කසුකුසුව 01 - රත්න ශ්‍රී විජේසිංහ සමඟ


Image may contain: 1 person, text
                                                                               මේ කසුකුසුව සිදුවුණේ ගිය වසරේ අලුත් අවුරුද්දට ළඟා වෙන්නට ඔන්න මෙන්න තියෙද්දි ය. අපි වැස්සත් අරගෙන ගාල්ලට ළඟා වුයේ දහවල් යාමයේ ය. " වෙනස " සඟරාව මල්ලක දමාගෙන මගේ තනියට ආවේ කළණ ය. එවිට ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ තෙවන වසරේ විද්‍යාර්ථයෙක් වු අතර මේ ගමන එන්නට එනවා දැයි ඔහුගෙන් ඇසුවිට අලුත් අවුරුද්දට ඇදුම් ගන්නට නගරයාම්ට යෑම පැත්තකින් තබා වේයන්ගොඩ සිට ආවේ ය.
අප කොළඹ සිට හොදින් හැදපැලදා ආ නමුත් කවියාගේ නිවසේ උඩු මහලට ගොඩවුණේ තෙතබරිතව ය. කවියා අපට ක්‍රිම් ක්‍රැකර්,තේ කහට සමගින් හපුතලෙන් ගෙනා කිතුල් හකුරු දි අපේ විඩාවන් සමනය කරන්නට කටයුතු කිරිය. විශාල පොත් කබඩ් කිහිපයකින් සමන්විත වු ඒ ආලින්දයට පිවිසෙන විටදිම දක්නට ලැබෙන්නේ විශාරද කපුගේගේ රාමුකල පින්තුරයකි. ඉදහිට අහස ගොරවමින් අපේ කතාවට බාධා කර නමුත්, පොද වැස්ස ගෙනා හීන් සීතල කසුකුසුව තව රසවත් කල හැටි මට තවම මතකය. ආ ගිය තොරතුරු බෙදාගැනිමෙන් අනතුරුව අපි කසුකුසුව පටන් ගත්තෙමු.
"ඔය දෑල දොඩමළුය සුවඳ බැරුවා ඉන්ට
නිල්වතුර තුරුලුකර කෙසේ අතහැර යම්ද
කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන
සොඳුර නුඹ වාගේ ම හිනැහේ ය මා එක්ක"
1. "වස්සානේ" කෘතියේ සියලුම කවි ඔබ අතින් ලියැවුණේ මොණරාගල ප්‍රදේශයේ දුෂ්කර සේවයේ නියැලෙමින් සිටියදි ද ?
මොණරාගල ඉන්න කාලෙ තමයි,හැබැයි ඒකට මොණරාගල විතරක් ම නෙමේ පසුබිම් වෙන්නේ. මං ගාල්ලේ හිටියේ අවුරුදු හතලිහක් විතර. කොටුවෙ අපේ ගේ ඉස්සරහ තමයි හේලී සමාගමේ කොහු මෝල තිබුනේ."මිය සහ පැණි" කවිය ලියැවුනේ ඒ පරිසරයෙන් ලබාගත් අත්දැකීම්වලින්. වස්සානේ කෘතියේ ලියැවුණු කවිවලට පාදක වුණේ එක එක තැන්වල විසිරිච්ච අත්දැකීම්. වැඩි හරියක්ම තිබෙන්නේ හැබැයි මොණරාගල අත්දැකීම්."වංකගිරියට මාරුවීම", "ජිනදාස සිංහලේ යයි" ඒ ගමන නිසා ඉපැදුනු කවි. ඔය පොතේ තියෙන "හමාර බණවර" කියන කවිය එලෙවල් කාලේ මගේ අතින් ලියැවුණේ. මම සේකරට ඒ කවිය යැව්වා. සේකර මට ඒ කවිය හොඳයි කියලා එවපු ලියුම මං ගාව තාම තියෙනවා.

"ආ මඟ දුෂ්කරයි
අප විටෙක ඇද වැටුණා සැබෑයි
එහෙත් නතරව එතැන
වැලපිය යුතු නොවෙයි - අප යා යුතුයි"
2. " සමුගැනීම" ලියැවුණේ ඇයි ?
