දූපතම හෙල්ලූ චංඩි අයියලා....


ඔහු ප්‍රබල කරාටේ ගුරුවරයෙක් වන අතර ඉතාමත් භක්තිවන්ත ලෙස කරාටේ ක්‍රීඩාවට ආදරේ කල අයෙක් ලෙස ජන්ප්‍රියය.මහරගම , ජාතික තරුණ සේවා සභාව සංවිධානය කල සමස්ථ ලංකා කරාටේ තරගයකදී තමන් තරග කල ඉසව්වේ කතා හා කුමතේ යන අංශ දෙකෙහිම ජයග්‍රහණය දිනාගත් ඔහු අතින් බිහි වූ ශිෂ්‍යයින් බොහෝය.ධම්මිකගේ නිජබිම කඩුවෙල ප්‍රදේශයය. නවගමුව පත්තිනි දේවාලය ආසන්නයේ ඔහුගේ කරාටේ පන්ති පැවත්විණි.
                                                                    "කරාටේ ධම්මික" යැයි කියූ සැනින් නොදන්නා කෙනෙක් නොසිටින තරම්ය . මා මේ හෙලිදරව් කිරීමට සූදානම් වන්නේ දක්ෂ ,ජනප්‍රිය සටන් ගුරුවරයෙක් පිළිබඳව යැයි ඔබ මේ වන විට සිතනු නොඅනුමානය . නමුත් එය නිවැරැදි නැත . මා මෙලෙස අත්පොත් තබන්නට සූදානම් වන්නේ ශ්‍රී ලාංකීය දේශය විටින් විට රාක්ෂයාගේ නිජබිම බවට පත් කරමින් මිනිසුන්ගේ ජීවත්වීමේ අයිතිය පැහැරගත් ප්‍රබල රාක්ෂයෙක් පිළිබඳවය . එනම් කුමන ආණ්ඩුවක් යටතේ වුවද ශ්‍රී ලාංකීය දේහයේ උඩු දුවන පිලිකාවක් බවට පත්වන පාතාලයේ වර්ධනය කෙරෙහි දැඩි බලපෑමක් ඇති කළ ප්‍රබල චරිතයක් වන ගලහේනගේ ප්‍රදීප් ධම්මික පෙරේරා හෙවත් කරාටේ ධම්මික පිළිබඳව අදුරු කතාව මෙසේ ලියා තබන්නට මා සූදානම්ය . ලාංකීය පාතාලයේ සදාතනික නායකයෙක් ලෙස කරාටේ ධම්මික හැදින්විය හැකිය . එනම් යම් යම් කාලවල් වල රජ වූ ඕනෑම ෆෝඩ් ෆාදර්වරයෙක් තුළ ධම්මික කෙරෙහි යම් ගරුත්වයක් පැවතිණි . ඒ ඔහු සතු වූ දක්ෂතාවය,පලපුරුද්ද,කෘරත්වය හා දේශපාලන සම්බන්ධකම් හේතුවෙනි . ඔබට ඊළඟට එන ගැටලුව වන්නේ "ෆෝඩ් ෆාදර්" ලෙස හදුන්වන්නේ කවරෙක්ද යන්නයි . සරලවම ගතහොත් ෆෝඩ් ෆාදර් යනු මුලු පාතාලයේම රජුය . එකම ෆෝඩ් ෆාදර් වරයෙක්ට රජවී සිටිය හැක්කේ ටික කාලයක් පමණි . එය මාස කිහිපයකට වුවද සීමා විය හැකිය . සෑම පතාල කල්ලි නායකයෙක්ගේම සිහිනය මිනී කදු මතින් ගිහින් හෝ ෆෝඩ් ෆාදර් වීමය . සිය ෆෝඩ් ෆාදර් සිහිනය සැබෑ කරගැනීම උදෙසා බොහෝ කල්ලි කණ්ඩායම් එකිනෙක මරාගන්නේ අවි ගත්තෝ අවියෙන්ම නැසෙතෙයි යන සදාතනික කියමන සනාථ කරමිනි . පාතාල කණ්ඩායම් අතර ඇතිවන ගැටුම් විසදීම,නඩු හබ විසදීම ආදිය පැවරෙන්නේ ෆෝඩ් ෆාදර්වරයාටය . විවිධ මැර ක්‍රියාවන්වලදී, එහෙමත් නැතිනම් ගේම් වලදී ඇතැම් විට ෆෝඩ් ෆාදර්වරයාගේ අවසර පැතීමට ද සිදුවේ . එමෙන්ම ෆෝඩ් ෆාදර්වරයෙක් වීම හරහා විශාල ධන නිදානයකටද මාර්ගය විවරවණ බව කිව යුතුමය . නාවල නිහාල් මෙලෙස රජකම් කල ෆෝඩ් ෆාදර් වරයෙකි . මා මේ සටහන තබන මොහොත වන විට ලාංකීය පාතාලයේ ෆෝඩ් ෆාදර් කිරුල හිමිව ඇත්තෙ ඩුබායි රාජ්‍යයේ සැගවී සිට්න මාකදුරේ මදුෂ්ටය . පසුගියදා ඔහු අත්අඩංගුවට පත්වීමත් සමග ඔහුගේ ගෝඩ් ෆාදර් තනතුර අවිනිශ්චිත තත්ත්වයකට පත්වී ඇත. 
                                                      නැවතත් අපි කථානායකයා දෙසට යොමුවෙමු . ධම්මිකගේ ක්‍රමය වරින් වර මතු වී කුමන හෝ අපරාධයකට සම්බන්ධ වී සැගවී සිටීමයි . කිසියම් ගේම් එහෙකට මැදිහත් වීමෙන් අනතුරුව "මේ යකා මැරුනවත්ද" යැයි සිතෙන තරමටම ඔහු පිළිබඳ කිසිදු හෝඩුවාවක් නැති වී යයි . ධම්මික සම්බන්ධ වන ආසන්තම සිද්ධිය වාර්තා වන්නේ 2011 ඔක්තෝබර් 8 වෙනිදාය . ඒ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතන සිද්ධියයි . ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු පසුවට කතා කරමු . ධම්මික කඩුවෙල කොතලාවල ප්‍රදේශයේ දුප්පත් පවුලක උපත ලද අයෙකි.දෙම්ව්පියන්ගේ අනේක විධ අඩදබර මාධ්‍යයේ ධම්මිකගේ කුඩා කාලය ගෙවුනි . පවතින ආර්ථික අපහසුතා,අගහිඟකම්,වැඩි වැඩියෙන් මුදල් ඉපැයීමට පැවති ආශාව ආදි පොදු කාරණය, බොහෝ පාතාල සාමාජිකයන් සේම ධම්මික ද මේ නරා වලට ඇද දැමීය . සෑම ක්ෂේත්‍රයකම පාහේ ගුරුවරු දැකිය හැකි සේම පාතාලයේද ගුරුවරු අපට හමුවෙයි . කරාටේ ධම්මිකගේ ගුරුවරයා එකල කඩුවෙල ප්‍රදේශයේ සිය අණසක පතුරවාගෙන සිටි කඩුවෙල වසන්තය . එමෙන්ම දෙමටගොඩ චමින්ද (භාරත ලක්ෂ්මන් මහතා ඝාතන සිද්ධියට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් විදිමින් සිටී) , නේවි රුවන්, (2002 දී කරාටේ ධම්මිකගේ උපදෙස් පරිදි කඩුවෙල වසන්ත මරා දැමීමට මූලික විය) නේවි අසංක,ගලබඩයා හෙවත් තත්පරකට්ටා (භාරත ලක්ෂ්මන් ඝාතන සිද්ධියේ සැකකරුවෙක් වන අතර යුධ හමුදාවේ කොමාන්ඩෝ බලකායෙන් පලා ගිය අයෙකි) වැන්නන්ගේ ගුරුවරයා වූයේ ධම්මිකය. කඩුවෙල වසන්තට හා ධම්මික අමරසිංහට ඥාතිත්වයක්ද කරාටේ ධම්මිකගේ විය . ධම්මික අමරසිංහ ද පාතාලයේ ආරම්භයට දරදිය ඇදි අයෙක් වන අතර 2004- ජනවාරි 09 වෙනිදා අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ දී ඝාතනය විය.
