"තාත්තෙක් කියන්නේ කවුද?"
"89 කාලේදි තාත්තා අතුරුදන් වුණා.ඒ වෙද්දි මට අවුරුද්දක් විතර ඇති"
-මිතුරෙක්-
"තාත්තෙක් කියන්නේ කවුද?"
මහමෙරක් වුව තනි අතට ගන්න
කඳුළු වුව දහඩියෙන් පිට කරන
කට ඇරිය ද අකුරක් පවා නැහෙන
ඉදහිට හීනයක රඟපාන නළුවෙක් ද?
"තාත්තෙක් කියන්නේ කවුද?"
ඇහිපියන් අත ගා මගේ හිත සැතපුව
අතට ගත් කල නලවන්න නොදන්න
රැවුලෙන් කෙඳිතෙන් ඇන හාඳුවක් දුන්න
පින්තුරේ විදිහට හිනාවුණ කෙනෙක් ද?
"තාත්තෙක් කියන්නේ කවුද?"
ඕන්නැති පොත් මහ රෑ වෙලා කියෙව්ව
කුප්පි එළියෙන් ආතාගේ කකුල් අතගැව
දොරට තඩි බාද්දි සිංහ ගෙරවිලි නැගෙව්ව
සරමක උණුහුම තියලා ගිය යකෙක් ද?
"තාත්තෙක් කියන්නේ කවුද?"
ලේ කිරි නොවෙද්දි නාහයෙන් නැඬුව
රිදෙන බව දැනි ඇඟිලි පොඩි අතැරිය
නොඑන්නට යද්දි "ආදරේ" කොඳුරන්න බැරිවුණ
තාම පොළොව යට අඬන මිනිහෙක් ද?
අයු
Comments
Post a Comment