ත්‍රීමල් විතාරණගේ කාමරේ ගහලා තිබුණ කවියනේ ඔය. ඕක නිසා පොලිසිය ඇවිත් මගෙන් කටඋත්තරයකුත් ගත්තා. මේ කවිය ලියවෙන්න විශේෂ හේතුවක් නෑ.ඔය කවිය ගුරු විද්‍යාලේ අපේ බැච් එක යන වේලාවේ ලියලා මම කියෙව්වා. මේ කවිය ඒ කාලේ තිබ්බ දේශපාලන සිද්ධිත් එක්කත් සම්බන්ධයි. අවදියෙන් සිටින කවියෙක් උනාම තම අවට සිදුවන දේශපාලන සංසිද්ධි පිළිබඳව සවිඥානිකයිනේ. ඒවා මඟහැරලා ලියන්න ඇත්තටම අමාරු දෙයක්. අතිශය පෞද්ගලික අත්දැකීමක් වුණත් ලියද්දි තමන් දරන දෘෂ්ඨිවාදය,දේශපාලන මතය ඉස්මතු වෙනවා.
"පඩි පෙළින් බැස අයින් වී එන්න
අලුත් මල් පොකුරු අරගෙන එන්න
පින්වතුනි, එන අයට ඉඩ දෙන්න
එපා පරමල් පයින් පාගන්න"
3.කවියෙකු ලෙසින් පැමිණි මාර්ගයේ ඔබ පුරුදු පුහුණු කළ දේවල් මොනවාද ?
එහෙම පුරුදු පුහුණු කළ විශේෂ දෙයක් නෑ. ඒත් කියවීම තමයි පළවෙනි කාරණය. තමන්ට අදාල දෙය විතරක් නෙමෙයි, හැම විෂයක් ගැනම දැනුම එක් රැස් කර ගැනීම වැදගත්. මං ඉස්කෝලෙ ඉගෙන ගත්තෙත් විද්‍යාව. ඒ නිසා මට හුඟක් සාහිත්‍ය කලාව ගැන පොත් කියවන්න සිද්ධ වුණා. ඒ වගේම අභ්‍යාසය. පොඩි කාලේ හත, අට වසරේ ඉන්නකොට මට ඩයරියක් ගන්න සල්ලි තිබුණේ නෑ. කඩවල්වල බඩු,ගණන් ලියන පොත් තීයනවනේ. ඒවායේ දවසට එක කවිය ගානේ ලිව්වා. හැබැයි කෙනෙක්ට ප්‍රතිභාව කියලා දෙයකුත් තියෙන්න ඕනේ . රසුල් ගම්සොටොව්ගේ " මගේ දගෙස්ථානය" කියලා පොතක් තියනවා. ඒක සත්‍ය සිදුවිම් පෙලක් ඇසුරු කරගෙන ලියැවුණ පොතක් . රුසියන් භාෂාවෙන් කවි ලියන කෙනෙක්ට මධ්‍යම මට්ටමේ කවි ශක්තියක් තියෙන කෙනෙක්ව හම්බවෙනවා. නොයෙක් නොයෙක් කවි වෙලා එයා උත්සාහ කරනවා ජනප්‍රිය වෙන්න. එයා සල්ලිත් හම්බ කරනවා. එයාට කළු මුහුද ආසන්නයේ වෙරළේදී හම්බ වෙනවා රත්තරන් පාට මාළුවෙක්. රත්තර පාට මේ මාළුවා ඔහුට අවශ්‍ය සිතූ පැතූ සම්පත් හැමදෙයක් ම ලබා දෙන වරයක් දෙනවා. වරය නිසා එයාට ගෙවල්දොරවල්, යානවාහන, තනතුරු හැම දෙයක්ම ලැබෙනවා. අන්තිමට එයාගේ බිරිඳ කියනවා ඔයාට තිබ්බෙ යානවාහන,මිලමුදල් නෙමෙයි ප්‍රතිභාව ටිකක් ඉල්ලගන්න කියලා. ඒ කියන්නේ ඒ පැත්තෙන් එයා අසාර්ථකයි කියලා.
" ලයිට් කපන ගනදුර එන නගරයට
නොයෙක් භෘංගයෝ රිංගති පෝලිමට
ඇවිත් රෑ වැඩට පේ වෙන රන් කදට
සාදු සාදු ඇස් ලැබියන් කළුවරට"
3. "පැණි කෑ ගැහැනිය" පැදි පෙලෙන් ඔබ ලාංකීය සමාජය තුල පිළිකුල් කරන ගණිකාව ගැන සානුකම්පිත දෘෂ්ටියක් හෙලනවා. මෙවැනි වූ නිර්මාණයක් කිරීමට තරම් මානුෂ හිතවාදිත්වයක් නිර්මාණය කර ගන්නේ කෙලෙසද ?