                                                        කඩුවෙල වසන්ත හා ධම්මික අමරසිංහ ද ඥාතීන්ය .සොත්ති උපාලි ( හිටපු ප්‍රබල දේශපාලනඥයෙක් වන ලලිත් ඇතුලත්මුදලි ඝාතනයට සෘජුවම සම්බන්ධ පාතාල නායකයෙක් වන අතර 1998 දී ධම්මික අමරසිංහ අතින් ඝාතනය විය) මරා දැමීමට වසන්තගේ වැඩිමල් සොහොයුරා වූ කඩුවෙල රාජා මැදිහත්වන්නේද මේ ඥාතිත්වය හේතුවෙනි . නමුත් කඩුවෙල වසන්තගේ බාල සොහොයුරන් දෙදෙනා සමග ධම්මික අමරසිංහට ගැටුමක් තිබිණි . කලක් කඩුවෙල වසන්තගේ පාතාල කණ්ඩායම නියෝජනය කල කරාටේ ධම්මික ඔහුගේ හොඳම ගෝලයා ද විය . වසන්ත ඝාතනයට වසර දෙකකට පමණ පෙර ඔහුගේ විවාහා මංගලෝත්සවය පැවති අතර එහි ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකරන ලද්දේ ධම්මික විසිනි . විවාහ මංගල්‍යයට පැමිණි සිටි වසන්තගේ සොහොයුරන් දෙදෙනා ඝාතනය වන්නේ මංගල්‍යය අතරතුරේය . සිය සොහොයුරන් මංගල්‍යයට පැමිණෙන බව ධම්මික අමරසිංහ ට දැන්වුයේ කරාටේ ධම්මික විසින් බව වසන්ත විශ්වාස කළ බව පැවසේ.වසන්ත හා ධම්මික අතර පසුකාලීනව ගැටුම් ඇතිවෙන්නටද ඒ විශ්වාසය හේතු වූ කියවේ.
                                                           ධම්මික පාසලේ 10 වසරේ සිටියදී ප්‍රාදේශීය දේශපාලකයෙකුගේ අවි පිරිසිදු කරන්නට ගොස් නිතරම පාහේ අවි අත දරන්නේ අපට හිතන්නට යමක් ඉතිරි කරමිනි . ධම්මික කරාටේ ක්‍රීඩාව තුළින් උපයාගෙන තිබූ ජනප්‍රියත්වය, ඔහුව කඩුවෙල වසන්තට සමීප කෙරීය . ධම්මිකගේ පළමු රැකියාවද ඔහුට ලැබෙන්නේ කරාටේ වල පිහිටෙනි . ඒ ප්‍රභූවරයෙක්ගේ පෞද්ගලික ආරක්ෂකයා ලෙසයි . හය හත් දෙනෙක්ට එකපාර වැටෙන්නට ගහන්න පුලුවන් අයෙක්ට එකල පාතාලයේ ලොකු ඉල්ලුමක් තිබුණි . ධම්මිකලා එලියට එන මුල් කාලයේ අජීවී අවියකට වඩා ඇගේ පතේ සවිය ගැන පාතාල ලෝකය විශ්වාසය තැබීය ධම්මිකගේ අපරාධ රැල්ල ආරම්භ වන්නෙ 1992 වර්ෂයේදී අතුරුගිරිය ගුණසේකර ඒජන්සියට අයත් සිගරට් රැගෙන යමින් තිබූ වෑන් රථයක් කොල්ල කෑමෙනි . එය ධම්මිකලා කලේ සෙල්ලමට වගේය . එකම අපේක්ෂාව වූයේ යහමිනි මුදල් ටිකක් සොයාගැනීම පමණි . නමුත් සිය පලමු කාර්යයේදීම පොලිස් ප්‍රහාරයකට මැදිවන්නට ධම්මිකට සිදුවිය . අතුරුගිරිය පොලීසියේ කොස්තාපල්වරයෙකු වූ (994) අමරවංශ මහතා ධම්මිකලාට වෙඩි තබා තිබුණි . එම සිද්ධියෙදී ඒ මහතා ද වෙඩි පහරකින් ජීවිතක්ෂයට පත්විය . එහිදී ඇතුවුනු වෙඩි තැබීමේදී තුවාල ලැබූ සගයාට තවත් වෙඩි දෙකක් තබා ධම්මික පැනයන්නෙ පොලීසියට සගයා අහුවුනොත් අදාළ තොරතුරු පිටවේයැයි බියෙනි . මෙලෙස එකට කොල්ලය සදහා පැමිණි සිය සගයාට වෙඩි තැබීමට තරම් ඔහු තුළ තිබූ කෘරත්වය පාතාල ලෝකයේ සතුටට හේතුවිය.ඒ හරහා පාතාල ලෝකයට පිවිසීමට අවශ්‍ය සුදුසුකමක් ධම්මික සපුරා තිබුණි . කල්යත්ම පාතාලය තුළ යමක් කමක් කරගතහැකි මට්ටමට ධම්මික ගොඩනැගෙන්නේ සිය මග යන ගෝලබාලයින් කිහිපදෙනෙක්ද නිර්මාණය කරගෙනය . මා ඉහත පෙන්වා දුන් නේවි රුවන්,නේවි අසංක,ආමි රොෂාන් ධම්මිකගේ කල්ලිය නියෝජනය කෙරීය . මෙසේ ක්‍රමක්‍රමයෙන් කඩුවෙල පාලනය සියතට ගැනීම,ෆෝඩ් ෆාදර් කිරුල අත දැරීම වැනි සිහින ධම්මික පසුපස පන්නන්නට විය.ඒ සිහින සැබෑකරගැනීමේදී සිය පළමු බාධකය ඉවත් කළ යුතු බව ධම්මිකට වැටිහිණි . ඒ බාධකය වෙන කවුරුත් නොව ධම්මිකගේ ගුරුවරයා, කඩුවෙල වසන්තය . ධම්මිකගේ හිතුවක්කාරී ක්‍රියා පිලිවෙත නිසා දෙදෙනා අතර යම් විරසකයක්ද ගොඩනැගී තිබිණි . වසන්තගේ උපදෙස් නොතකා කොල්ලුපිටියේ ලිබර්ටි ප්ලාසා සුපිරි වෙළඳ සන්කීරණයේ රන් ආභරණ වෙළදසැලක් කොල්ලකෑම හා කඩුවෙල ගල් චන්දරේ නැමැති පුද්ගලයෙක්ගේ කේලම් මෙලෙස දෙදෙනා අතර විරසකයක් ඇතිවීමට හේතු වූ බව කියවේ . වසන්ත ඕනෑතරම් මැරකම්වල නිරත වුවද සොරකමකට විරුද්ධ අයෙක් ලෙස ප්‍රසිද්ධය . ගුරුවරු සිය ගෝලයෝ අතින්ම මැරුම් කෑ ඕනෑතරම් සිදුවීම් පාතාලය තුළ අපට අසන්නට ලැබෙයි . ලේ රහ දැනුන පසු අම්මා අප්පා වුවද අදාළ නැත . මේ අනුව එකල මුලු රටම නම කියූ පමණින් භීතියෙන් ඇලිලෙන,ආරක්ෂක අංශ වලට මහත් හිසරදයක් ව තිබූ කඩුවෙල වසන්තගේ ඉරණම සිය ප්‍රධාන ම ගෝලයා අතින් විසදෙන්නට සියල්ල සැලසුම් විය . දිනය 2002 මැයි 31වෙනිදාය . වෙසක් දා වූ බැවින් සාදු සාදු හඩ,බණ,පිරිත් දේශනාවල හඩ මිනිසුන්ගේ හදවත්වලට කතාකරන මොහොතක, මූනිස්සම් තුවක්කු වලට දමා ඒවා සූදානම් කරගන්නා හඩ වාතලයට එක් කලේ ධම්මිකගේ කල්ලියයි . මේ අතරවාරයේ කඩුවෙල වසන්ත සිය ගෝලබාලයින් සය දෙනෙක්ද සමග නවගම පොලිස් ස්ථානයට පැමිණීම සදහා මාරයාගේ ගමන අරභා තිබුණේ රෝසා බස් රථයකිනි . ධම්මිකගේ උපදෙස් පරිදි නේවි රුවන් ඇතුලු පිරිසද සිය ගොදුරු සොයා පැමිණෙමින් සිටියේ පොලිස් නිල ඇදුමට සමාන නිල ඇදුමක් ඇගලාගෙනය.
