කසුකුසුව -යශෝධා රසඳුනි සමඟ



"ගුණාත්මකබවින් යුක්ත නිර්මාණවලට දායක විමෙන් කලාකාරිනියකට වටිනාකමක් ලැබෙනවා."





ජිවිතය තුළ විවිධකාරයේ පුරුදුවලට අපි ඇබ්බැහි වෙලා තියෙනවා. එවායේ ප්‍රතිඵල එක වෙලාවකට  හොද විදිහටත් ,තවත් වෙලාවකට නරක විදිහටත් බලපානවා. එක තීරණය වෙන්නේ පුරුද්දේ හොද - නරක අනුව තමා. අද " කසුකුසුව " තුළින් මම ඔබට අද මුණගස්සවන්නේ රගපෑම ඇබ්බැහියක් කරගත් තරුණියක්වයි. ඈය නම් 2019 සුමති සම්මාන උළෙලේ හොද ම සහය නිළිය හිමි සම්මානය හිමි කරගත් යශෝධා රසදුනියි. ඈ මේ සම්මානය හිමි කරගත්තේ ලලිත් රත්නායකගේ අධ්‍යක්ෂණය කල "තාත්තා" ටෙලිනාට්‍යයේ  "යසවති"ගේ චරිතයට රංගනයෙන් පණ පෙවිමෙනුයි. 



1.රංග කාර්‍යයේදි නළුවෙක්ට සාපේක්ෂව නිළියකට මුහුණ දීමට සිදුවන විශේෂ අභියෝගයන් ඔබ දකිනවාද ?


   එහෙම විශේෂ අභියෝගයන් මම තාම දැකලා නෑ. අභියෝගය තියෙන්නේ චරිතය එක්ක. ‍රංගනයේදි මීට පෙර කවදාවත් නොකරපු යම් දේවල් කරන්න තියෙනවා නම් ඒවා ඒ චරිතයට ගැලපෙන විදියට කිරීම අභියෝගයක් විදියට මම සලකනවා. ඒක නිළියකට වගේම නළුවාටත් පොදුයි. නමුත් මෙහෙම දෙයක් තියෙනවා. නිළියකට තමන් ‍රංගනයේ යෙදෙන විට තමන් සමඟ එක්ව රංගනයේ යෙදෙන අනෙක් නළුවා සහ  අධ්‍යක්ෂවරයා ද විශ්වාසවන්ත විය යුතුයි. එහෙම නොවුනොත් ඒ නිළියට අභියෝග රාශියකට මුහුණ දීමට සිදු වෙනවා.

2.ඔබ නිර්මාණවලදි රංගනයෙන් දායක වුණේ ලාංකීය සංස්කෘතික රාමුව තුළ   පීඩාවට පත්වුණු චරිතවලටයි. එවැනි චරිත නිරූපණය කිරිමෙන් සමාජයට සිදුකරන බලපෑම ඔබ දකින්නේ කුමන විදිහට ද ?

      මම හිතන්නේ කලාව කියන්නේ මිනිස්සුන්ට හිතන්න ‍‍‍‍යමක්  ඉතුරු කිරීමයී. ඉතින් මං රංගනයේ යෙදුනු ඒ නිර්මාණ මගින් මිනිස්සුන්ට හිතන්න වගේම අලුත් ‍‍යමක් කතා කරන්න පුළුවන් උනා. මං දායක වුණු නිර්මාණවල කතා කලේ අපේ ජීවිතවල යථාර්තයන් . ඒ වගේම සමාජයට විවෘත කරන්න බැරි මානුෂිය හැගීම් කතා කලේ. මෙවැනි චරිත නිරූපණය කරපු පමණින් ම සමාජය වෙනස් කරන්න බෑ. නමුත්  ඒ පිළිබඳව කතා කරන තැනකට පත් වෙනවා.

3. ආදරයේ අසීමාන්තිකභාවය කලාව තුළින් ඉදිරිපත් කලත්, තවමත් ලාංකීය සමාජය එය භාර ගන්නට පැකිලිම ශිෂ්ටසම්පන්න සමාජයක් කරා පියනගන ගමනේදි තාප්පයක් වෙනවා නේද ?

