “ පිංහාමි ” ආදී චිත්‍රපට පෙන්වීම සිදුකරන ලදී . සිනමාහල් වලට ගොස් චිත්‍රපට නැරඹීම දුෂ්කර වූ නිසා ඇතැම්හු ටෙලිවිෂනයෙන් තම අවශයතාව සපුරා ගත්හ . එමෙන්ම කොළඹ අවට UHS පට වලින් රු : 2.00 ක් වැනි සුළු මුදලකට සභ්‍ය - අසභ්‍ය ඕනෑම දෙයක් නැරඹීමට හැකි වීඩියෝ හෝල් සම්ප්‍රදායක් ඇති විය . අඟල් 14 - 20 ටෙලිවිෂනයකින් රූපරාමු පෙන්වා ඇත . එමෙන්ම චිත්‍රපට කර්මාන්තය මේ ආකාරයෙන් විවිධ හේතු නිසා කඩා වැටීමට ලක්වීම හේතුවෙන් සිනමාහල් වල පහසුකම් පවා අඩුකිරීම සිදුකර ඇත . එයට හේතුව සිනමාහල් වලට ප්‍රේක්ෂකයන් නොපැමිණීම නිසා සිනමාශාලා හිමියන්ට මහත් පාඩු දැරීමට සිදුවීමයි . 
                                               1981 සිට 89 දක්වා වනතෙක් සිනමාවේ රූපරාමු ඒ ආකාරයෙන්ම කොපිකරමින් කොපි චිත්‍රපට රැල්ලක් ඇති විය . මෙය ආරම්භ වන්නේ 1981 “ නැවත හමුවෙමු ” චිත්‍රපටයත් සමඟයි . මෙහි අධ්‍යක්ෂක වූයේ සුනිල්සෝම සීරිස් ය . මෙරට වැඩිම චිත්‍රපට ගණනක අධ්‍යක්ෂක වූ මොහුගේ චිත්‍රපට වලින් 90 % ක්ම මෙම කොපි චිත්‍රපට වර්ගයේ ය . 1983 ජුලි 21 මෙරට සිනමාවේ අදුරුතම දිනයක් විය . ජාතිවාදී අරගල හේතුවෙන් ලංකාවේ ප්‍රධාන චිත්‍රාගාර වූ කොළඹ විජය හා ලංකා චිත්‍රාගාර ගිනිතබා විනාශ කරන ලදී . එමෙන්ම කොළඹ ප්‍රධාන සිනමාහල් වූ මරදාන එල්ෆියස්ටන් හා ගාමිණී ඇතුළු සිනමා ශාලා රැසක් ගිනිතබා විනාශයට පත්කරන ලද මෙවන් කාලවකවානුවක් තුල “ සරුංගලය ” වැනි දේශපාලන ප්‍රශ්න කතාකරන , ජාතිවාදය හෙලා දකින චිත්‍රපට ද බිහිවිය . මෙම යුගය තුල දැකගත හැකි තවත් ලක්ෂණයක් වූයේ සිනමා තරු දේශපාලනයට පැමිණීමයි . ඒ යටතේ ගාමිණී ෆොන්සේකා , විජය කුමාරතුංග දේශපාලන කරළියට පැමිණි ප්‍රසිද්ධ නළුවන් වේ .


ලාංකීය සිනමාවේ පස්වන දශකය .