                                             
       අතරමගදී වසන්තගේ රථය හරස් කල නේවි රුවන් ඇතුළු පිරිස "තමන් පොලීසියෙන් බවත් . කඩුවෙල වසන්තගෙන් ප්‍රශ්න කිරීමට අවශ්‍ය බවත් " පැවසීය . කඩුවෙල වසන්ත ලෝකෙ කා වතුර බිව් එකෙක් ලෙස සැලකුවද ධම්මිකගේ උපායට රැවටුනු අතර ඔහු සහ සහචරයෝ ප්‍රශ්න කිරීමකින් තොරවම නේවි රුවන්ලාගේ රථයට ගොඩවිය.පිරිස කරාටේ ධම්මික සිටින ස්ථානය කරා ඉගිල යමින් සිටියේ කඩුවෙල වසන්තගේ අවසානය තම දෑතින්ම සිදුකල යුතු බවට ධම්මික උපදෙස් දී තිබූ බැවිණි . නමුත් නේවි රුවන්ලාගේ උත්සහය වැරදුනි . වසන්තගේ ගෝලයෙක් රථය පදවමින් සිටින්නේ ධම්මිකගේ සහචරයෙක් බව අදුනගන්නෙ ක්ෂනිකවය . මේ නිසා රථය තුලදීම වසන්තගේ ඉරණම විසදන්නට රුවන් ඇතුළු පිරිස ක්‍රියා කරන්නේ පායා තිබූ වෙසක් සදට සමච්චල් කරමිනි . වෙඩි තබාගැනීමෙන් රථයෙ ඉන්ධන ටැන්කියටද හානි සිදුවූ අතර පහළ බෝමිරියේ මේදානන්ද මාවතේ රථය අතහැර පලායන්නට පිරිසට සිදුවිය .
අදාල සිද්ධිය ට නායකත්වය දුන්නේ ඉහත රූපයේ සිටින ආමි රොෂාන් බවද කියවෙයි .
                                                         එකල මේ මිනීමැරුම් සිද්ධිය කරුණු කිහිපයක් නිසා රටේ ප්‍රධාන පුවතක් බවට පත්විය.එනම් මුලු රටම බොදු භක්තියෙන් නැහැවී තිබූ වෙසක් දවසක සිද්ධිය සිදුවීම හා මෙලෙස බල්ලෙක් බළලෙක් ගනනට මරා දමා තිබුනෙ මැස්සෙක්ටවත් සිය උඩින් යන්නට බැහැයි සිතූ කඩුවෙල වසන්ත වීමත්ය . නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසිය යුසුහුලු විය . ඒ අනුව අලුත්ගම හෝටලයකදී කරාටේ ධම්මික ඇතුලු සිද්ධියට අදාල සැකකරුවන් නව දෙනෙක් අත්අඩංගුවට පත්වන්නේ එවකට නියෝජ්‍ය පොලිස්පති සිරිසේන හේරත් මහතාට ලැබුණු ඔත්තුවක් අනුවය . එහිදී සිද්ධියට අදාල විශේෂ කාර්ය බලකා සෙබලෙක් ඇතුලු තිදෙනෙක් පැනගොස් ඇත. නේවි රුවන් අත්අඩංගුවට පත්වන්නෙ 2002 ජූලි 1 වෙනිදා පනාගොඩ ප්‍රදේශයේදීය . ඒ ගිනිඅවි කිහිපයක්ද සමගිනි . ඒ වගේම සිද්ධියට අදාල චීන පිස්තෝලයක්,රිවෝල්වරයක් හා ග්රෙනෙඩ් බෝම්බ දෙකක්ද සොයාගැනුනි . මෙහෙයුම සිදුකලේ එවකට පොලිස් ස්ථාධිපති උදය හේමන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් හංවැල්ල පොලීසියයි . ස්ථානාධිපතිවරයා ඩේලි මිරර් පුවත්පතට පවසා තිබුනේ නේවි රුවන් අවිස්සාවේල්ල ප්‍රදේශයේදී සිගරට් වෑන් රථයක් කොල්ලකෑම ( මේ කොල්ලයද ධම්මිකගේ ප්‍රධානත්වයෙන් සිදුවූ බව මා ඉහත පෙන්වා දී ඇත) ඇතුලු හෝමාගම,පනාගොඩ ප්‍රදේශයේ කොල්ලකෑම් රැසකට සම්බන්ධ වී සිටි අයෙක් බවයි.මීට අමතරව වසන්තගේ ඝාතනයට මෙන්ම සිගරට් වෑන් රථය කොල්ලකෑම් සිද්ධියට සම්බන්ධ වූ අසංක හා ප්‍රසන්න යන දෙදෙනාත්,තවත් සැකකරුවෙක් පූගොඩදීත් අත්අඩංගුවට පත්විය.සිද්ධියෙදී පොලිස් නිල ඇදුමෙන් සැරසී සිටි රෝහණටත් , රථය පැදවූ සුදියාටද නීතියේ රැහැනින් ගැලවීමට නොහැකි විය . මේ සැකකරුවන් එවකට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට ඇත.
                                                                        කඩුවෙල වසන්තගේ මරණ වරෙන්තුව ලියූ සිද්ධිය ට වසර තුනක් සිරගතව සිටින්නට ධම්මික ට සිදුවිය . සිරගෙයින් පිටතට එනවිට ධම්මික පාතාලය තුළ වීරයෙක් බවට පත්වී තිබුණි.පාතාල ලෝකයේ පතාක යෝධයෙක් බදු වූ කඩුවෙල වසන්තට ගේම දුන් එකා යැයි ධම්මිකට පතාලය තුළ ඉහළ පිළිගැනීමක් විය . කිරි පොවා පෝෂණය කර ධම්මික බැදගෙන වැඩ ගන්නට තවත් කෙනෙක් දතකට නියවමින් බලා සිටියහ . ඒ අන් කිසිවක් නොව දේශපාලනයයි . ගසට පොත්ත සේම. ජාඩියට මූඩිය සේම , රෝමියෝට ජුලියට් සේම පාතාලයට අන් කවරක්වත් නොව දේශපාලනයයි . 2005 වර්ෂයේදී සිරෙන් නිදහස්ව එන කරාටේ ධම්මිකව මහත් හරසරින් පිලිගෙන රථ පෙළපාලියකින් වැලිකඩ සිරගෙදර සිට කඩුවෙලට රැගෙන යන්නේ කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන එක්තරා ජනහිතකාමී දේශපාලන නායකයෙකි . වසන්තගේ මරණයෙන් පසුව කඩුවෙලෙන් ඈත් වූ ධම්මික සිය පදිංචියට තෝරගන්නෙ තම බිරිඳගේ උපන් ගම වන වැලිකඩ කලපලුවාව බුද්ගමුව අඹගහ හන්දියේ දෙමහල් නිවසකි. ඉන් අනතුරුව සුපෝබභෝගී ජීවිතයක් ගතකරන ධම්මික සිය දරුවන් යවන්නෙ ජාත්‍යන්තර පාසලකටය . සිය බිරිදට දරුවන්ගේ වැඩකටයුතු සදහා නවීන පන්නයේ මෝටර් රථයක් ද ලබාදී තිබුනි . මේ කාලය වන විට ධම්මික විශාල වශයෙන් මුදල් හරිහම්බ කරන්නේ කප්පම් ගැනීම, මත්ද්‍රව්‍ය ජාවාරම වැනි පාතාලයේ පොදු ව්‍යාපාර වලට සම්බන්ධ වෙමිනි . කොළඹ ජීවත් වන ධනවත්ම ව්‍යාපාරිකයන් ධම්මිකගේ කප්පම් ලැයිස්තුවේ විය . බොහෝ විට කප්පම් ලබාගැනීමට යැවුනෙ සිය බිරිදවය . මීට අමතරව ඉඩම් විකිණීමේ ව්‍යාපාරයක්ද ධම්මික අරභා තිබුනි . අනවසරයෙන් ඉඩම් ගොඩකිරීම සම්බන්ධයෙන්ද ධම්මික ප්‍රසිද්ධියක් ඉසිලීය . කොළඹ විකිණෙන බොහෝ ඉඩම්වල ගණුදෙනුවලට අත දමන ඔහු ඒවායින් කප්පම් මුදලක් ලබාගනී . මේ සියල්ලටම ධම්මිකට යෝධ සවියක් වුනේ මා ඉහත කී ජනහිතකාමී දේශපාලන නායකයාය . ඉඩම් පලහිලව්වක් සම්බන්ධයෙන් කරාටේ ධම්මිකගේ මැදිහත් වීම තරුණයෙක් ට අත් පා පවා අහිමි කල අදුරු කතාව මා සතුය .