ඒකට හේතුවුණ ප්‍රධානත ම කාරණාව මගේ දේශපාලනය.අභිසාරිකාවක් කියන්නේ බුද්ධ කාලයටත් කලින් ඉදන්ම බොහෝම ගෞරවනීය චරිතයක්. අම්බපාලී කියන්නේ රාජකීය විදිහට ජීවත් වුණ කාන්තාවක්. ජීවික කියන්නේ ගණිකාවකගේ දරුවෙක්. නමුත් අද වෙන කොට ඒ කාන්තාව ගර්හිත චරිතයක් වෙලා තියෙනවා. එහෙම වුණේ ඇයි කියලා කියලා අපි තේරුම් ගන්න එපායැ. ඒක හුදෙක් එයාගේ එයාගෙ අසීමිත කාමශක්තභාවය නිසාද වෙන්නේ? එහෙම වෙන්න බෑනේ. එයා යම්කිසි ඇහැට කනට පේන චරිතයක් නම් ඇයි ඇය නිළියක් නොවි මේ රැකියාව කරන්නේ. ඕක තේරුම් ගන්න දේශපාලන දෘෂ්ටියක් ඕනේ. ඒක නැතුව මේක වෙන කෙනෙකුට තේරුම් බේරුම් කරගන්න බැරිව යනවා. හුදෙක් අනුකම්පාව විතරක් ප්‍රමාණවත් වෙන්නේ නෑ මෙතැනදී. රංබණ්ඩා සෙනෙවිරත්නයන්ගේ "ලඳුනේ" ගීතය බලන්න. "කුහුඹුවකට වරදක් නැති වැරදිකාර ලඳුනේ" කිව්වම ඕනම අභිසාරිකාවක් සුපේෂල,විනීත කාන්තාවක් බවට පත්වෙනවා.
"මගෙ බිසවුණේ අසාපන්
නුඹ මද්ද්‍රි දේවි නොවුනි
මේ කඳුළු ඇයි ද දෑසේ
බෑ යන්ට නුඹට හිමයේ
විෂ ඝෝර සර්ප භවනේ
නවතින්න කුලී නිවසේ
මේ කර්ණ කටුක නගරේ"
4.කවිය සහ ගීතය වෙන්වෙන්නේ කුමන සීමාවකින් ද?
කාව්‍ය හැම කලාවකම මාතෘ කලාව කියලානේ සංස්කෘතයේ හඳුන්වන්නේ. කාව්‍ය කියන ශබ්දය විශිෂ්ඨ ගණයේ කලාකෘතියකට ම භාවිතා කරනවා. "අමාවතුර" ශ්‍රේෂ්ඨ ගද්‍ය කාව්‍යයක්. "කව්සිළුමිණ" ශ්‍රේෂ්ඨ පද්‍ය කාව්‍යක්. "නිධානය" ශ්‍රේෂ්ඨ සිනමා කාව්‍යයක්. "මනමේ" ශ්‍රේෂ්ඨ දෘශ්‍ය කාව්‍යයක්. අනෙක් කලාවන්ගෙන් පද්‍ය කාව්‍ය වෙනස් වෙන්නේ එය නිර්මාණය කරන කවියා මිනිස් හැඟීම් සමඟ බොහොම සමීපව ගනුදෙනු කිරීමයි. ඒකෙනුත් ඊටත් වඩා වැඩි ගීතය. මම කියන්නේ වර්තමාන ගීත ගැන නෙමෙයි. කවියයි ගීතයයි අතරේ තිබෙන්නේ ඉතා චූටි සීමාවක් විතරයි. ගීතවලදි වඩාත් හැගීම්වලට භාවයන්ට අවස්ථාව දෙනවා. ඒකෙන් කියන්නේ නෑ භාවාතිශය වෙනවා කියලා. ඒ කාර්යය නිසා කවියෙක් උනාම නීර්මාණය භාවාතිශය නොකරන්න වගබලාගන්න ඕනේ. බුද්ධියයි, භාවයයි දෙක ම සමතුලිතව පවත්ව ගන්න කවියෙකුට සිද්ධ වෙනවා.
