පාර මතක නම් තාමත් ගේ ළඟයි දුවේ.....





රත්න ශ්‍රී විජේසිංහයන් විසින් ගේය පද රචනා කරන්නට යෙදුණු සුනිල් එදිරිසිංහ මහතා ගායනා කරන චන්ද්‍ර මණ්ඩලේ සැතපුණ පුංචි සාවියේ නම් ගීතය පිළිබඳ පුළුල් විග්‍රහයක නිරත වීමට මෙහිදී අදහස් නොකරමි . ගීතය පිළිබඳ හදවතට දනෙන්නා වූ පිරිසිදු හැගීම් සිතුවිලි සමුදායක් බෙදා හදා ගැනීම මෙහිදී අපේක්ෂිතය .

චන්ද්‍ර මණ්ඩලේ සැතපුණ පුංචි සාවියේ
මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ
පාන නිවුන සේ පාළුයි ලැයිම් කාමරේ
මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ

ඒ අනුව මෙහිදී විජේසිංහයන් ගීතය ආරම්භයේ ම ගීතයේ කථා නායිකාව වන ගැහැණු ළමයා පිළීබඳ කිසියම් වූ ඉගියක් , අදහසක් ලබාදේ . " චන්ද්‍ර මණ්ඩලේ සැතපුණ පුංචි සාවියේ " යනුවෙන් හදුන්වා දීම තුළ ඇය කෙතරම් සුන්දර , පවිත්‍ර , අවිහිංසක යුවතියක් ද යන වග පෙන්වා දේ . එවන් වූ කෙල්ලෙක් කෙතරම් ආරක්ශා කරගත යුතු ද යන හැගීම ඕනෑම දෙමාපියෙකු තුළ පවතින්නකි . එක්තරා පියෙකුගේ දුහිතෘ ස්නේහය හා කාරුණික බව පද පෙළ පුරාවට ම විහිදී පවතින ස්වාභාවය පද රචකයා පෙන්වා දෙනුයේ මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ යනුවෙන් පැවසීම තුළය . එනම් අන් පියවරුන්ට වඩා මෙම පියා තම දියණියට කාරුණිකව ආමන්ත්‍රණය කරන බව හදුනාගත හැකිය . තමා දැඩිව ආදරය කළ තමාගේ අහිංසක දියණිය ජීවිතයේ වැරදි තීරණයක් ගෙන අවසන්‍ ය . නමුත් පියාට ඇයට ආදරය නොකර සිටීමට නොහැකිය . ඔහුගේ එකම ශක්තිය වූයේ තම දරුවාය . " පාන නිවුන සේ පාළුයි ලැයිම් කාමරේ " වශයෙන් පෙන්වාදෙන පරිදි ඔවුන්ගේ දුප්පත් පැල්පත් ජීවිතයේ තිබූ එකම ආලෝකය මේ වනවිට අවසන්වී ගොසිනි . එ කුමක් වුවත් කම් නැති අහිංසක පියාගේ එක ම පැනය වනේ එලෙස යාමට හේතුව කුමක් වී ද යන්නයි .

ලාභ රත්තරන් දිලිසෙන පාළු වීදියේ
ගෑණු ළමයි පියාඹලා ඉස්සරත් ගියේ
උන්ට සෙයිලමේ මගතොට පාර වැරදුනේ
අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ 

මෙහි දැක්වෙන පියා තවදුරටත් තමාටම දොස් පවරා ගන්නා ස්වාභාවයක් පළමු අන්තරා කොටසින් කියා පෑමට රචකයා උත්සාහ ගන්නේ අපරිමිත සානුකම්පාවෙනි . ඒ අනුව ව්‍යංගාර්ථවත් බස් වහරක් යොදා ගනිමින් රචකයා කියනුයේ විවිධාකාරයේ සල්ලාල පිරිමින්ට රැවටී අතරමං ව සිය ජීවිතය විනාශ කරගත් ගැහැණු ළමයින් පිළිබඳ අසා තිබුන ද එවන් වූ විපතක් තම දියණියට අත්වේ යැයි සිහිනයකින්වත් නොසිතූ බවත් යටි සිතින් සිතමින් ඒ පිලිබඳ වටහා දීමට නොහැකි වූ ශෝකය මේ පියා තුළ පවතින බව පෙන්වා දේ .

