නවීන කලා මාධ්‍යන් තුල නිර්මාණාත්මක රූපණය හා කථනය භාවිතය


                     නවීන කලා මාධ්‍යන් තුල නිර්මාණාත්මක රූපණය හා කථනය භාවිතය .

                                                                    Image result for media images
                                                                     අද වන විට තාක්ෂණයේ දියුණුවත් සමඟ සියළුම දේ තාක්ෂණික කරණයට ලක්වූ සමාජය තුල කලාවද තාක්ෂණිකකරණයට ලක්ව තිබේ . ඒ අනුව නව කලා අංඟ තාක්ෂණය සමඟ කලා ලොවට එකව ඇති අතර ගුවන් විදුලිය , කැමරාව , රූපවාහිනිය , පරිඝණකය සමාජගත වීමත් සමඟ මෙම නව කලා අංග වල පරිණාමය සිදුවිය . එම නිසා මෙම සාකච්ඡාව තුල නවීන නිර්මාණාත්මක කලා අංගයන් තුල නිර්මාණශීලී කථනය හා රූපනය ක්‍රියාත්මක වන ආකාරය ගැන අවධානය යොමුකිරීම වැදගත් වේ . නවීන නිර්මාණාත්මක ක්‍රමවේදයන් යටතේ  ප්‍රධාන වශයෙන්ම හදුනාගත හැකි නවීන නිර්මාණාත්මක කලාවන් මෙසේ හදුනා ගනිමු .

  •      සිනමාව
  •   රූපවාහිනී ටෙලිනාට්‍ය හා රූපවාහිනී වැඩසටහන්
  •    කාටුන්
  •     ගුවන්විදුලි නාට්‍ය හා ගුවන්විදුලි වැඩසටහන්  
  •  ඡායාරූප
                                                                        ආදී වශයෙන් ප්‍රධාන වශයෙන්ම පවතින නවීන කලා අංගයන් හදුනාගත හැකිය . මේවා මඟින් යම් ප්‍රකාශණයක් ජනගත කිරීම සඳහා නිර්මාණාත්මක රූපනය හා කථනය යොදාගන්නා ආකාරය ගැන විමසා බැලීම වැදගත් වේ .
                                                                        නවීන කලා අංගයන් අතර පවතින වැදගත්ම කලා අංගයන් ලෙස සිනමාව හා රූපවාහිනී ටෙලිනාට්‍ය හදුන්වා දීමට හැකිය . සිනමාව හා රූපවාහිනී ටෙලිනාට්‍ය ශ්‍රව්‍ය හා දෘෂ්‍ය යන අංගයන් දෙකම භාවිතා වන කලා මාධ්‍යන් බව පෙන්වා දිය යුතුය . එමෙන්ම විද්‍යුත් උපකරණ භාවිතය තුලින් නිර්මාණය වීම නිසා විද්‍යුත් සන්නිවේදන මාධ්‍යක් ලෙස ද පෙන්වාදිය හැකිය . විචාරකයින් පවසන්නේ ශ්‍රව්‍ය හා දෘෂ්‍ය යන අංඟයන් දෙකම එකට කැටි වූ සිනමාව හා ටෙලිනාට්‍ය සන්නිවේදන ගුණයෙන් ඉහල හා ග්‍රාහකයාට ප්‍රභල බලපෑමක් සිදුකල හැකි මාධ්‍යන් ලෙසයි . ඒ බව වී . අයි ලෙනින් ප්‍රකාශ කරන ලද පහත ප්‍රකාශයෙන් පැහැදිලි වේ .