                                                                     සිනමාවේ පස්වන දශකය සැලකීමේ දී සිනමාව අදුරින් එළියට පැමිණි යුගයයි . මෙම යුගයේ සිනමාවේ කැපීපෙනෙන ලක්ෂණ කිහිපයක් විය . මෙම යුගය තුල නිෂ්පාදනය කරන චිත්‍රපට සංඛ්‍යාත්මකව වැඩි වුවද කැපී පෙනෙන ප්‍රභල චිත්‍රපට ඉතාම අල්ප විය . මෙම යුගය තුල ප්‍රධාන ආයතන චිත්‍රපට නිෂ්පාදනයට හවුල් නොවූ අතර චන්ද්‍රරත්නම් , විජේරත්න අතපත්තු වැනි හොඳ නිෂ්පාදකවරු කිහිප දෙනෙක් පමණක් චිත්‍රපට නිෂ්පාදනය කල අතර බොහෝ විට එකිනෙකා එකිනෙකාගේ චිත්‍රපට වලට උදවි කළහ . එමෙන්ම මෙම යුගය තුල මාලනී ෆොන්සේකා , අනෝජා වීරසිංහ , ශ්‍රියානි අමරසේන , සෝනියා දිසා , ගීතා කුමාරසිංහ වැනි චිත්‍රපට නළු නිළියන් චිත්‍රපට නිෂ්පාදනයට පිවිසීම මෙම දශකයේ කැපීපෙනෙන ලක්ෂණය කි . එමෙන්ම විජය කුමාරතුංග බොහෝ චිත්‍රපටවල මෙම යුගය තුල නොමිලේ රඟපෑවේය . 1990 දී EAP සමාගම චිත්‍රපට කර්මාන්තයට හවුල්වීම සිදුවීම ද විශේෂ ලක්ෂණයකි .
                                                         මෙම යුගය තුල පෙරලිකාර තරුණ සිනමාකරුවන්ගේ ආගමනය ලංකීය චිත්‍රපටයේ ඟමන් මග වෙනස් කිරීමට යම්කිසි විප්ලවයක් සිදුකරන ලදී . මේ යුගයේ පැමිණි තරුණ අධ්‍යක්ෂකවරු රූපයෙන් කතා කියන සිනමාපට නරබා ක්ෂේත්‍රයට පැමිණි පිරිසක් විය . මෙම අධ්‍යක්ෂකවරුන් අතර ,