කොටදෙනියාව ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට අයත් ඉඩමක් අංගොඩ ප්‍රදේශයේ පිහිටා තිබුණි . ඉඩමේ පවුල් හතඅටක් අනවසරයෙන් පදිංචි වී සිටි නිසා එය විකුණාගැනීම අදාළ කාන්තාවට ගැටලුවක්ව පැවතිණි . ඇය එම ගැටලුව රැගෙන ආවේ ධම්මිකගේ ප්‍රිය බිරිඳ ළගටය . ධම්මික කාන්තාවගේ ගැටලුවට අත පොවන්නේ ඉන් අනතුරුවය . ඒ අනුව ධම්මික අදාල ඉඩම විකිණීම සදහා හිතවත් ඉඩම් කොන්ත්‍රාත්වරයෙක්ට භාරදෙන්නේය . ඉඩමේ බලෙන් රැදී සිටින පිරිසට කිසියම් මුදලක් ලබාදී ඔවුන් ඉන් ඉවත්කරගැනීම කොන්ත්‍රාත්කරුගේ අභිප්‍රාය විය.ඉඩම හිමි කාන්තාවට අත්තිකාරම් මුදලක් ලෙස ලක්ෂ පනහක්ද හිමි විය . නමුත් හදිසියේම අදාල ඉඩම සදහා තවත් හිමිකරුවෙක් ඉදිරිපත් වන්නේ ධම්මිකලා නොසිතූ ලෙසය . හිමිකරුවා නීතිඥවරයෙක් වීම, ප්‍රශ්නය තවත් බැරෑරුම් කළේය . ඉඩම විකිණීම අතරමග ඇණහිටිනු අතර ධම්මිකලා ඉඩම වෙනුවෙන් දැරූ වියදම ලක්ෂ 75ක් වී තිබුනේ ඉඩම බලාකියාගත් පුද්ගලයාටද ලක්ෂ 25 ක් ලබාදී තිබුණු බැවිනි.මේ තත්වය හමුවේ ධම්මික, අදාල ඉඩම හිමි කාන්තාවගෙන් ලක්ෂ 80ක මුදලක් ආපසු ඉල්ලා සිටින්නෙ ගහෙන් ගෙඩි එන්නා සේය . ඉඩම් හිමි කාන්තාව දැඩි ලෙස අසරණ වූ අතර මුදල් ප්‍රමාදවත්ම ධම්මික සිය ගෝලබාලයින් ලවා කාන්තාවගේ පවුලේ සාමාජිකයන්ට හිරිහැර කරන්නට විය . එන්න එන්නම ධම්මිකගේ හිරිහැර වැඩිවෙත්ම නීතියේ පිහිට පතන්නට කාන්තාවට සිදුවුණි . ඇය අන්තිමට නැවතුනේ මිරිහාන විශේෂ අපරාධ ඒකකයේය . මේ කාන්තාව හැප්පෙන්නට සූදානම් වන්නේ පාතාලයේම රජු වූ කරාටේ ධම්මික සමග බව දැනගත් විශේෂ අපරාධ ඒකකයේ ස්ථානාධිපති ඩී.පී.අමරබන්දු මහතා ට තරු විසිවිණි. අමරබන්දු මහතා වහාම ක්‍රියාත්මක විය . ධම්මිකව අත්අඩංගුවට ගන්නට කටයුතු සූදානම් විය . අදාල කාන්තාවගේ පවුලේ සාමාජිකයන් 15 දෙනෙක් ඇගේ මහගෙදර පිහිටා තිබූ කොටදෙණියාවේ නවත්වා පැය 24ම පාහේ පොලිස් ආරක්ෂාව ලබාදෙන්නට අමරබන්දු මහතා පියවර ගන්නේ ධම්මිකගේ ක්‍රියාකලාපය හොදින් දන්නා හෙයිනි .
                                                                 කාන්තාව මෙලෙස නීතියේ පිහිට පැතූ බව දැනගත් ධම්මික පිස්සු බල්ලෙක් මෙන් උරණ වී ඇගේ පවුලේ සාමාජිකයන් පසුපස පන්නන්නට විය . පවුල පිටින්ම ඝාතනය කරන බවට ද සපථ කර තිබුණි . ඉඩම් හිමි කාන්තාවගේ එක් පුත්‍රයෙක්ට කඩුවෙල වසන්තගේ පිරිස් සමග සබධතා තිබුණි . මේ අවස්තාවේ දී ඒ සබධතා ප්‍රයෝජනයට ගන්නට සිතූ ඔහු කඩුවෙලට එන්නෙ සිය ආරක්ෂාව සදහා ටී 56ක් සොයාගැනීමේ අදහසිනි.ධම්මික ට පෙර තමන් ඉස්සර වීම ඔහුගේ සැලැස්ම විය.පුත්‍රයාගේ මේ සැලැස්ම ධම්මිකට ආරංචි වන්නේ මේ අතරවාරයේය . ඒ අනුව තලාහේන ප්‍රදේශයේ නිවසකදී ඉඩම් හිමි කාරියගේ පුත්‍රයාට මන්නා පිහිවලින් කොටා සදාකාලික අබාධිතයෙක් කිරීමට ධම්මික ක්‍රියා කරන්නේ කෘර ලෙසිනි.ධම්මිකගේ උපදෙස් පරිදි මද්දින්නාගොඩ කල්ලිය විසින් තරුණයාට පහර දී තිබිණි. මෙලෙස කරාටේ ධම්මිකගේ ගිණුමට බොහෝ අපරාධ එකතු වෙමින් තිබිණි . ඒ සියල්ලටම පාහේ ජනහිතකාමී දේශපාලනඥයාගේ රැකවරණය ශක්තියක් විය . මෝදර ප්‍රදේශයේ සිය ආධිපත්‍යය පතුරවාගෙන සිටි කිඹුලා ඇල ගුණා,බොරැල්ල ප්‍රදේශයේ බලය අල්ලාගෙන සිටි ඕල්කට් සහ තවත් පාතාලයේ කෙරුම්කාරයෙකු වූ ජිබෝයිද ජනහිතකාමී දේශපාලඥයාගෙ තුරුලේ නැලවුණු සුරතලුන් වූහ .
