ඇමති පුතාට....

ඇමති පුතාට....
උඹේ ඩිපෙන්ඩරේකට මොකටද හූ කිව්වා කියලා
හන්දියෙදි සයිමගෙ කොල්ලට උඹලගෙ රංචුවෙ එකෙක් වෙඩි තිබ්බා කියලා ආරංචි වෙනකොට මට කට කොනකින් හිනා ගියා මගෙ පුතේ
ඒ වෙන මොනවත් නිසා නෙවෙයි පොඩිකාලෙ ගොරවන සද්දෙටත් මගෙ රෙද්ද අස්සෙ උඹ හැංගිච්චි හැටි මට මතක් වුනා රත්තරන් පුතේ.....
කෝටි ගානක් යටිමඩි ගහගත්තු එකකට
උඹට ලොකු නඩුවක් කියලා හංදියෙ කඩේ ලගදි පත්තරෙන් දැක්කා මගෙ පුතේ
හිච්චි එකා කාලේ උඹ සීනි බෝතලෙන් සීනි අහුරක් හොරකම් කරද්දි
උඹ ට හිල්වෙන්න ටොක්කක් ඇන්නෙ නැති එක ගැන මන් දුක් වුනා රත්තරන් පුතේ..
ඒකි උඹේ ආර්යාව කියලා අර කොළඹ පැත්තෙ රට උඩැක්කි තැන තැන කියවනවලු නේද මගෙ පුතේ
අර ඉස්තෝප්පුවෙ තියලා තියන උඹ ඉස්කෝලෙ ඇදුමෙන් හරි උජාරුවට ඉන්න පින්තූරෙ දැක්කහම තාමත් පිසෝහාමියගෙ කෙල්ලගෙ ඇස් වලට කදුලු එනවා මන් ඊයෙ හවසත් දැක්කා රත්තරන් පුතේ..
උඹ කිරිවෙහෙර වදින්න යද්දි උඹ ට පූජා කරන්න නානාවිධ මෝස්තරවල මල් වට්ටි උඹේ අතට දෙන්න මිනිස්සු පොරකනවා මම දැක්කා රූප පෙට්ටියෙ මගෙ පුතේ...
ඒත් උඹේ අප්පච්චි තාමත් උදේට උදේට මල් කපන්න ගස් බඩගානවා කියලා මතක තියාගනින් රත්තරන් පුතේ..
- පුෂ්ප තරංග -
Comments
Post a Comment