කසුකුසුව - චරිත් අතලගේ සමඟ



                         

ලංකාවේ රසිකයෝ , නිර්මාණකරුවයි ගායකයාවයි පටලගෙන ඉන්නේ


චරිත් අතලගේ කියන්නේ අද වෙද්දී ලාංකීය සංගීත ක්ෂේත්‍රය තුළ නිතර ම පාහේ කතාබහට ලක්වෙන තරුණ සංගීතවේදියෙක්.  තමන්ගේ ප්‍රතිපත්ති පවා නොදී, ස්වකීය හැකියාවට නිසි වටිනාකම නිතර ම දෙමින්,  මේ ක්ෂේත්‍රය තුළ ඔහු යන්නේ තමන්ට ම ආවේණික වු ගමනක්. ඔහුගේ 'කුවේණියේ' ගීතය නැසු තරුණයෙක් හෝ තරුණියක් මේ වෙද්දී  සොයා ගන්නට බැරි තරම්. අද  ' කසුකුසුව ' වෙන්වන්නේ  රසිකයාට නැවුම් සංගීතමය අත්දැකිමක් නිතර ම ලබාදෙන්න උත්සාහ කරන සුවිශේෂී නිර්මාණකරුවා වෙනුවෙනුයි.

1. ඔබ සංගීතය තුළින් සොයා යන්නේ කුමක් ද ?

මම හිතේ මවා ගත්ත සතුටු ම සහ දුක ම තැන් හොයාගෙන යනවා.ඒ මවා ගන්න ෆැන්ටසි අතිශය පෞද්ගලිකයි.

2. නුතන නිර්මාණකරුවන්ට තමන්ගේ නිර්මාණ වෙනුවෙන් වගකියන්න පුළුවන් කියලා ඔබ හිතනවද ?

ලංකාවේ රසිකයෝ , නිර්මාණකරුවාවයි ගායකයයි පටලගෙන ඉන්නවා කියලයි මට හිතෙන්නේ. සංගීතමය නිර්මාණකරුවා කියන්නේ ගී තනු , ගී පද මවන මායාකාරයාට. ගීතයට අදාල සියලු ම වගකීම් නිර්මාණකරුවා බාරගත යුතුයි. මොකද ගීතයක සියලු ම බුද්ධිමය දේපලහි උරුමක්කරයා වෙන්නේ   නිර්මාණකරුවායි. ගායකයෝත් ඕක පටලගෙනයි තියෙන්නේ. තවත් උදාහරණයක් හැටියට මේ දවස්වල රට ලස්සන කරන්න කියලා බිත්තිවල ඇඳපු චිත්‍ර අතරින් මතු වුණේ ලංකාවේ කලා ක්ෂේත්‍රයේ  තියෙන අවලස්සන ම තැන්. එතනදී මිනිස්සු  නිර්මාණකරුවා කවුද වාහකයා කවුද කියන එක පටල ගත්තා. අවුරුදු ගානක් පර්යේෂණ කරලා ඇඳපු චිත්‍රවල බුද්ධිමය අයිතිය තුට්ටු දෙකට වැටෙනවා මං දැක්කා.
මේ කලා ක්ෂේත්‍රයේ අසාධාරණකම්වලට ලක් වෙලා පීඩාවට පත්වෙච්ච කලාකරුවන් රට හැරදා ගිය අවස්ථාත් තියෙනවා .
මේ යන තත්ත්වය යටතේ රටේ ඉන්න නිර්මාණකරුවන්ට බොහෝ ආසාවන් අතෑරලා ජීවත් වෙන්න තමයි සිද්ධ වෙලා තියෙන්නේ. මෙහෙම අතඅරින්න ගියොත් නිර්මාණකරුවන්ට ජීවත් වෙන්න සිද්ධ වෙන්නේ හරියට මහණ වෙලා වගේයි.

3-ට්‍රේන්ඩින් වෙන්න නිර්මාණ කරද්දී සදාචාරය කියන සාධකය කලාකරුවා අමතක කළ යුතු ද ?