5.නුතන ගීතය ගැන ඔබ දරණ මතය...
මගේ යාලුවෙක් හිටියා විජේදාස ලියනාරච්චි කියලා. ඔහු වෘත්තියෙන් නීතිඥවරයෙක්. ඒ වගේම ඔහු ජනතා විමුක්ති පෙරමුණේත් ඉඳලා 88-89 භීෂණ කාලේ මැරුණා. දවසක් අපි දෙන්නා අවුරුදු ගානකට පස්සේ හම්බවුන වෙලාවක එයා ඇහුවා මගෙන් මොනවද කරන්නේ කියලා. මං වමේ දේශපාලන පක්ෂයක නමක් කියලා මං ඒකෙ වැඩ කරනවා කිව්වා. එයා කිව්වා " මොනවාද සහෝදරයා කොහෙද වමක් තියෙන්නේ ලංකාවේ ? අප්පුහාමි මැරුණා., දෙල් ගහ යට වැළලූවා.,දැන් එතන හොල්මන් තියෙනවා." මට කියන්න තියෙන්නෙත් නූතන ගීතය ගැන ඔය කතන්දරය ම තමයි. මට ඊට වඩා කියන්න දෙයක් නෑ.
6.එහෙනම් අපට කොතනද වැරදුනේ ?
ඉස්සර අපිට තිබුනේ ශ්‍රී ලංකා ගුවන් විදුලියයි, රූපවාහිනියයි විතරයි. ඒ කාලයේ ඒ මාධ්‍ය ආයතනවලට තිබුණ ලොකු ම වගකීමක් තමයි මිනිස්සුන්ට හොඳ රසයක් ලබාදීම. ඒ නිසා ඒ අරමුණ කරා යනකොට සමහරක් නිර්මාණ රසිකයා අතරට ගියේ නැහැ. පෞද්ගලික නාලිකා වැල නොකැඩී එන්න ගත්තාම මේ තත්ත්වය වෙනස් වුණා. පෞද්ගලික නාලිකාවක් අරඹන්න විශාල ප්‍රාග්ධනයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම නාලිකාවේ සාර්ථකත්වයට ඔවුන් විශාල ලාභයක් බලාපොරොත්තු වෙනවා. මේ නිසා පෞද්ගලික නාලිකා කලේ ගුණාත්මක භාවය ගැන නොහිතා ඕනෑ ම ගීතයක් ප්‍රචාරය කරපු එක. දැන් කොහෙද හොඳ දේවල්වලට වෙළඳපොලක් තියෙන්නේ. දැන් කව්සිළුමිණ පිටපත් 1000ම ගැහුවාම ඒ පිටපත් 1000 ම විකිණෙනවා ද ? නමුත් හොඳ දෙයක් කියලා එකකුත් තියෙනවා. හැබැයි ඒක කරන්න අමාරුයි ලාභ ලැබෙන විදිහට. නියාමනයක් නැතිකම නිසා අපේ ගීත කලාව හුඟක් විනාශ වෙලා ඉවරයි.
"රෝහලේ මිනී කාමරේ ළඟ හෙට රෑට
එක මලක් හෝ පීපී නගනු ඇති මදහාස
ජීවිතය තරවැ ගත් ශක්තිමත් ජිනදාස
පරාදව වැටෙනු කිම දුර බලන් අර ඈත"
7.ඔබ නවකතා, කෙටිකතා වැනි සාහිත්‍යාංගවලට පිවිසෙන්නේ නැත්තේ ඇයි ?
ඉස්සර කෙටිකතා මං ලිව්වා. හැත්තෑ හතේදි මට තෑග්ගකුත් හම්බවුණා. පස්සේ මට හිතුනා කෙටිකතා ලියන්න බැහැ කියලා. මං ලියන ඒවා කෙටිකතා නෙමෙයි කියලා දක්ෂ කෙටිකතාකරුවන්ගේ නිර්මාණ කියවන කොට මට හිතුණා. ළමා සාහිත්‍ය කෘති නම් දහතුනක් විතර ලියලා තියෙනවා. ඒවාට රාජ්‍ය සම්මාන පවා ලැබිලා තියෙනවා. අපේ ගම් ජනාවාස වෙච්ච කාලේ ඉඳලා , ලෝක යුද්ධ කාලේදි මිනිස්සු මුහුණ දීපු අත්දැකීම් ගැන ගොඩක් තොරතුරු මම එකතු කරලා තිබ්බා. නවකතාවක් ගැනත් මගේ හිතේ තිබුණා. පස්සේ ඒ නවකතාවේ අදහසත් මම අතහැරලා දමලා ඒක දීර්ඝ ආඛ්‍යාන කාව්‍යයකට ගන්න කල්පනා කරමින් ඉන්නේ. සමහරක් විට ඒක මගේ ඊළඟ පොත වෙන්නත් පුළුවන්. ඒත් එක්ක ම මගේ ජීවන අත්දැකීම් ගැන ලියන්න හිතේ තියෙනවා. ඇතැම් විට ඒක චරිතප්‍රදානයක් ප්‍රදානයක් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.