           “ නූගත් ජනතාව හා විෂම සමාජ ක්‍රමය ප්‍රතිසංවිධානය කිරීම පිණිස අපට ඉතාම වැඳගත් වූ එකම කලා මාධ්‍ය සියලුම කලාවන් ඒකාබද්ධ වූ සිනමාවයි . ”
                                                                                                                           - වී . අයි ලෙනින් -
                 Related image

                                                        සිනමාව මඟින් මහජනතාවට කරන බලපෑම ප්‍රභල බව ඉන් කියැවෙන අතර ටෙලිනාට්‍ය මඟින් කරන බලපෑම ද මේ හා සමානවේ . මේ නිසා සිනමාව හා රූපවාහිනී ටෙලිනාට්‍ය තුල නිර්මාණාත්මක රූපනය හා කථනය භාවිතාවන අන්දම ගැන විමසා බැලීම වැදගත් වේ . නරබන්නාට විනෝදයක් ගෙන ඒමට අමතරව අන් සාහිත්‍ය අංගයන් තුල සිදුකරන අන්දමටම සමාජගත විවිධ කරුණු , ගැටළු ආදිය ප්‍රේක්ෂකාගාරය හමුවට ගෙන ඒම සිදුකරනු ලබයි . එය සිදුකරනු ලබන්නේ මේ තුල භාවිතා වන රූපනය හා කථනය වඩා නිර්මාණාත්මක අන්දමින් ගෙන ඒම තුලිනි . සිනමාව තුල යම්කිසි ප්‍රකාශණයක් නිර්මාණාත්මකව ප්‍රේක්ෂකාගාරයට ඉදිරිපත් කිරීමට ක්‍රම ශිල්ප ගණනාවක්ම සිනමා ශිල්පය තුල භාවිතා වේ . ඒවා හදුනා ගැනීම සහ ඒවා තුලින් යම් ප්‍රකාශණයක් නිර්මාණශීලී අන්දමින් ඒ තුල ගොඩ නගන්නේ කෙසේද යන්න හදුනා ගත යුතුය . මෙම ක්‍රම වේදයන් සිනමාවට පමණක් නොව රූපවාහිනියට ද පොදුවේ 


  •   Camera Shots
  •     වස්තූන් ස්ථානගත කිරීම
  •   විවිධ කැමරා කෝණ
  •  රංඟනයට ගන්නා ඇදුම් පැලදුම්
  •   රංඟ භාණ්ඩ
  •   වර්ණ භාවිතය
  •  සංඥාර්ථ භාවිතය
  •   පසුතල නිර්මාණය
                                                                                 මෙම ඉහත දක්වන ලද ක්‍රමවේදයන් අධ්‍යක්ෂක වරයා තම දෘෂ්ඨිකෝණයට ගැලපෙන අන්දමින් යොදා ගැනීමෙන් තම ප්‍රකාශණය නිර්මාණාත්මකව ප්‍රේක්ෂකයාට ගෙන ඒමට හැකිවේ . මෙහිදී Camera Shots යනුවෙන් හදුන්වනු ලබනේ චිත්‍රපටය රූගත කරන අවස්ථාවේ දී විවිධ අවස්ථාවන් කැමරාව මඟින් ග්‍රහණය කරනු ලබන ආකාරයයි . විවිධ ප්‍රකාශණයන් රූගත කිරීම සඳහා භාවිතාකරනු ලබන Camera Shots වර්ග කිහිපයක් පවතී .