  •      පරාක්‍රම කිරිඇල්ල
  •      ප්‍රසන්න විතානගේ
  •      විශ්වනාත් බුද්ධික කීර්තිසේන
                                     ආදී ප්‍රමුඛයෝ වූහ .මෙම සිනමා කරුවන්ගේ පෙරළිකාර ආක්‍රමණය නිසා සිනමාව කර්මාන්තයක් ලෙස ගමන ඇරඹීමට අඩිතාලම වැටීම සිදුවිය . මෙම කාල වකවානුව තුල සිංහල සිනමාව තුල සිනමාව ප්‍රේක්ෂකයාට වඩාත් සමීප වීමට සාධකයන් වූ ජනප්‍රිය ගායක එච් . ආර් ජෝතිපාල සහ ජනප්‍රිය නළු විජය කුමාරතුංග යන දෙපල ජීවිතයෙන් සමුගැනීම ද ලාංකීය සිංහල සිනමාවට පිරවිය නොහැකි හිස්තැනක් විය . 1987 දී ජෝතිපාල මහතා මෙලොව හැරගිය අතර 1988 දී නොසිතූ ලෙස විජය කුමාරතුංගයන් සාහසිකයකුගේ වෙඩි පහරින් මරණයට පත්විය . මෙම වෙන්වීම් ද්විත්වය ද සිංහල සිනමාවෙන් ප්‍රේක්ෂකයා ඉවත්වීමට හේතුවක්  වූ බව ද කිව යුතුය .
                                           එමෙන්ම වැඩි ආදායම් ලබන අරමුණින් බොහෝ නිෂ්පාදකවරු අඩු වියදමක් දරමින් , අඩු කාලයක් වැය කරමින් චිත්‍රපට නිපදවීම සිදුකරන ලදී . සමහර චිත්‍රපට දින 07 වැනි ඉතා කුඩා කාලයක් තුල රූගතකල බව ද සදහන් වේ . සුනිල්සෝම පීරිස් , ලුවී වැන්ඩස්ටාර් වැනි අය අඩු වියදම් චිත්‍රපට නිෂ්පාදනයේ නිරතවූ අය වේ. මෙම ක්‍රියාවලිය නිසා කලාත්මක අතින් අපොහොසත් ඉතාමත් ලාබාල චිත්‍රපට බිහිවිය . ඒත් සමඟ ජනතාව සිනමාහල් වලින් ඈත්වීම සිදුවිය . රූපවාහිනියේ පෞද්ගලික නාලිකා මඟින් 90 දශකය ඇරඹීමත් සමඟ ලෝකයේ කලාත්මක හා වාණිජ චිත්‍රපට මිනිසුන්ට සමීප වීමත් සමඟ මෙරට එම වකවානුව තුල නිර්මාණය වූ ක්ෂණික චිත්‍රපට වල තත්වය බාල්දු වී ගියේය . මේ නිසා නිෂ්පාදන වියදම අඩුවෙන් චිත්‍රපට නිෂ්පාදනය කර පෙන්නුව ද චිත්‍රපට ශාලා වලට ප්‍රේක්ෂකයන් ඉතා අඩුවෙන් පැමිණීම නිසා චිත්‍රපට වල ආදායම අඩුවිය . සමස්ථ කර්මාන්තයම අර්බුදයට පත් කරමින් සුළු ලාභයක් පමණක් ලබාගෙන ආදායම උපයාගැනීමට චිත්‍රපට නිර්මාණකරුවන් කටයුතු කරන ලදී .
                                                                   70 දශකයේ “ හන්තානේ කතාව ” චිත්‍රපටයෙන් ඉන් පසු “ දුහුළු මලක් ” වැනි චිත්‍රපටයන් හරහා ලිංගිකත්වය පිළිබද කතා කළ අතර මේ දශකයේ දී “ ඇගේ වෛරය ” වැනි චිත්‍රපට හරහා මානව ප්‍රකාශනයන්ට එහාගිය ලිංගිකත්වයේ කාම පක්ෂයට බර චිත්‍රපට නිර්මාණය වීම ද කැපීපෙනෙන ලක්ෂණයකි . මෙහි විශේෂත්වය වන්නේ සිනමාවෙන් ඈත්වී සිටි ප්‍රේක්ෂකයන් මේවා වටා රොක් වීමයි . හොඳම උදාහරණය වන්නේ චන්දි රසිකා ලක්ෂ 3 ½ කට නිපදවූ ඇගේ වෛරය චිත්‍රපටය පලමු දර්ශණ වාරයේදීම විශාල ආදායමක් ලැබීමයි . මෙම යුගය තුල නිර්මාණ කරුවන් වාරණය ගැන තැකීමකින් තොරව නිර්මාණ සිදුකරන ලදී . නමුත් 1988 - 89 යනු ලංකා සිනමාවේ වාරණය තදින්ම ක්‍රියාත්මක වූ අවධිය යි . එවකට රැගුම්පාලක මණ්ඩලයේ සභාපති ආර් . පල්ලේවල මහතා වාරණය දැඩිව ක්‍රියාත්මක කරන ලදී . ඇතැම් වාණිජ තලයේ චිත්‍රපට පවා පොලිසියට අපහස කරන්නේ යැයි තනම් කරන ලදී . නමුත් 1993 රාජ්‍ය පෙරලීමත් සමඟ රැගුම්පාලක මණ්ඩලය ද වෙනස්වී නව ලිබරල්වාදී මත දරන සිරිසක් පැමිණීමත් සමඟ දැඩි වාරණ නීති ලිහිල් කරන ලදී . මෙහි මුල් පුටුව හෙබවූයේ මහාචාර්‍ ය සෝමරත්න බාලසූරිය යි . මෙම හේතුව නිසා වාණිජ චිත්‍රපට වලට පවා වැඩි වැඩියෙන් ලිංගික දර්ශණ ඇතුලත් කරන ලදී . එයද සිනමාව යම් පසු බැසීමකට ලක්වීමට හේතු වූ බව විචාරකයන් පවසති . මෙම යුගය තුල නිර්මාණය වූ වැඳගත් චිත්‍රපට ලෙස ,