                                                                       නූතනයේ මෙන් වැසිකිලියට ගිය ස්වල්ප වේලාවට නොවුනද එකලද දේශපාලන හැලහැප්පීම් සිදුවිය.මෙලෙස සිදුවන දේශපාලන හැලහැප්පීම් හමුවේ ධම්මිකලා හිතවත්ව සිටි ජනහිතකාමී දේශපාලනඥායාගේ බලය ක්‍රමක්‍රමයෙන් හීන වෙමින් පැවතිණි.ඒ වෙනුවට කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින්ම තරුණ,හැඩිදැඩි දේශපාලඥයෙක් මතුව එන්නට විය.සිය සහෝදරයාගේ මාධ්‍ය ශක්තියද ඔහුට ආශිර්වාදයක් විය.බොහෝ ජ්‍යෙෂ්ඨයන් මනාප ලැයිස්තුවල පසුපසට හෙලූ ඔහු ජන්ද මැෂිමක් වගේ පෙරමුණ ගත්තේය.ධම්මික හා මේ තරුණ දේශපාලඥයා අතර හිතවත්කම් ඇතිවන්නට ගතවූයේ කෙටි කාලයකි.ධම්මික පමණක් නොව ඕල්කට්(විශේෂ කාර්ය බලකාය සිදුකල මෙහෙයුමකදී ගිනි අවියක් උදුරා ගැනීමට උත්සහ කිරීමේදී 2011දී මරණයට පත්විය ) ,කටා රොෂාන්,දෙමටගොඩ චමින්ද වැනි පිරිස්ද මේ තරුණ මන්ත්‍රීවරයා වටා එක්රොක් වෙන්නේ ඔහු සතු වූ දේශපාලන බලය හා අත දිගහැර වියදම් කිරීමේ හැකියාව නිසාය.නමුත් ධම්මිකලා වැනි පිරිස් සමඟ වාසය වර්ථමානය වන විට මේ මන්ත්‍රීවරයා ජීවිතාන්තය දක්වා සිර දඩුවමකට යටත් කොට ඇත්තේ සිය ජයග්‍රාහී දේශපාලන ගමන අවාසනාවන්ත ලෙස නිමාවට පත් කරමිනි  .මේ සියලු කතා පසෙක තබා සටහන් කල යුතු දෙයක් ඇත . මේ තරුණ මන්ත්‍රීවරයා දුප්පත් ජනතාව වෙනුවෙන් ඉටුකළ දෑ බොහෝය.
                                                                   ඇතැම් තැනක තරුණ මන්ත්‍රීවරයා,ධම්මිකගේ සේවකයෙක්ද යන්න හිතාගැනීමට බැරි තරමටම ඔවුනොවුන් අතර සම්බන්ධය දැඩි විය . කේරළයේ සිට කංසා ප්‍රවාහනයද,බැංකොක් සිට හෙරොයින් ප්‍රවාහනයද ධම්මිකලා හා මන්ත්‍රීවරයා සිය ව්‍යාපාර වශයෙන් සාර්ථකව කරගෙන ගොස් ඇත .  කරාටේ ධම්මික මන්ත්‍රීවරයාගේ බලය පවා ඉක්මවා ගිය අවස්ථා කොතෙකුත් ඇත . කොරතොට ප්‍රදේශයේ පදිංචි ජයසිංහ නැමැති පුද්ගලයෙක්ගේ සහෝදරයෙක් කඩුවෙල වසන්ත ඝාතනයේදී ධම්මිකලා අතින් මැරුම් කා තිබුණි . ඊට ධම්මිකගෙන් පලිගන්නා බවට ජයසිංහ යම් යම් ස්ථානවල ප්‍රකාශ කර ඇති බව ධම්මිකට ඉව වැටී ද තිබිණි . මේ අතරවාරයේ පැවති මැතිවරණයකදී, එක්සත් ජාතික පක්ෂයේ අධාරකරුවෙක් වූ ජයසිංහ ද ඉහත පෙන්වා දුන් තරුණ මන්ත්‍රීවරයාගේ උදව්වට පැමිණ තිබුනේ විශාල එ.ජා.ප.පාක්ෂිකයන් පිරිසක්ද සමගය.ඒ සම්බන්ධය නොරිස්සූ ධම්මික ඔහුගේ ගෝලයන් දෙදෙනෙක් ලවා කඩුවෙල කොරතොට ප්‍රදේශයේ දී ජයසිංහව මරා දමන්නේ මන්ත්‍රීවරයා ද විශ්මයට පත් කරමිනි.
 සිද්ධිය ට සම්බන්ධ වූ ධම්මිකගේ ගෝලයා පසුව වැලිගම ප්‍රදේශයේ දී පොලීසියට කොටු වන්නේ මිරිහාන විශේෂ අපරාධ ඒකකයේ මෙහෙයුමකට අනුවය.තමන් ජයසිංහව මරා දැම්මෙ ධම්මිකගේ උපදෙස් අනුව බව ඔහු පොලිසියට පාපොච්චාරණය කර තිබුණු අතර ධම්මික විසින් සැලසුම් කර ඇති තවත් ඝාතනයන් පිළිබඳව ද ඔහු හෙලිදරව් කර ඇත..ඒ අතරින් එවකට ජීවතුන් අතර සිටි ජනාධිපති උපදේශකයෙක් වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා(වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ පියා),හා ප්‍රසන්න සෝලංගආරච්චි මහතා ධම්මිකගේ මරණ ලැයිස්තුවේ ඉහලින්ම සිටියහ.
                                                           වරෙක ධම්මික ඩුබායි රාජ්‍යයේ රැකියාවකට ගොස් වසර දෙකක් සිටියේ මේ සියල්ලෙන් ඈත්වය.නමුත් නැවත වරක් ඔහුව මේ නරාවලට ඇද දැමුවේ අන් කිසිවක් නොව ගදගහන දේශපාලනයයි.මැතිවරණ සමයන්වලදී ධම්මිකලාගේ දුරකථන පිරුනේ දේශපාලඥයින්ගේ ඇමතුම් වලිනි. මේ සියල්ලෙන් පසුව එළඹුනෙ ධම්මිකලාට මෙන්ම මුලු මහත් පාතාලයටම අමාරු කාලයකි.පාතාලයට එරෙහිව රට තුළ ක්‍රියාත්මක වූ සාර්ථකම මෙහෙයුම ආරම්භ වී තිබුණි.නායකත්වය ගෙන තිබුනේ එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාය.ශ්‍රී ලංකා විශේෂ කාර්ය බලකාය ගොදුරු සොයා පියැඹූහ.පොලිස් විශේෂ කාර්ය බලකායේ සහකාර පොලිස් අධිකාරි සිසිර කුමාර මහතාගේ නායකත්වය යටතේ පාතාල නායකයන් සොයා දැවැන්ත මෙහෙයුමක් අරභා තිබුනි.නමුත් තරුණ මන්ත්‍රීවරයා එවකට ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයෙක් වීම ධම්මිකලාට අස්වැසිල්ලක් විය.සිය පාතාල සගයින් බේරාගැනීමට මන්ත්‍රීවරයා යා හැකි ඉහළම තැන් වලට ගියේය.නමුත් මන්ත්‍රීවරයාගේ සමීපතයෙක් වූ ඕල්කට්ගේ අවසානය එස්.ටී.එෆ්. භටයෝ අතින් 2011දී විසදී තිබුණි. ඉන් අනතුරුව, තමන්ට ද ආරක්ෂා නොවුනහොත් ෂොට් එක ලැබෙන බව ධම්මික තේරුම් ගත්තේය.ඒ අනුව රහසිගත ජීවිතයක් ගත කිරීම සදහා ධම්මික තෝරා ගත්තේ ගාල්ල නෙලුව ප්‍රදේශයයි.ගාල්ල ප්‍රදේශයේ රජයේ ප්‍රබල දේශපාලඥයෙක්ගෙ බාල සොහොයුරෙක් ධම්මිකගේ හිත්වතෙක් විය.ඔහුගේ නිවසේ රැදෙමින් රැකවරණය ලැබීම ධම්මිකගේ බලාපොරොත්තුව විය.අවසානයේ එහි රැදීසිටීමත් අනාරක්ෂිත බව තීරණය වුනු අතර ධම්මිකගේ රහසිගත ජීවිතය සදහා තෝරාගැනුනේ නෙලුව ප්‍රදේශයේ පන්සලකි.පන්සලේ සියලු වැඩකටයුතු පිළිබඳ සොයා බලමින් ඔහු නායක හාමුදුරුවන්ගේද හිත දිනා ගත්තේ තමා මුලු පාතාලයේම රජු බව ඉගියකින්වත් දැනගන්නට ඉඩ නොතබමිණි.සිය යෝගී ව්‍යායාම වලද ඔහු පන්සලේදී යෙදුණු බව ප්‍රකාශ වෙයි.ඒ වගේම පන්සලේ පොඩි හාමුදුරුවරුන්ට හා ගම්වාසින්ට, භාවනා පන්ති ආදියද ධම්මික පවත්වා ඇති බව තතු දත්තෝ පවසති.කෙසේ නමුත් ධම්මිකට වැඩි කාලයක් නෙලුව පන්සලේ සිටින්නට නොහැකි වන්නේ ඔහු සිය පවුල කෙරෙහි දැක්වූ සෙනෙහස නිසාය.ධම්මික නිතරම පාහේ දුරකථන මාර්ගයෙන් බිරිඳ සහ දරුවන්ගේ සුවදුක් විමසන්නට පුරුදුව සිටියේය.මිරිහාන විශේෂ අපරාධ ඒකකයේ ස්ථානාධිපති ඕ.සී.අමරබන්දු මහතා ප්‍රමුඛ කණ්ඩායම ද ධම්මිකගේ දුරකථන අංක කිහිපයක් ඔස්සේ පරීක්ෂණ පවත්වමින් සිටියහ.අවසානයේ පරීක්ෂණ සාර්ථක වූ අතර පොලීසිය ධම්මික සොයා නෙලුව ප්‍රදේශය පීරන්නට විය. නෙලුව ප්‍රදේශයෙන් පැනගත් ධම්මික ආරක්ෂාව සොයා පැමිණ තිබුනේද ඉහත පෙන්වා දුන් තරුණ මන්ත්‍රීවරයා සමීපයටය.