         ඔව්., ආදරය කියන වචනය මිනිස්සු වැඩිහරියක් දකින්නේ ඍණාත්මකවයි. ඇත්තට ම මේ ආදරය ආදරයෙන් ම භාරගන්නවා නම් මිනිස්සු එකිනෙකාට සෑහෙන ගෞරව කරගන්නවා. ජාතිවාදී, ආගම්වාදී  අරගල අඩු වෙනවා. කලාව තුළින්  එවැනි වූ නිර්මාණ ඉදිරිපත් කලත් අපේ රටේ මිනිස්සු භාර ගන්නෙ නැත්තේ මේ ඍණාත්මක දර්ශනය ඒකයි. සදාචාරයත් එක්ක මමත්වය ඇති වෙලා.

4. "තාත්තා" ටෙලිනාට්‍ය තුළ ඔබ ඉදිරිපත් කල විශිෂ්ට රංගනය වෙනුවෙන් සුමති  සම්මාන උළෙලේ හොදම සහය නිළියට හිමි සම්මානය හිමි වෙනවා.ඒ රංගනය වෙනුවෙන් ඔබට ලැබුණු මේ තත්ව සහිතකය ගැන ඔබේ කියවිම කුමක් ද ?

  තාත්තා වෙනුවෙන් මීට පෙරත් මං සම්මාන ලබා ගත්තා. ඉතින් මට කියන්න තියෙන්නේ ඒ නිර්මාණයට දායක වූණු හැමෝගේම මහන්සියක ප්‍රතිඵලයක් කියලා. විශේෂයෙන්  අධ්‍යක්ෂතුමාගේ මහන්සියේ ප්‍රතිඵලයක් විදිහට තමයි යසවතිගේ චරිතයට ඒ ආකාරයෙන් ම හැඩගැහෙන්න පුළුවන් වුණේ. ඒ වගේ ම මං ස්තූති කරන්න ඕනේ දසුන්ටයි, තුසිතටයි. අපි එකිනෙකාට උදව් කර ගත්තා. නිකන් ඉන්න වෙලාවට acting ගැන කතා කලා. මං හිතන්නේ මේ හැමදෙයකම ප්‍රතිඵලයක් විදියටයි මං මේ ඇගයිමට පාත්‍ර වුණේ.

5.නමුත් ඔබ තාත්තා ටෙලිනාට්‍යයේ පෙනි හිටියේ සීමිත දර්ශන කිහිපයකට පමණයි. ඔබ දකින විදිහට අනෙක් නළු නිළියන් අබිභවා යමින් ඔබේ රංගනය කෑපි පෙනිමට හේතුව කුමක් ද ?

    ඒක තමයි මටත් හිතාගන්න බැරි .ඇත්තට ම මට ඒක කියන්න තේරෙන්නෙ නෑ. කෞශල්‍යා ප්‍රනාන්දු, සමනලී ෆොන්සේකා ‍‍යන දෙදෙනාගේ ම රංගනය දිහා බලාගෙන ඉගෙනගන්න කෙනෙක් මම. අයිරාංගනී සේරසිංහ කියන්නේත් දැවැන්ත චරිතයක්. ඇත්තට ම මට තේරෙන්නෙ නැ මගේ රංගනය කැපී පෙනුනේ ඇයිද කියන එක. එහෙම දෙයක් පේනවා නම් ඒකේ සම්පූර්ණ ගෞරවය අධ්‍යක්ෂකතුමාට හිමි විය යුතුයි.

6. . අපි ජිවිතේදි, එක එක දේවල්වලට ඇබ්බැහි වෙනවා. ඒ අතරින් රංගනය කියනදේට ඇබ්බැහි විමෙන් එය ජිවිතයට බලපාන්නේ කුමන විදිහට ද ?

ඔව් රංගනයට මං ඇබ්බැහි වෙලා. එහෙමයි කියලා හැමතිස්සෙම රංගනයේ යෙදෙන්න ඕනේ කියන දේ නෙවෙයි මම එකෙන් අදහස් කරන්නේ . උදාහරණයක් ගත්තොත් විශාදයෙන් පෙලෙන රෝගියෙක්ට බෙහෙත් දෙනවා හා සමානව දෙයක් මං රංගනය තුළින් දකින්නේ. මට යම්කිසි දුකක්, සිත් තැවුලක්, බිද වැටීමක් ඇතිවුනොත් මගේ එක ම බෙහෙත රංගනය. මං හිතන්නේ මං ජීවිතේ වඩාත් සතුටු වෙන එක ම දේ නිර්මාණයකට දායක වීමයි. ඒක වේදිකා නාට්‍යයක් වෙන්න පුළුවන්. නැත්නම්  චිත්‍රපටයක්, ටෙලි නාට්‍යයක් වගේම රංගනය සම්බන්ධ  ඕන ම දෙයක් වෙන්නත් පුළුවන්.