8.එතකොට නිර්මාණකාරුවෙක් උනාම එකම සාහිත්‍යාංගයකට කොටු වෙලා හරි යනවා ද?
නෑ පුළුවන් නම් හැම ශානරයක් ම අත්හදා බැලුවට කමක් නෑ. හැබැයි එහෙම කරලා සාර්ථක වෙලා තියෙන්නේ බොහොම ටික දෙනයි. ඒකට ලොකු ප්‍රතිභාවක් තියෙන්න ඕනේ. ඒකට හොඳම උදාහරණයක් තමයි මහගම සේකර.
" කිළිපොළා සැලී යමින්
නොහිම් සීතලේ
තුරුළු වෙමි දෙනෙත් පියා
ඔබගේ උණුසුමේ
ජීවිතය ඉතින් අපේ
සිහිනයක් නොවේ
හෙට උදේම අවදි වී
යා යුතුව තිබේ"
9.කපුගේ කියන්නේ මොනවගේ යාළුවෙක් ද ?
කපුගේ තමයි මාව ගීත රචකයෙක් කළේ. කපුගේ ඒ කාලේ මාව දැක්කාට අදුරන්නේ නැහැ. ගුවන් විදුලියේ යෞවන සමාජ වැඩසටහනක සර්පිනා අරන් ඔහු මං ලියලා දුන්නු ගීතය සජීවීව කිව්වා. ඊට පස්සේ තමයි කපුගේ සහ මං අතර දැඩි මිත්‍ර සන්ධානයක් ඇති වෙන්නේ. කපුගේ ඔහුගේ "මාවතේ ගීතයේ" කැසට් එකට මං ලියපු "නින්ද නැති රැයේ", "මගෙ බිසවුනේ අසාපන්" යන ගීත ඇතුලත් කලා. ඒ අසූව දශකයේ මුල් කාලයේ. අපි දෙන්න අතර දේශපාලන වශයෙන් හොඳ අන්නෝන්‍ය සම්බන්ධයක් තිබුණ එක අපේ මිත්‍ර සන්ධානයට හොඳ ශක්තියක් වුණා. කපුගේ හොඳට සාහිත්‍ය පොතපත කියවපු කෙනෙක්. මං දකින විදිහට ලංකාවේ ගීත ගායක,ගායිකාවෝ කොටස් දෙකක් ඉන්නවා. එක කොටසක් ස්වර රචනාව එහෙම්ම අනම්‍ය විදිහට ගායනා කරනවා. අනෙක් අය සාහිත්‍ය ගායනා කරනවා. කපුගේලා, නන්දා මාලිනීලා අයත් වෙන්නේ ඒ කොටසට. හැඟීම් ගායනා කරන අයට සාහිත්‍ය අවබෝධයක් අත්‍යවශ්‍යයයි. කපුගේ ගායනයෙන් හිණිපෙත්තට ඔහුගේ සාහිත්‍ය දැනුම රුකුලක් වුණා. මාවතේ ගීතය කැසට් එක "සිංහලංකා" එකෙන් කලේ 84 හරි 85 හරි. එතකොට සිංහලංකා ඔෆිස් එක තිබ්බේ නුගේගොඩ පාගොඩ පාරේ. කපුගේ මාත් එක්ක දවසක් එතැනට ගියා ම මගේ ගීත තුනට රු.750 දුන්නා. කපුගේට රුපියල් තිස්දාහක් දුන්නා. මුළු කැසට් එකෙන් ම හම්බවුණ ගාන එච්චරයි. අතේ සල්ලිත් අරගෙන ත්‍රිවිලයක් හෝ මොකක් හරි වාහනයකින් අපි රාජගිරිය පැත්තට ගියා. අපි ගිය තැනට ටිකක් එහායින් තමා තිබුනේ කේමදාස මාස්ටර්ලාගේ ගෙවල්. 