                                                         මේ කාලය වන විට ධම්මික සිය ෆෝඩ් ෆාදර් ජීවිතය අරඹා තිබුනි. සැගවී සිටිමින් වරින් වර මතුවීම ඔහුගේ ලක්ෂණය විය. ප්‍රසිද්ධ ස්ථානවල පෙනී නොසිටීම ඔහුගේ සිරිතය. ධම්මික ඇතුලු තරුණ මන්ත්‍රීවරයාගේ බලපෑම් හමුවේ කොළඹ නියෝජනය කළ එක්තරා නාගරික මන්ත්‍රීවරයෙක්ට රට හැර එංගලන්තය බලා යාමටද සිදුවන්නෙ මොවුන් ගොඩනාගෙන තිබූ බලය පෙන්වාදෙමිනි.නාගරික මන්ත්‍රීවරයා කොළඹ මත්කුඩු ව්‍යාපාරයට අතගසා තිබීම තරුණ මන්ත්‍රීවරයා කෝපගන්වා තිබුණි.මන්ත්‍රීවරයාගේ උපදෙස් පරිදි නාගරික මන්ත්‍රීවරයාගේ පක්ෂ කාර්යාලය කුඩු පට්ටම් කර බිය වැද්දීමටද ධම්මිකලා කටයුතු කළහ. මේ අතරවාරයේ විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිර කුමාර මහතා කරාටේ ධම්මික සොයා විශාල මෙහෙයුමක් අරභා තිබුණි.සිසිර කුමාර මහතා මුලු ආරක්ෂක ක්ෂේත්‍රයේම ජනප්‍රියත්වයක් දිනාගෙන සිටි කීර්තිමත් නිළධාරියෙකි. පොලීසියේ ඉහළම පුටු නම්මාගත්තද අධිකාරිවරයා ධම්මිකව කොටු කරගෙන මිස වැඩය අත්නොහරින බව තරුණ මන්ත්‍රීවරයාටද අවබෝධ විය.මේ අතරවාරයේ මන්ත්‍රීවරයාගේ සමීපතයෙක් වූ කටා රොෂාන්ට පිරිසක් වෙඩි තබා මරා දමන්නේ මන්ත්‍රීවරයා අන්දුන්කුන්දුන් කරමිනි.එහි සැකයද එල්ලවූයේ සිසිර කුමාර මහතා ඇතුලු විශේෂ කාර්ය බලකායේ පිරිස වෙතය.ඉන්පසු මන්ත්‍රීවරයා පොලීසියේ ඉහළම නිළධාරියෙක් (වර්ථමානයේ විශ්‍රාමික) සොයාගොස් සිය දුක්ගැනවිල්ල ඉදිරිපත් කොට ඇත.මන්ත්‍රීවරයාගේ උපදෙස් පරිදි පොලිස් ලොක්කා සිසිර කුමාර මහතාට එරෙහිව පරීක්ෂණ ඇරඹීය.ඉන්පසු සිදුවන්නෙ පොලිස් ඉතිහාසයේ හිරිකිතම සිදුවීමකි.කටා රොෂාන් නැමැති පාතාල පිළිලය මෙලොවින් තුරන් කිරීමේ සැකයට සිසිර කුමාර මහතාගෙන් රහස් පොලීසිය දින තුනක් තිස්සේ ප්‍රශ්න කළහ.ඉන් නොනැවතුණ, මන්ත්‍රීවරයාට කීකරු පොලිස් ලොක්කා සිසිර කුමාර මහතාට ලබාදුන්නේ අම්පාර මහඔය එස්.ටී.එෆ්. කදවුරට ක්ෂනික මාරුවකි.
                                                                      අම්පාර මහඔය කදවුරේදීද එතුමාට ගැලවීමක් නොවීය.එකට සේවය කල තවත් නිළධාරියෙක් සමග ඇතිවුනු වෙඩි හුවමාරුවකදී එතුමා ජීවිතක්ෂයට පත්වූ බව කියවිණි.කෙසේ නමුත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තරුණ මන්ත්‍රීවරයාට චෝදනා එල්ල විය.අධිකරණයේ විමසුනු සාක්ෂි ද එකිනෙකට පරස්පර විය.සිද්ධියත් සමග කදවුරේ සේවය කල තවත් සෙබලෙක් පැනගිය බවට කරුණු වාර්තා වී තිබිණි.එවැනි සෙබලෙක් කදවුරේ සේවය නොකළ බව හෙලිදරව් විය.පැනගියේ ධම්මිකලාගේ ගෝලයෙක් බවට සැක පහල වුනු අතර ඔහු විසින් අදාළ වෙඩි තැබීම කරන්නට ඇතැයි කතා පැතිරිණි.ඝාතනය ආරංචි වීමත් සමග තරුණ මන්ත්‍රීවරයා,ධම්මික ඇතුලු පාතාල සහචරයෝ රතිඤ්ඤා පත්තු කර ප්‍රීති ඝෝෂා පවත්වා සතුටු වී තිබුනු අතර සාදයක්ද සංවිධානය කර තිබුණි.කෙසේ නමුත් සිසිර කුමාර මහතාගේ මරණය අදට ද අභිරහසකි.පාතාලය නැමැති උඩු දුවන පිලිකාව මර්දනය කිරීමට කල මෙහෙවර සම්බන්ධයෙන් කොයි කාගේත් ගෞරවය එතුමාට හිමිවිය යුතුය. ධම්මිකගේ ආරක්ෂක නිවස්නය පිහිටා තිබුනේ නුගේගොඩ,පරණ කැස්බෑව පාරේ නිවසකය.විශේෂත්වය වූයේ තරුණ මන්ත්‍රීවරයාගේ පක්ෂ කාර්යාලය පිහිටා තිබුනේ ද අදාල නිවසේ වීමයි.රට වටේම පාහේ ධම්මික ආරක්ෂා වීමට නිවස් කිහිපයක්ම මිලදී ගෙන තිබුණි. මේ අතරවාරයේ ධම්මික රුපියල් අට ලක්ෂයකට රඹුක්කන, වල්පොල ප්‍රදේශයෙන් නිවසක් මිලදී ගෙන තිබුණි. එය අනුර සම්පත් නැමැත්තෙකුට බලාකියා ගන්නට ධම්මික භාරදුන්නේය.එහි කාන්තාවන් දෙදෙනෙක් නවාතැන් ගෙන සිටි අතර ඉන් එක් අයෙක් ධම්මිකගේ අනියම් බිරිඳ ලෙස සැලකේ.පාතාල නායකයින්ට අනියම් බිරින්දෑවරු සිටීම අද වන විට මෝස්තරයක් බවට පත්ව ඇත.සති දෙකතුනකට වරක් රඹුක්කන නිවසට ගොස් කල්ගත කර ඒම ධම්මිකගේ සිරිතය.