ට්‍රේන්ඩින් කියන්නේ ඇමරිකන්කාරයාගේ Social Media සංකල්පය. එක මොහොතකට පැත්තකින් තියන්න. කලාවට මොකටද සදාචාරයක් ? ඇයි සදාචාරයක් ගාවගෙන අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සීමා කරන්නේ? සදාචාරය ඕනේ  ශිෂ්ට සම්පන්න සමාජයකට. කලාකරුවගේ සිතුවිලි ශිෂ්ට සම්පන්න විය යුතුයි කියන රාමුවක් තුළ ගොඩනැගෙන සිතුවිලි ම නෙමෙයි. ලෝකයේ ඉහල ම ගනයේ කලාකෘති සදාචාරයේ සීමා මායිම් බිඳ දැමූ ඒවයි. Quentin Tarantinoගේ films මේකට හොඳ ම උදාහරණයක්. මං ට්‍රේන්ඩින් කතාවට ආපහු එන්නම්.මට නම් ට්‍රේන්ඩින් නම්බර් වන් කියන්නේ ගෙදරට නත්තල් සීයා ආවා වගේ දෙයක්. ඒක හරි ලස්සන බොරුවක්. බොරුවට වෙස්වලා ගත් මනුස්සයෙක් නත්තල් සීයා කියලා ඇවිල්ලා තෑග්ගක් දීලා යනවා. ඇත්තට තෑග්ගක් හම්බ වුණත් ඒ සංකල්පය මුලාවක්. 
කුවේණි trending number one ආව කාලේ මමවත්, රිද්මවත්, චන්ද්‍රසේන මාමාවත් ඒකට රැවටුනේ නෑ. මිනිසුන් ගොඩ දෙනෙක් ඒ ගීතය රසවිඳින එක ගැන නම් නිහතමානීව මම සන්තෝස වෙනවා.


4-අද බොහෝ තරුණ ගායක/ගායිකාවන් ඉදිරියට එන්න  පැරණි නිර්මාණකරුවන්ගේ නිර්මාණ ඉනිමඟක් කරගන්නවා. විද්‍යත් මාධ්‍යවලින් නිරන්තරයෙන් ම ඒ පැරණි ගීත අපිට ඇහෙනවා. නමුත් කවුරුවත් ඒ මුල් නිර්මාණකරුවන්ට ලැබුය යුතු කර්තෘ  භාගය ගැන කතා කරන්නේ නැත්තේ ඇයි ?

ඉස්සර කාලේ ගායකයෝයි, අද කාලේ ගායකයෝයි අතර මං දකින ලොකු වෙනසක් තියෙනවා. ඉස්සර කාලේ සමහර ගායකයන් ගායකයාගේ සීමාවෙන් එළියට අඩියක් තියලා නිර්මාණකරනයේ නියැලුණා. උදාහරණයක් විදිහට අමරදේව මාස්ටර්,වික්ටර් රත්නායක වැනි දැවැන්ත නිර්මාණකරුවන් ගී තනු, ගී පද නිර්මාණය  කරලා ඒ ගී තමන් විසින් ම ගායනා කරපු අවස්ථා බොහෝමයි.අද කාලේ බොහෝ ගායකයෝ හුදෙක් ගීතයකට හඬ පොවන අය විතරයි. ඉතින් එයලා මොකටද තමන් නිර්මාණය කරපු නැති ගීතයක කර්තෘ  භාගය ගැන වද වෙන්නේ?
වාසනාවකට වගේ මාත් සමඟ වැඩ කරන ගායකයන් මේ ප්‍රශ්නය හරිහැටි අවබෝධ කරගෙන තියෙනවා.මට ලැබෙන්න තියෙන කර්තෘ භාග ගැන ඒ අය ඕන වේලාවක කතා කරයි.

5- කෙනෙක් ඔබ සංගීත නිර්මාණය වෙනුවෙන් යොදාගන්නා තාක්ෂණික ප්‍රයෝගයන් නිසා පද රචනයට හා හඬට හානියක් වෙනවා යැයි චෝදනා කළොත් ඔබ එය භාරගන්නවාද ?

ඒ හානිය , මං එකෙන් අදහස් කරන්නේ නොගැලපිම තුළ ගොඩක් වේලාවට මට අමුතු ලස්සනක් ඇහෙනවා.

6- අපි දකිනවා නිතර ම කලාව සහ මත්ද්‍රව්‍ය යන දේවල් එකිනෙක සම්බන්ධ කරමින් විවිධ  මතයන් පුද්ගලයන් සමාජගත කරන ආකාරය. ඒ පිළිබඳව ඔබේ අදහස කුමක් ද ?