  •  නොම්බර 17 ( 1989 ) - සෝමසිරි සෙල්ලප්පෙරුම අධ්‍යක්ෂණයකි .
  •  විරාගය ( 1987 ) - තිස්ස අබේසේකර අධ්‍යක්ෂණයකි .
  •  සාගරජලය මදි හැඩුවා ඔබ හන්දා ( 1988 ) - සුමිත්‍රා පීරිස් අධ්‍යක්ෂණයකි 
  •  ඇගේ වෛරය ( 1995 ) - ලුවී වැන්ඩස්ට්‍රාම් අධ්‍යක්ෂණයකි .
  • එකදා වැහි ( 1994 )
  • සිහින දේශයෙන් ( 1996 ) - විශ්වනාත් බුද්ධික කීර්තිසේන
                     හදුනාගත හැකිය . “ සිහින දේශයෙන් ” චිත්‍රපටය මෑත සිංහල ඉතිහාසයේ වැදගත් චිත්‍රපටයකි. විශ්වනාත් බුද්ධික කීර්තිසේන සිනමාවට පැමිනෙන්නේ මේ හරහා ය . විදිමත් සිනමා පරිචයක් ලැබූ ඔහු මෙරට සිනමාවේ සම්මත ආඛ්‍යානය බැහැර කර හරින ලදී . 90 දශකයේ චිත්‍රපට බොහෝමක් සම්මතයන් බැහැර වුවද විශාල අඩියක් පැන්නේ මොහුගේ මෙම “ සිහින දේශයයෙන් ” චිත්‍රපටය හරහා බව පිළිගැනේ . මෙම සිහින දේශයෙන් චිත්‍රපටය මුළුමනින්ම සම්ප්‍රධායෙන් වෙනස් වූ සිනමා නිර්මාණයක් විය . මෙම කාල වකවානුව වන විට චිත්‍රපට සංස්ථාවේ ඒකාධිකාරිය වෙනස්වීම සිදුවිය . 1996 දී සේනක බණ්ඩාරනායක නමින් කමිටුවක් විය . එහි සභාපති සේනක බණ්ඩාරනායක වූ අතර සිනමා විචාරක ගාමිණී වේරගම හා පරිපාලන නිලධාරී සිරිල් ගුණපාල මෙහි සෙසු සාමාජිකයන් විය . ඒ හරහා සංස්ථාවේ ඒකාධිකාරිය වෙනස් කරන ලෙස පවසන ලදී . 2000 දී තිස්ස අබේසේකර සංස්ථාවේ සභාපති වීමත් සමඟ සංස්ථාවට පැවති චිත්‍රපට ඒකාධිකාරිය අහෝසිකර චිත්‍රපට ශාලා වර්ගීකරණය කරන ලදී .

  •    සංස්ථාවේ සිනමාහල් - RIDMA මණ්ඩලය
  •   EAP    සමාගම - EAP මණ්ඩල
                                      CEL මණ්ඩල
                                      MPI මණ්ඩලය
  •     Lanka Film Distributors - LFD මණ්ඩලය