80 ස්ට්‍රයික් කරපු කපුගේගේ යාලුවෙක් හිටියා ඒ පාරේ. ඒ මනුස්සයාට ළමයි හතර පස් දෙනක් විතර හිටියා. ඒ මිනිස්සු හිටපු ගෙදර කැඩිලා තිබ්බේ. කපුගේ අතේ තිබූ රුපියල් 30,000න් 20,000 දුන්නා අර මනුස්සයාට ගේ හදාගන්න. නුගේගොඩ රෙස්ටුරන්ට් එකක තිබුණ රුපියල් පන්දහක බිලකුත් ගෙවලා ගෙදර අරන් ගියේ රුපියල් පන්දහක් විතරයි. ඒ පන්දාහෙන් ප්‍රේමා අක්කාට රුපියල් 3000 දුන්නා. ඉතුරු රුපියල් 2000 කපුගේ තියා ගත්තා. ඉතින් කපුගේ කියන්නෙ ඒ වගේ දුර්ලභ මනුස්ස ගතිගුණ තිබ්බ කෙනෙක්.
"දුෂ්කර ය කියා හැර හැරයායුතුද හැර යා යුතුද ජීවිතය
දුෂ්කර ම පැන නගා, "ඔව්" කියන්නෙමි තිරව
ඒ එදාටත් වඩා දුෂ්කර ම තැන වෙත ය
එකක් නොව දෝතක්ම කටු පොකුරු ගනු පිණිස"
10. ජිවිතයෙන් කෙමෙන් කෙමෙන් වියපත් වන විට දිනෙන් දින යාවත්කාලීන වන සමාජයේ සහ මිනිසුන්ගේ සිතුම්පැතුම් සහ අවශ්‍යතා හදුනා ගනිමින් නිර්මාණකරණයේ යෙදෙන විට අපහසුවක් තියෙනවාද?
මට නම් එහෙම කිසිම අපහසුවක් නෑ. මං නිතරම සිද්ධ වෙන්නෙ මොකක්ද කියන එක ගැන හොඳ අවධියකින් ජීවත්වන කෙනෙක්. සමාජයේ වෙන දේවල්,දේශපාලන පෙරළි, විපර්යාස, සමාජ සචලතාවය කියන දේවල් නිතරම අපිට නිරීක්ෂණය කරන්න වෙනවා. එහෙම කරේ නැත්නම් නිර්මාණය පිළුණු එකක් වෙනවා. අපිට වෙනවා අලුත් පරම්පරාවේ අත්දැකීම් ගැන හොයන්න, ඇයි ඒ ගොල්ලෝ එහෙම හැසිරෙන්නේ කියන එක ගැන පොඩ්ඩක් පර්යේෂණ කරන්න. නමුත් ඒක වෙහෙසක් කරගන්න ඕනේ නැහැ.
"අවසාන හාදුවක් දෙතොල් මත තියා
ආයේ හමු නොවන වග ඇස් දෙකෙන් කියා
කවුළුවෙන් එබී සුදු අතක් අතක් වන වනා
කළුපාට කෝච්චියේ ඈ යන්න ගියා"
11.වර්තමාන කවිය තුළ ඔබ හඳුනා ගෙන ඇති නූතන ප්‍රවනතා සහ දුර්වලතා මොනවාද් ?
