නූතන කිසා ගෝතමියක් !


( රජරට ප්‍රදේශයෙන් වාර්තා වූ සිදුවීමක් පිළිබඳව පළ වූ පුවත් පත් වාර්තාවක් කාව්‍යට නැගීම )


                                 

තිරිසන් ලොවක ඉපදුනමුත් පෙර       පවට
ඉන් නොම වේය වැට සීමා දරු        පෙමට
කොයි මව් හදෙත් එල දරනා ලේ       නහර
ඒ සැම උකුය එහි ඇත්තේ දරු        පෙමැය

වඳුරු කුලේ ඉපදුන මුත් නැත           නිම්මා
දරු වියොවින් උහුලන ගිනි මේ         අම්මා
තිරිසන් උනත් ඈ පණ දුන් ඇගෙ      දරුවා
ඈවත් නොදනීද ගෙන ගිය බව         මරුවා

මව් බඳ වටා නිතරම අත් යුග             රැදුනි
තුරු වැල් මතින් දිවි ගෙවුයේ     සුරතලෙනි
වන පෙත පවා වැළපුණි ශෝකෙන්   මිරිකී
වාවනු කෙලෙස දරු පැටියා අද     නොමැතී

නොමිනිස් උනත් ඈ ළඟ ඇති දරු   පෙම්මා
සයුරු තෙරක් තරමට හද ඉකි           බින්දා
ඈ මළ බිළිඳු උණුසුම් ලෙස පපුවෙ   හොවා
රටට ම කීවෙ මිනිසුන් ළඟ නැති     පෙම්මා

මව්වරු උනත් උහුලන දුක් සිතින්          දරා
නොමළ පුතුන් සං දිය මත පා         කෙරුවා
දරුවන් මරණ පියවරු ලොව සිටින      නිසා
පැවසිය හැකිය දරු පෙම නම් මෙයැයි  කියා

සසරෙහි මැරෙන උපදින ඒ දුක          උහුලා
මහමෙර නොරදනා කදුලැල් පපුවෙ      රුවා
පණ නැති බිළිඳු ගෙන දෝතට කදුළු       දරා
ඈ වුණි නේද ගෝතමියක් තවත්           කිසා


                                   - සදලි හංසනී -

Comments

Post a Comment

Popular posts from this blog

සිංහල සිනමා වංශය

සමාජ යථාර්ථවාදය සහ සිනමාව .

කසුකුසුව 01 - රත්න ශ්‍රී විජේසිංහ සමඟ