7. යම්කිසි තරුණියක් රංගන ක්ෂේත්‍රයට පිවිසිමේ අරමුණින් ඉලක්කවලට යන්න වැඩ කරන්න පටන් ගත්තත් හමුවෙන දුශ්කරතා,අභියෝග නිසා මගදි එය අතහැර යනවා. මොවුන් මෙසේ ගමන හැර යන්නේ ලංකාවේ කලාව කියන දේ ස්ථාපිත වී ඇති ආකාරය ගැන හරිහැටි අවබෝධයකින් යුක්ත නොවිම නිසා ද?

තරුණියක් වුණාම කොහොමත් විවිධ දුශ්කරතාවලට, අභියෝගවලට මුහුණ දීමට සිදු වෙනවා. රංගනයෙන් සල්ලි හම්බකරලා ජිවත් වෙන්න බලාගෙන එන පිරිසක් ඉන්නවා. හැබැයි අපේ රටේ කලාවට තියෙන තැන දන්නේ නැතිව ඒ එන තරුණියන් අනේකවිධ දුශ්කරතාවලට මුහුණ දීලා ඒ ආපු ගමන  අතරමග නතර කරනවා. සමහර  අය ඒ දුශ්කරතා මැද්දේ  ඒ දුශ්කරතාවලට හුරු වෙලා, කරන්නම දෙයක් නැතිව ඒවට එකග වෙලා තමන්ගේ වැඩ කරගෙන යන අයත් ඉන්නවා.මං කියන්නේ අපේ රටේ කලා නිර්මාණවලට තියෙන තැන දැනගෙනයි මෙතනට එන්න ඔන්නේ. තවත් දෙයක් කලා නිර්මාණයට දායක වෙන කෙනාට එයින් ලැබෙන ප්‍රසිද්ධිය, ජනප්‍රියත්වයට වඩා කලාව කෙරෙහි අනුරාගයක් තියෙන්න ඕනේ. ඉක්මන් ගමනකට වඩා ගුණාත්මකබවින් කරන නිර්මාණවලට දායක වෙනවා නම් ඒ කෙනාට ක්ෂේත්‍රයේ දිගටම ඉන්න පුළුවන් වගේම කලාකාරිනියක් විදියට වටිනාකමකුත් ලැබෙනවා.

8.  Method Acting පිළිබඳව ඔබේ අදහස කුමක් ද?

නළුවෙකු වීම ම අභියෝගයක් කියලයි මං හිතන්නේ. දෙබස් පාඩම් කරගෙන, වරද්දන්නේ නැතිව කියන කෙනාට නෙවෙයි නළුවා කියන්නේ. නළුවා කියන කෙනා කපටි වෙන්න ඕනේ. අවංක වෙන්නත් ඕනේ. රංගනයේ සජීවී බව තියෙන්න ඕනේ. ඔහුට ජීවිතයේ යතාර්ථය දකින්න පුළුවන් වෙන්න ඕනේ. ඒ තමයි මං දකින method act එක. සමහරවිට මේ ප්‍රශ්නය අනාගතයේදි මගෙන් ඇහුවොත් මේ උත්තරය තව ටිකක් අඩු වැඩි වෙන්න පුළුවන්. නැත්නම් වෙනස් උත්තරයක් දෙන්නත් පුළුවන් මොකද රංගනය කියන්නේ නිතර update වෙන,  අත්දැකීම් එක්ක වෙනස් වෙන දෙයක්.ඒ කාලේ method acting හදුන්වලා දුන් බ්‍රේෂ්ට්,ස්ටැනිස්ලාව්ස්කි  වැනි අයද තමන්ගේ අත්දැකීම්  හරහායි රංගනය ගැන අදහස් ඉදිරිපත් කලේ. ඒ අයගේ එම මතයන්වල වෙනස්කම් තිබුනා. ඉතින් මේ method acting කියන්නේ ම අපි ම හොයගන්න ඕනේ දෙයක්.ඒකයි මං කිව්වේ නළුවෙක් වෙනවා කියන්නේ ම අභියෝගයක් කියලා.

- අයන්ත යුනේෂ් ප්‍රනාන්දු -

Comments

Post a Comment

Popular posts from this blog

සිංහල සිනමා වංශය

සමාජ යථාර්ථවාදය සහ සිනමාව .

කසුකුසුව 01 - රත්න ශ්‍රී විජේසිංහ සමඟ