                                                         ඉන් අනතුරුව එලබෙන්නෙ 2011 පළාත් පාලන මැතිවරණ සමයයි. සිය පුංචි අම්මාගේ පුත්‍රයෙක් කොළොන්නාව නගර සභාවට ඉදිරිපත් කොට නගරාධිපති කරන්නට කරාටේ ධම්මික ට අවශ්‍ය විය. එවකට කොළොන්නාවේ ශ්‍රී.ල.නි.ප. සංවිධායකවරයා වූ තරුණ මන්ත්‍රීවරයාගෙන් ඊට අවශ්‍ය නොමසුරු සහය හිමිවිය.මේ කාලය වන විට තරුණ දේශපාලනඥයා හා මා ඉහත පෙන්වා දුන් ජනහිතකාමී දේශපාලනඥයා අතර ගැටුම උග්‍ර අතට හැරී තිබිණි. කොළොන්නාව කුඩු පුරවරයක් බවට පත්ව තිබුණු අතර ජනහිතකාමී දේශපාලනඥයා ප්‍රසිද්ධියෙම ඊට තරුණ මන්ත්‍රීවරයා ට චෝදනා කලහ. කෙසේ නමුත් සිදුවෙමින් තිබුනේ ජනහිතකාමී දේශපාලනඥයා විසින් ඇති දැඩි කල උන් තරුණ මන්ත්‍රීවරයා සිය බලය පෙන්වා තමාට අවනත කර ගැනීමයි. ජනහිතකාමී දේශපාලනඥයා ට අවශ්‍යව තිබුනේ ප්‍රසන්න සෝලංගආරච්චි මහතා නගරාධිපති කිරීමටය. තරුණ මන්ත්‍රීවරයාට අවශ්‍ය ව තිබුනේ ධම්මිකගේ ඥාතියා නගරාධිපති කිරීමටය.මේ සම්බන්ධයෙන් දෙදෙනා අතර සටන දලුලා වැඩෙමින් තිබිණි. මේ අතරවාරයේ ධම්මික වැඩ පටන්ගත්තේය.ඒ විරුද්ධ පාක්ෂිකයින්ට හිරිහැර කිරීම,පක්ෂ කාර්යාල කුඩුපට්ටම් කිරීම ආදියය.එකම පක්ෂයේ වුවද ප්‍රසන්න මහතාගේ ඡන්ද ව්‍යාපාරයට ද ධම්මික බාධා කලේ සිය පුංචි අම්මාගේ පුත්‍රයාගේ ජයග්‍රහණය පතාය. නගර සභා මැතිවරණයට දින කිහිපයකට පෙර, අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් වසා දමා තිබූ රාත්‍රි සමාජ ශාලාවකට බලෙන් ඇතුළු වීමට ධම්මික සහ ගෝලයෝ උත්සාහ කලහ.ඊට ඉඩ නොලැබුණු කල වෙඩි වරුසාවක් සමාජ ශාලාවට මුදාහල ධම්මික ඇතුලු පිරිස කෙලින්ම ඉගිලී ගියේ සෝලංගආරච්චි මහතාගේ නිවස දෙසටය.නිවස ආසන්නයේ අහසට වෙඩි පිට වෙඩි තැබූ පිරිස මුලු කොලොන්නාවම බියෙන් සලිත කෙරීය.
                                                    පළාත් පාලන මැතිවරණය ට පෙර දින(ඔක්තෝබර් 7) තරුණ මන්ත්‍රීවරයාගේ අධාරකරුවෙක් ඝාතනය විය.යතුරුපැදියකින් පන්නාගෙන ආ සන්නද්ධ පුද්ගලයින් දෙදෙනෙක් ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි ආධාර කරුට වෙඩි තබා පලා ගොස් තිබුණි.මේ ඝාතනය සම්බන්ධයෙන් සැකය එල්ලවුනේ ජනහිතකාමී දේශපාලනඥයාගේ පාර්ශ්වයටය.සිද්ධිය සම්බන්ධයෙන් තරුණ මන්ත්‍රීවරයා හා ධම්මික දැඩි ලෙස උරණ වී සිටියහ.පසුදා උදාවෙමින් තිබුනේ මේ සියලු ගැටුම් වල අවාසනාවන්ත පුපුරා යෑම බව කිසිවෙක් දැන නොසිටින්නට ඇති. කරාටේ ධම්මික මැදිහත්වන ආසන්නතම ආන්දෝලනාත්මක සිද්ධිය 2011 ඔක්තෝබර් 08 භාරත ලක්ෂ්මන් ඝාතන සිද්ධියයි.සිද්ධියෙදී භාරත ලක්ෂ්මන් මහතා  සදහටම දිවියෙන් සමුගත් අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.දුමින්ද සිල්වා මහතා මරණාසන්න තුවාල ලබා ජීවිතාන්තය දක්වා සිර දඩුවමකට ලක්විය.සර්පයින්ට කිරි පොවා ඇති දැඩි කල විට උන් අවසානයේ තමන්ටම දෂ්ඨ කිරීම..අවි ගත්තෝ අවියෙන්ම විනාශයට පත්වීම ආදී සදාතනික ධර්මයන් ලොවට මොනවට පසක් කල, ශ්‍රී ලාංකීය මැතිවරණ සිතියම කලු පැල්ලම් ගොඩකින් හැඩිකල සිද්ධියක් ලෙස භාරත ලක්ෂ්මන් ඝාතන සිද්ධිය ගත හැකිය.එහිදී ධම්මිකගේ මැදිහත්වීම මෙලෙසය.භාරත ඝාතන නඩුවේදී වැරදිකරුවෙක් වී හිරබත් කන දෙමටගොඩ චමින්ද ධම්මිකගේ ගෝලයෙකි.වාහන රථ පෙළක් සමග සිද්ධියට අදාළ එක් පාර්වශයක ප්‍රබලයා සොයා ඇවිදින් ඔහුත් සමග මැතිවරණ දවසේ විවිධ අකටයුතුකම් කරන්නට සහසම්බන්ධ වන්නේ ඔහුය.ප්‍රබලයාට ලැබුණු නීත්‍යානුකූල පිස්තෝලය අතෙහි දරාගෙන භාරත ලක්ෂ්මන් මහතාට වෙඩි පිට වෙඩි තැබූ ගලබඩයා හෙවත් තත්පරකට්ටාගේ පාතාල පියා ද ධම්මිකය.නිල නොලත් ආරංචි මාර්ග පවසන පරිදි ධම්මික ද ජිප් රථයක රැදෙමින් අදාළ උපදෙස් අපරාධය සදහා ලබාදී ඇත.