  •      අති දුර රූප ( The Extreme Long Shot )
  •      දුර රූප ( Long Shot )
  •      අති සමීප රූප ( The Extreme Close up )
  •    සමීප රූප ( The Close up )
  •    මධ්‍යම රූප ( The Medium Shot )
  •        The Over the Shoulder Shot
Image result for sahodaraya image
                                                                                             මේවා මඟින් රූපනය කරනු ලබන ප්‍රකාශනයන් එකිනෙකට වෙනස් වේ . සිනමාව තුල බොහෝවිට අති දුර රූපයක් ( The Extreme Long Shot ) භාවිතයෙන් බොහෝවිට රූපනය කරනු ලබන්නේ ස්වාභාවික පරිසර පද්ධතියක් වන අතර සමීප රූපයක් මඟින් ( The Close up ) පුද්ගලයෙකුගේ මුහුණ හා එම අවස්තාවට අනුව මුහුණේ පවතින භාවයන් යම් ප්‍රමාණයකට නිරූපණය වීමක් සිදුවේ . අති සමීප රූප ( The Extreme Close up ) මඟින් දුක , සතුට , කේන්තිය , විරහව , කළකිරීම ,පිළිකුල වැනි පුද්ගල මුහුණෙන් නිරූපනය වන අභ්‍යන්තර භාව ප්‍රකාශණයන් පිළිබද ඉතා පැහැදිලිව ප්‍රේක්ෂකයාට දැනෙන ආකාරයට තිරය ඉදිරියේ රූපනය කිරීමේ හැකියාවක් පවතී . The Over the Shoulder Shot බොහෝවිට සිනමාව හා ටෙලිනාට්‍ය තුල යොදා ගනු ලබන්නේ පුද්ගලයෙකු තවත් අයෙකු සමඟ මුහුණට මුහුණ බලා කතාබහක නිරතවන ආකාරය නිර්මාණාත්මක රූපනය ඔස්සේ ගොඩනැගීම සඳහාය . මේ අනුව Camera Shots සිනමාව තුල හා රූපවාහිනී ටෙලිනාට්‍යවල යම් යම් ප්‍රකාශණයන් නිර්මාණාත්මකව අවස්ථානුකූලව නිර්මාණශීලීව රූපනය කිරීමට භාවිතාකරනු ලබයි .
                                                                     එමෙන්ම අවස්ථාවට උචිත අයුරින් යම් ස්ථානයන් , පුද්ගලයන්ගේ ස්වරූප ප්‍රේක්ෂකයාට අදහසන් එන අයුරින් රූපනය කිරීම සඳහා එයට හැලපෙන පසුතල නිර්මාණය තුලින් ද නිර්මාණාත්මක රූපනය ගොඩනගනු ලබයි . එමෙන්ම සිනමාව තුල හා රූපවාහිනී ටෙලිනාට්‍ය තුල යම් ප්‍රකාශණයන් ගොඩනැගීම සඳහා භාවිතා කරනු ලබන කැමරා කෝණ මගින්ද පුද්ගල චරිත ස්වරූප නිර්මාණාත්මකව තිරය ඉදිරියේ රූපනය කරනු ලබයි . High Angle සහ Low Angle ලෙස මූලික කැමරා කෝණ දෙකක් පවතින අතර මෙහිදී රූපනය වන ප්‍රකාශනය ද එකිනෙකට වෙනස්වේ . විශේෂයෙන්ම සිනමා කලාව තුල High Angle කෝණයක් භාවිතාකරනු ලබන්නේ පුද්ගලයෙකුගේ දුගී දුප්පත් , අසරණ  භාවය නිරූපණය කිරීම සඳහා වන අතර Low Angle කෝණය භාවිතා කරනු ලබන්නේ පුද්ගලයෙකුගේ පෞර්ෂය වැඩි කර පෙන්වීම සඳහාය . සිනමා හා ටෙලිනාට්‍ය තුල නිරූපිත ඉතා අසරණ භාවයට පත්වූ චරිත නිරූපනය සඳහා අධ්‍යක්ෂකවරුන් යොදා ගනු ලබන්නේ High Angle කෝණයයි . හිගන්නන් , විවිධ ප්‍රශ්ණ නිසා අසරණ භාවයට පත්වූ පුද්ගලයන් නිර්මාණශීලීව ඔවුන්ගේ අසරණ භාවය රූපනය කිරීම සඳහා යොදාගනු ලබයි . Low Angle කෝණය භාවිතයෙන් ප්‍රභූ පුද්ගලයන් , ගෞරවනීය පුද්ගලයන් , වීරයන් වැනි චරිත ප්‍රේක්ෂකයා ඉදිරියේ රූපනය කිරීම සඳහා යොදාගනු ලබයි . එමෙන් රංගනය සඳහා භාවිත කරනු ලබන ඇදුම් පැලදුම් , රංඟභාණ්ඩ , වේශනිරූපණය ආදිය මඟින් ද විවිධ පුද්ගල චරිතයන්නේ ස්වරූපය නිර්මාණශීලීව ගොඩනගනු ලබයි .
                                                                     එමෙන්ම සිනමාව තුල හා ටෙලිනාට්‍ය තුල භාවිතා වන යමක් වක්‍රාකාරයෙන් සන්නිවේදනය කිරීම සඳහා භාවිතාවන අපූර්ව රූපන මෙන්ම කථන මාධ්‍යක් ලෙස සංඥාර්ථ භාවිතය හදුන්වා දිය හැකිය . මෙම සංඥාර්ථයන් දුක , සතුට , විවිධ කරදර නිරූපනය කිරීම සඳහා තිරය තුල භාවිතාවන අන්දම උදාහරණ කිහිපයක් මඟින් මෙසේ හදුනා ගනිමු .