මාල බැදන් සුදු යකඩෙන් රෝස මල් වනේ
මාල ගිරව් ගේ දොරකඩ සිංදු කිවු වෙලේ
හීනෙනුත් හිතුනේ නෑ මට මොකද කාරණේ
පාර මතක නම් තාමත් ගේ ළඟයි දුවේ 

මෙකී පද්‍ය පන්තිය පුරාවටම ම හදුනාගත හැකි එක් සුවිශේෂී කාරණාවක් වන්නේ යොදාගෙන ඇති රචනෝපක්‍රම වල පවතින සාර්ථකත්වයයි . ව්‍යංගාර්ථය යොදා ගැනීම , රිද්මයානුකූලව යොදාගත් එළිසමය යනාදී වූ කාරණා මෙහිලා පෙන්වාදිය හැකිය . එලෙස රස වින්දනාත්මකව රචනා උපක්‍රම යොදා ගැනීම සිදුවූ අවස්තාවක් ලෙස ඉහතින් දැක්වූ පද පෙල හදුනාගත හැකිය . ව්‍යවහාරයේ කියවෙන පරිදි සාමාන්‍ය පිරිමි ළමයෙකු හා සල්ලාල පිරිමි ළමයෙකු අතර විශාල වෙනසක් දැකගත හැකිය . ඒ වෙනස පැදි පෙල හරහා හදුනා ගන්නා විජේසිංහයන් ඒ බව " මාල බැදන් සුදු යකඩෙන් "  යන කොටස මඟින් අවධාරණය කරයි . එසේම එකී සල්ලාල පිරිමි ළමුන් දෙස ද්වේශයෙන් නොබලන මේ පියා ඔවුන්ව හැදින්වූයේ මාල ගිරව් ලෙසය . එසේම මෙහි කියැවෙන්නා වූ පරිදි තම නිවස අසල රැදීසිටි මොවුන් පිළිබද කිසියම් හෝ ඉගියක් තමා තුල නොවුනු නිසාවෙන් තම දියණියට මෙවන් වූ අපරාධයක් සිදුවූ බව පියා දැඩිලෙස විශ්වාස කරනු ලැබීය . ඒ කුමක් වුවත් තම දියණියට පවතින දැඩි ස්නේහය , ආදරය අහිමි කර ගැනීමට පියා සූදානම් නැත . ඒ සියළු වැරදිවලට සමාව දීමට තරම් පියා කාරුණික වන්නේය . ඒ බව පාර මතක නම් තාමත් ගේ ළඟයි දුවේ යනුවෙන් අවසාන වශයෙන් පැවසීම තුල පියා දියණියට පෙනවා දෙන්නේ ඇය පිළීබද කිසිදු තරහක් නොමැති බවත් ඇය හට තවමත් නිවසෙහි දොර විවරව පවතින බවත් ය . 

මේ ආකාරයට සලකා බලන කල සියුම් සංවේදී කාරණාවක් වස්තු විෂය කරගනිමින් ගොඩනගා ඇති මෙම පැදි පෙල හා සමගාමීව මෙකී කාරණා අද්‍යතන සමාජය තුල කොතරම් දුරට විහිදී පවතිනවාද යන්න හදුනාගත හැකිය . එසේම නිර්මාණයක් වශයෙන් අතිශයෙන් ම අගය කළ හැකිය . 

                                                                               - තිලිනමල් සුසරා අමරවීර -

Comments

Post a Comment

Popular posts from this blog

සිංහල සිනමා වංශය

සමාජ යථාර්ථවාදය සහ සිනමාව .

කසුකුසුව 01 - රත්න ශ්‍රී විජේසිංහ සමඟ