                                                                   
                                                               මේ සිදුවීමෙන් අනතුරුව සිය නායකයා සිරගත වීමෙන් ධම්මික ද පත්වන්නේ ඉතාම අසීරු තත්වයකටය..ආරක්ෂක අංශ තමන් පසුපස ද පන්නන බව ධම්මිකට ඉරහඳ මෙන් විශ්වාසය. සිය ආරක්ෂාවට ධම්මික තෝරා ගත්තේ රඹුක්කන, වල්පොල නිවසයි.නමුත් එහි රැදී සිටින්නට ධම්මිකට සිදුවන්නෙ දින කිහිපයකි.2011 ඔක්තෝබර් 22 වනදා අලුයම 6ට පමණ රඹුක්කන නිවස අසල නැවත්තුවේ සුදු පැහැති වෑන් රථයකි.ඉන් බැසගත් ටී 56 තුවක්කු අතින් ගත් සන්නද්ධ පුද්ගලයින් 12ක් ධම්මික කුදලාගෙන ඉගිල ගියහ.මේ අතර ධම්මිකගේ බිරිය වැලිකඩ පොලීසියට පැමිණිලි කර ඇත්තේ සිය සැමියා අතුරුදහන් වී ඇති බව, ඔහුගේ මිතුරෙක් දැනුම් දුන් බවයි.සුමිත් කුමාර නැමැත්තෙක් කිසියම් පිරිසක් පැහැරගත් බව ඇය රඹුක්කන පොලීසියට ද පැමිණිලි කර තිබුණි.ඒ වනවිට ධම්මික සිය උපන් නාමය ද වෙනස් කරගෙන තිබුනේ සුමිත් කුමාර ලෙසයි.තවත් මාධ්‍ය වාර්තාවකින් කියවුනේ මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී කොල්ලුපිටිය ප්‍රදේශයේදී ධම්මික පැහැරගත් බවයි.තවත් වාර්තාවකින් කියවුනේ අරුම පුදුම කතාවකි.රටේ ඉහළම නායකයින් කිහිපදෙනෙක් මැදිහත් වී ධම්මිකගේ සිරුර වෙනුවට වෙනත් සිරුරක් පුලුස්සා ඔහු මියගිය බව රටට පවසා ධම්මික විදේශ ගත කල බවයි .
                                                        මව්බිම පුවත්පත 2017 - 10 - 29 වනදා ගෙන එන වාර්තාවකින් ධම්මිකගේ අවසානය පිළිබඳ කියන්නෙ තවත් කතාවකි. ඒ අනුව ඉහත දැක්වූ පරිදි ඔක්තෝබර් 22 වනදා ධම්මික පැහැරගෙන ගොස් ඇත්තේ සංවිධානාත්මක අපරාධ ඒකකය(UOC) මගිනි.එසේ අත්අඩංගුවට පත් ධම්මික රහසිගතවම රැගෙන එන්නේ කොළඹ 05,හැව්ලොක් ටවුමේ ස්ථානයක් වෙතය."විලාසිතා නිවස" නම් ගොඩනැගිල්ලේ ඉහළ මාලයේ අදාළ ස්ථානය පිහිටියේ යැයි කියති.එවකට UOC එක පවත්වාගෙන ගොස් ඇත්තේ ඉහත ස්ථානයේය.මෙසේ අත්අඩංගුවට පත්වන විට ධම්මික ගෙවෙමින් සිටියේ රහසිගත ජීවිතයකි.ඒ භාරත ලක්ෂ්මන් ඝාතනයේදී ධම්මික ද මෝටර් රථයක සිටි බව පොලීසියට ඉව වැටී තිබුණු හෙයිනි.කරාටේ ධම්මික අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් 2011-10-24 පුවත්පත් වාර්තා කර තිබුනේ භාරත ඝාතනයේ සැකකරුවෙකු කරාටේ ධම්මික ඝාතනය කිරීමට සැලසුම් කර තිබෙන බැවින් ධම්මිකගේ ආරක්ෂාව වෙනුවෙන් ඔහු අත්අඩංගුවට ගත් බවයි.ඇතැම් තැනක කියවුනේ එම ඝාතනය සැලසුම් කර ඇත්තේ භාරතගේ හිතවතුන් පිරිසක් බවයි.කුමක් ඇත්ත වුවද ධම්මික අත්අඩංගුවට ගැනීම ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් කරන ලද්දක්ය යන්න සමාජගත කිරීමට ගෙන තිබූ උත්සහය ගැටලුවකි. ධම්මික අත්අඩංගුවට පත්වන්නේ 22වන දා සෙනෙසුරාදා දිනයක් වූ නිසා මාධ්‍ය වාර්තා පලවන්නෙ 24වන සදුදාය.නාදුනන පිරිසක් විසින් අත්අඩංගුවට ගත්තේ යැයි ප්‍රචාරය කලේ එය රහසක් ලෙස තබාගැනීමට විය හැකිය.අනියම් බිරිඳ සමග සිටියදී ඔහු අත්අඩංගුවට පත්වුනා යැයිද කියති.
                                                               කරාටේ ධම්මික අත්අඩංගුවට ගැනීම සදහා කෑගල්ලේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරිනියෙක්ද සහභාගි වී ඇති අතර UOC එක ධම්මිකව අත්අඩංගුවට ගැනීම රහසක් ලෙස තබාගන්නා ලෙසද පොලිස් නිලධාරියාගෙන් ඉල්ලා ඇත.කාලයක් තිස්සේ සංවිධානාත්මක අපරාධ ඒකකය ධම්මිකව අත්අඩංගුවට ගත් උත්සහය ව්‍යර්ථ වුනේ ඔහු හා තරුණ මන්ත්‍රීවරයා අතර ඇති සම්බන්ධය හේතුවෙන් බව නොරහසකි. කඩුවෙල, කෙටේ සුදු මහත්තයා ධම්මිකගේ බිරිඳගේ සොහොයුරාය.ධම්මික අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔහු ඒ පිළිබඳ සාකච්ඡා කරන්නට රටේ ඉහළම පරිපාලනය නිළධාරියෙක් හමුවන්නේ 22 වනදා ම සවසය.එකල පාතාලය මර්දනය කිරීමේ වේවැල අතට අරන් තිබුනේ මේ පරිපාලන නිළධාරියාය.සුදු මහත්තයා හා නිළධාරියා අතර පැවති පාසල් මිත්‍රත්වය නිසා මෙවැනි සාකච්චාවකට අවස්ථාව හිමිවිය.ධම්මික විසින් සිදුකොට ඇති බොහෝ අපරාධ , දේශපාලනඥයින්ගේ වුවමනා හා ඕනැකම් පිරිමසාගැනීමට සිදුකොට ඇති බව පැහැදිලි කළ සුදු මහත්තයා ඒවා හෙලිවුවහොත් ඇතිවිය හැකි භයානක තත්වය ද නිළධාරියාට පැහැදිලි කොට ඇත.ඊට පෙර ද අවස්ථා කිහිපයකදී ධම්මික පිළිබඳ සාකච්ඡා කරන්නට සුදු මහත්තයා නිළධාරියාව හමුවී ඇත.සාකච්ඡාවෙන් අනතුරුව ධම්මිකව අරක්ෂක නිළධාරීන් පිරිසක් සමග ඕස්ට්‍රේලියාවට පිටත් කල හැරි බව ද කියවේ.කෙසේ නමුත් ධම්මිකගේ අවසන් ඉරණම තීරණය කිරීමේ සර්ව බලධාරියා වූයේ ඉහළ පරිපාලන නිළධාරියාය. මෙලෙසින් බලන කළ ධම්මිකගේ අවසානය අවිනිශ්චිතය.ඇතැම් විට වෙනත් පාතාල කණ්ඩායමක් විසින් ධම්මික ට මරණයේ දොරටු විවෘත කර දුන්නා විය හැකිය.නැත්නම් ආරක්ෂක අංශ ම මැදිහත් වී මේ පිළිලය හොර රහසේම සමාජයෙන් ඉවත් කළාද විය හැකිය.අපේ අවසානවට තවමත් දේශපාලනඥයින්ගේ පිහිටෙන් මේ ඝාතකයා කොහේ හෝ සුවසේ වෙසෙමින් සිය ඊලඟ ගොදුර සැලසුම් කරනවාද විය හැකිය.


                                                                                                                           - පුෂ්ප තරංග -

Comments

Post a Comment

Popular posts from this blog

සිංහල සිනමා වංශය

සමාජ යථාර්ථවාදය සහ සිනමාව .

කසුකුසුව 01 - රත්න ශ්‍රී විජේසිංහ සමඟ