යනු එම මණ්ඩල වේ . මෙම මණ්ඩල අදටත් ක්‍රියාතමකවේ . 2007 සිට සිනමා ක්ෂේත්‍රය ඩිජිටල්කරණය වීම ඇරඹුණු නමුත් සිනමාහල් ඩිජිටල්කරණයට ලක්වූයේ ඉතා මඳ වශයෙනි . බොහෝ සිනමාහල් ඩිජිටල්කරණයට ලක්වූයේ 2016 තිරගත වූ “ සරිගම ” චිත්‍රපටය තිරගත කිරීමට නම් සිනමා ශාලා ඩිජිටල් කරණය වීම අත්‍යාවශ්‍ය සාධකයක් වූ නිසාය . එතෙක් සිනමාව තුල සිදුවූයේ ඩිජිටල් කැමරාව මඟින් පටිගත කරන ලද සිනමාපටය නෙගටිව් පටයකට නැවත ඇතුලත් කර ප්‍රදර්ශණය කිරීමයි . පසුව 2K , 4K දක්වා ලාංකීය සිනමාහල් තාක්ෂණයෙන් දියුණු වූ අතර “ මායා ” මෙරට ප්‍රථම 3D චිත්‍රපටය වේ . මෙවැනි තාක්ෂණික සාධක මත සිනමාව නැවත ආකර්ශණීය තත්වට පැමිණ ඇත . මෙම කාල වකවානුවට මුල් කාලයේ වාණිජ සිනමාව ඉතා පහත් අඩියක පැවතුණු අතර බොහෝ චිත්‍රපට බොළඳ කතා තේමා රැගත් විකට චිත්‍රපට විය . නැවත සිනමා ශාලා ප්‍රේක්ෂකයන්ගෙන් පිරීයන්නේ 2004 තිරගත වූ සුනිල් ආරියරත්නයන්ගේ “ උප්පලවණ්නා ” චිත්‍රපටයත් සමඟයි . සම්භාව්‍ය සිනමා නිර්මාණයක් වූ මෙය ප්‍රේකෂක ආකර්ෂණය ද දිනාගත් චිත්‍රපටයක් විය . පසුව චන්න පෙරේරාගේ “ අංජලිකා ” , උදයකාන්ත වර්ණසූරියගේ “ හිරිපොද වැස්ස ” “ ආසයි මං පියාඹන්න ” හරහා ද සිනමාවට නව රිද්මයකින් යුතු චිත්‍රපට රැල්ලක් ඇති විය . ඒත් සමඟම පූජා උමාශංකර් , පුබුදු චතුරංග , රොෂාන් රණවන වැනි තරුණ පරපුරේ යොවුන් සිනමා තරු ඉදිරියට එමින් තරු සංකල්පය නැවත ඇතිවිය .
                                                        ජැක්සන් ඇන්තනී , සුනිල් ආරියරත්න වැනි සිනමා කරුවන් ඉතිහාස කතා චිත්‍රපට ශානරය හරහා “ අබා ” , “ කුසපබා ” වැනි සිනමාපට හරහා ප්‍රේක්ෂකයන් සිනමා ශාලා වලට ගෙන ඒමට සමත් විය . එමෙන්ම මෙම කාල වකවානුව තුල ගිරිරාජ් කෞෂල්‍ය තම සිනමා භාවිතය හරහා ප්‍රේක්ෂකයන් ආකර්ෂණය කරගන්නා ලදී . ඔහුගේ නිර්මාණ අතර “ සිකුරු හතේ ” , “ සුහඳ කොකා ” වැනි හාස්‍ය චිත්‍රපට හරහා ප්‍රේක්ෂකයන් ආකර්ෂණය කරගන්නා ලදී . “ සරෝජා ” , “ පුංචි සුරංගනාවි ” , “ හෝගාණා පොකුණ ” , “ ගෝල් ” , “ තාල ” වැනි ලමා චිත්‍රපටයන් ද මෙරට වාණිජමය වශයෙන් මෙන්ම දෙස්විදෙස් සම්මාන ලබමින් වර්තමාන සිනමාව තුල ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් නිර්මාණ වේ .
Image result for pura handa kaluwara film                        මෙම දශකය තුල ද පෙර දශක වල මෙන් අධ්‍යක්ෂකවරු තම චිත්‍රපට අන්තර්ජාතික උළෙලවල දී ජයග්‍රහණය කල නමුත් මීට පෙර යුගවල දී කිසිදු නළුවෙකුට හොඳම නළුවාට හිමි අන්තර්ජාතික සම්මානයක් දිනාගෙන තිබුනේ නැත . ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කල “ පුරහඳ කළුවර ” චිත්‍රපටය හරහා ජෝ අබේවික්‍රමයන් දක්වන ලද රංග ප්‍රතිභාව නිසා සිංගප්පූරු අන්තර්ජාතික සම්මාන උළෙලේ දී හොඳම නළුවා බවට ද පත්විය . ඉන් පසු නව පරපුරේ ජගත් චමිල ( සැමීගේ කතාව ) , මහේන්ද්‍ර පෙරේරා ( 28 ) , ජයලත් මනෝරත්න ( සූවිසි විවරණ ) , කෝකිල පවන් ( සිරි රජ සිරි ) ආදී නළුවන් ප්‍රභල සිනමා නිර්මාණ හරහා හොඳම නළුවාට හිමි සම්මන අන්තර්ජාතික වශයෙන් හිමිකර ගන්නා ලදී . මෙම යුගය තුල දී නිළියන් රැසක්ම හොඳම නිළියට හිමි සම්මානයන් අන්තර්ජාතික වශයෙන් ලබාගැනීම වර්ථමාන සිනමා ගමන්මගේ විශිෂ්ඨ මංසලකුණු පෙන්වයි .