වර්තමාන කවිය ගැන ලොකු ප්‍රසාදයක් තියෙනවා මට. හොඳ තරුණ දක්ෂ කවීන් ඉන්නවා අපිට. නමුත් ඒ ගොල්ලෝ තවදුරටත් අධ්‍යනය කරන්න ඕන. පැරණි සාහිත්‍යයේ විතරක් නෙමේ., නූතන යුගයේ කොළඹ කවීන් ගැනත් අධ්‍යයනය කරන්න ඕනේ. කොළඹ යුගයේ අත්හැරදාලා වගේමනේ තියෙන්නේ. පස්සේ බිහිවුණ නිදහස් යුගයේ කවියෝ කොච්චරක් ඉන්නවද ? එයාලා ගැනත් අධ්‍යනය කරන්න ඕනේ. ඒ හැදෑරීම ඒ ගොල්ලන්ගේ අඩුයි කියලා මට හිතෙන්නේ. ගීතය ගැන අච්චර අවප්‍රමාණ විදිහට කතාබහ කලාට හොඳ තරුණ ගීත රචකයෝ ඉන්නවා අපට. නමුත් ඒ ගීත රචකයින්ට එළි දකින්න තැනක් නෑ. සමාජ මාධ්‍ය තුල ඉඩක් තිබණාට ගුවන් විදුලියේ එහෙම තැනක් ඒ අයට නෑ. මුද්‍රිත මාධ්‍ය නිසා කවිවලට එළි දැක්වීමක් තියෙනවා. අන්තර්ජාලයේ හොඳට කවි ලියන අය ඉන්නවා. රුවන් බන්දුජීව වගේ කෙනෙක් බිහිවෙන්නේ එතනින්නේ. එතනින් බිහිවුණා කියලා එයාගේ අගය අඩු වෙලා නෑනේ. තරුණ කවියෙක් විදියට රුවන් බන්දුජීවගේ මං දකින එක හොඳ දෙයක් තමයි එයා ජනප්‍රිය වෙන්න කෙටි පාරවල් ඔස්සේ යන්නැති එක. කවියෙකු විසින් ප්‍රගුණ කළ යුත්තේ මේ ඉවසීම කියන දෙයයි. ජනප්‍රියත්වයයි, කීර්තියයි කියන දෙක දෙකක්නේ.
ඒක තේරුම් ගන්න හොඳ කතාවක් මට අමරදේව මහත්තයා කිව්වා. දවසක් සේකරයි, අමරදේවයි, සුනිල් සරත් පෙරේරා යි ගමනක් යනවා . ඒ රඹුක්කන පැත්තේ තියෙන සුනිල් සරත් පෙරේරාගේ බිරිදගේ ගමට. කඩුගන්නාව හරියේදි මේ තුන්දෙනාට මුත්‍රා බරක් හැදෙනවා. පස්සේ පාරේදි ම ඒ කාර්යය ඔවුන් කරලා කියද්දි සේකර කියනවා " අමරේ අපි තුන්දෙනා මේ කරපු වැඩේ හෙට උදේ ගෝල්ෆේස් එකේ කරා නම් කොහොම හිටීද? පත්තයේ මුල් පිටුවෙම දායි අමරදේවයි, සේකරයි,සුනිල් සරත් පෙරේරායි විලිලැජ්ජා නැතිව මේ වගේ දෙයක් කරා කියලා. එක රැයින් හිතුවේ නැති තරම් ජනප්‍රියත්වයක් අපි තුන්දෙනාට ලැබෙනවා. නමුත් කීර්තිය කියන්නේ එහෙම දෙයක් නෙමෙයි. කීර්තිය කියන්නේ හරි හෙමින් ළගාවෙන, හරි හෙමින් නැති වෙලා යන දෙයක්. කවියෙකුට අවශ්‍ය වන්නේ කීර්තියට. ඒකට හුඟක් දුෂ්කර පාරවල්වල යන්න වෙයි., හුගක් කටුක අත්දැකීම් විඳින්නට සිද්ධ වෙයි. හැබැයි ඒක තමයි කීර්තියට ළඟාවිය හැකි එක ම මාර්ගය. සුචරිත ගම්ලත් එක්ක සේකර ගැන ලියපු පොතේ මම ඕක ලියලා තියෙනවා.
තවමත් වැස්ස ඇද හැලෙමින් පවති. අපට ඔහුගේ හෙවනේ ගත කලේ පැයක කාලයක්'මුත් තවත් අලුතෙන් ප්‍රශ්න තනා අසන්නට උත්සාහ කලේ මේ කසුකුසුව එතරම් ම සාරවත් සහ ඉමිහිරි බැවිනි. ඉතින් රෑ වෙන්නට මත්තෙන් කසුකුසුව නිමාකර පොදවැස්සේ ම ගැටුවේ ඊළඟ කසුකුසුවට මට කවුරු මුණගැහේ ද යන්න කල්පනා කරමිනි.
                                                                                                                            
                                                                                                                                  - අයන්ත යුනේෂ් ප්‍රනාන්දු -

Comments

Popular posts from this blog

සිංහල සිනමා වංශය

සමාජ යථාර්ථවාදය සහ සිනමාව .