එදිනෙදා සමාජයේ මත්ද්‍රව්‍ය කියන්නේ ඇහැට සුලබ දෙයක්. මිනිසුන් මතට ප්‍රියයි. මම දකින හැටියට මත්වීම තුළින් මිනිස්සු තාවකාලිකව හෝ තම තමන්ගේ අවුල් ජීවිතවලින් එළියට අඩියක් තියන්න අවස්ථාවක් හොයා ගන්නවා.
ඉතින් ඇයි මේ මාතෘකාවේදී විතරක් කලාකරුවන්ව කොන් කරන්නේ ? කලාකරුවන් නොවන, කලාව නොකරන කී දෙනෙක් මත් වෙනව ද ? ඒ මතට ඇබ්බැහි වෙනව ද?
මනුස්සයෙක් මත්විමේ හරි විදිහ මොකක් ද ? එකේ සීමාව මොකක් ද ? තරු පහේ හෝටලේක මිල අධික වයින් බෝතලයක් බීල ද? හන්දියේ බාර් එකෙන් ගල් බෝතල් පාරක් ගහල ද ? නැත්නම් පාටියකට ගිහින් කොකේන් ගහල ද?

7- තරුණ සංගීතවේදින් නිර්මාණ කීරිමෙන් බලාපොරොත්තු වෙන්නේ තම පෞද්ගලික අභිවෘද්ධිය පමණක් ද ? ඔවුන්ට මේ සමාජය සහ මව්බිම වැඩක් නැද්ද ?

අනෙක් සංගීතවේදීන්ගේ මතය නියෝජනය කරන එක කෙසේ වෙතත් , කලාකරුවෙක් හැටියට පෞද්ගලිකව මට ඉහත සඳහන් කිසිවක් අදාල වෙන්නේ නෑ. මොකද ඔය ඉහත කියන කිසිම දේකට වඩා මගේ මනසේ මැවෙන ගී තනු හෝ ගී රචනාවට මගේ හිත ඇතුළෙ නිහතමානී ගෞරවයක් හිමි වෙනවා.ඒ නිර්මාණාත්මක සිතුවිලි තුළ  සමාජවාදී, ජාතිවාදී හෝ දේශමාමක සංකල්ප පරයා යන දිව්‍යමය රසයක් මම භුක්ති විඳිනවා.

8- වර්තමාන තරුණ සංගීතවේදින්ට තමන්ට ම ආවේණික වු හැඩයන් හඳුනාගැනීම නොහැකි විම කෙරෙහි බලපා ඇති සාධකය කුමක්ද ?

නිර්මාණකරුවන් පරාජය පිළිගැනීමට ඇති නොහැකියාව. තමන්ගේ නිර්මාණය රසිකයන් අතින් ප්‍රතික්ෂේප වෙයි කියලා තියෙන බය එයාලාට තියෙනවා. ඒ නිසා තම අනන්‍යතාවය හංගගෙන නිර්මාණකරණයේ යෙදෙන තරුණ නිර්මාණකරුවන් බොහෝමයි. නිර්මාණකරනයේදී පරාජය කියන සාධකය වලක්ව ගන්න බෑ. මොකද ලංකාව වගේ රටක නිර්මාණකරුවෙක් වීම ම එක්තරා අතකට පරාජයක්.

9- චරිත අතලගේ 2020දී රසිකයාට තිළිණ කරන්නට බලාපොරොත්තු වෙන්නේ මොනවාද ?

2020 ජනවාරිවල "කුවේණි - සිනමාත්මක සංගීතමය අත්දැකීම" වෙනස් මුහුණුවරකින් ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ වගේ ම මෙම ප්‍රසංග මාලාව තාක්ෂණික වශයෙන් පරිණාමය කිරීමට උපරිම උත්සාහයක් දරනවා.
මේ අවුරුද්දේදී ලංකාවේ පළවෙනි 3D Audio හා 3D Visuals එක්ව ඉදිරිපත් කෙරෙන "කුවේණි - A 3D Cinematic Musical Experience by Charitha Attalage " කියන තැනට යන්න බලාපොරොත්තුවක් තියෙනවා.

- අයන්ත යුනේෂ් ප්‍රනාන්දු -

Comments

Post a Comment

Popular posts from this blog

සිංහල සිනමා වංශය

සමාජ යථාර්ථවාදය සහ සිනමාව .

කසුකුසුව 01 - රත්න ශ්‍රී විජේසිංහ සමඟ