  •     නීටා ප්‍රනාන්දු - “ පවුරු වළලු ” - සිංගප්පූරු අන්තර්ජාතික සම්මාන උළෙල
  •   මාලනී ෆොන්සේකා - “ ආකාස කුසුම් ” - නවදිල්ලි අන්තර්ජාතික සම්මාන උළෙල
  •    අංජලී පටෙල් - “ ඔබ නැතුව ඔබ එක්ක ” - නවදිල්ලි අන්තර්ජාතික සම්මාන උළෙල
                                    2010න් පසු ලෝකය තාක්ෂණය අතින් වඩාත් දියුණුවට පත්වූ අතර ලෝකයේ සිනමාව මෙන්ම ලංකික සිනමාව ද ඒ අනුව වෙනස් වීම සිදුවිය . DVD පටවලට සිංහල චිත්‍රපට නැගුණු අතර ප්‍රථම සිංහල DVD චිත්‍රපටය වන්නේ බෙනට් රත්නායකයේ “ අස්වැසුම ” චිත්‍රපටය යි . පළමුව Blue – Ray බවට “ මාතලන් ” චිත්‍රපටය පත්විය . අද වන විට අන්තර්ජාලය හරහා චිත්‍රපට Online සිංහල චිත්‍රපටය “ සරිගම ” විය . මෙය Youtube හරහා මිලියනයකට අධික පිරිසක් නරඹා තිබෙන බව වාර්තා පෙන්වා දේ . ප්‍රථම ජංගම චිත්‍රපටය ලෙස “ එක දවසක අපි ” චිත්‍රපටය හැදින්විය හැකිය . එය ලෝක සිනමාවෙන් අප සිනමාව මිදී නැති බවට පෙන්වීමට හොඳම සාක්ෂියකි .
                               අද වනවිට දැකගත හැකි තවත් ලක්ෂණයක් වන්නේ එකම සිනමාහලේ විවිධ දර්ශණ වාරයන් සඳහා චිත්‍රපට කිහිපයක් පෙන්වීම යි . අද වන විට තාක්ෂණයේ දියුණුවත් සමඟ Peo Tv ආදිය හරහා චිත්‍රපට මිලට ගෙන නැරඹීමේ හැකියාව ද ලැබී ඇත . අද වන විට අශෝක හඳගම වැනි පෙරළිකාර අධ්‍යක්ෂක වරුන්ගේ ආගමනයත් සමඟ සිනමාව සමාජය තුල කතාබහට ලක්වන අංගයක් බවට පත්ව ඇත . “ අක්ෂරය , අසන්ධිමිත්තා , ඇගේ ඇස ඈග ” හරහා ඔහුගේ සමාජ කියවීම ප්‍රභලවම ප්‍රේක්ෂකයාට සමීප කරවීමට ඔහු වර්ථමාන යුගය තුල සාර්ථක උත්සාහයක යෙදෙමින් සිටී . මේ ආකාරයට “ රාජකීය වික්‍රමය ” තුලින් ඇරඹි ලාංකීය සිංහල සිනමාව විවිධ කාල වකවානු තුල දී විවිධ හැරවුම් ලක්ෂ හරහා ඉහළම තලයකට එමින් නැවත බිඳ වැටෙමින් විවිධ තාක්ෂණික කාරණා හරහා අලුත් වෙමින් පැමිණි ගමන හා ලාංකීය සිනමාවේ දියුණුවට හේතු වූ විශේෂ සන්ධිෂ්ඨානයන් මෙලෙස හඳුනාගත හැකිවේ .

                                                                                                                  - මහේෂ් චාමර -
                                                                                                                                              

                                                                 

Comments

Post a Comment

Popular posts from this blog

සමාජ යථාර්ථවාදය සහ සිනමාව .

කසුකුසුව 01 - රත්න ශ්‍රී විජේසිංහ සමඟ