  •       පහනක් නිවී යාම - මරණය , අසුභ ලකුණු
  •     වීදුරුවක් බිදීයාම - යම් අසුභ දෙයක් සිදුවීමේ පෙරනිමිති
  •       රතු වර්ණය - ගණිකාව නිරූපනය කිරීම
  •      වර්ෂාව - සශ්‍රීකත්වය
                                                                                 ආදී වශයෙන් සිනමා පට වල සහ රූපවාහිනී ටෙලිනාට්‍ය වල සංඥාර්ථ භාවිතා කිරීම අපට හදුනා ගැනීමට හැකිවේ . මෙය අධ්‍යක්ෂක වරුන් විසින් රූපනය සිනමාව සහ ටෙලිනාට්‍ය තුල අපූර්ව ආකාරයට නිර්මාණය කිරීමට පෙන්වාදිය හැකි හොඳම උදාහරණයකි . එමෙන්ම සිනමාව තුල හා ටෙලිනාට්‍ය තුල විවිධ වර්ණ මඟින් ද විවිධ රූපාර්ථයන් මවන ආකාරය අපට හදුනා ගැනීමට හැකිය .  


  •        රතු - රාගය , ආදරය
  •     කහ - ප්‍රීතිය , සතුට
  •       කොළ - ස්වාභාව දහම
  •        නිල් - අහස , ජලය , සීතල
  •        සුදු සහ කළු - මරණය , අයහපත
                                                                  වැනි දේ සිනමා තිරය තුල නිර්මාණාත්මකව රූපනය කිරීම සඳහා අධ්‍යක්ෂක වරුන් භාවිතා කරනු ලබයි . එමෙන්ම සමස්ථ නිර්මාණය තුලටම ගෙන එනු ලබන වර්ණ සංකලනය මඟින් ද වස්තුවිෂයට අදාල විශාල පරාසයක කතාවක් ප්‍රේක්ෂකයා ඉදියේ රූපනය කරනු ලබයි . ඒ අනුව නිර්මාණ කිහිපයක්තුලින් සමස්ථ නිර්මාණයටම ලබාදෙනු ලබන වර්ණ සත්කාරය ගැන උදාහරණ කිහිපයක් මඟින් විමසමු . 


  •    ඔබ නැතුව ඔබ එක්ක සිනමාපටය - නිල් වර්ණය භාවිතය
  •   දැවෙන විහඟුන් - අදුරු කහ වර්ණය
  •   කූඹියෝ , සහෝදරයා ටෙලිනාට්‍ය - අදුරු වර්ණ භාවිතය
  •    දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය - දීප්තිමත් වර්ණ භාවිතය
                                                                                 මේ ආකාරයට වර්ථමාන ලාංකීය සිනමා හා ටෙලිනාට්‍ය තුල යෙදෙන සමස්ථ වර්ණ සත්කාරය දෙස අවධානය යොමු කිරීමේ දී විවිධ ආකෘතීන්ට වර්ණගන්වන ලද නිර්මාණ අපට හමුවේ . මේ හැම නිර්මාණයකම අදාල භාවිත වර්ණ සං‍යෝජනය තුලින් සිනමා පටය මඟින් ගෙන එන කතාවේ ඇතුලාන්තය නිරූපනය වේ . එය මෙම නිර්මාණ තුලින්ම හදුනාගන්නවා නම් මෙසේය . “ දැවෙන විහඟුන් ” චිත්‍රපටය මඟින් කතාකරනු ලබන්නේ දේශපාලන කාරණා හේතුවෙන් තම සැමියා අහිමිව මව සහ දරුවන් සමඟ තනිවන දුප්පත් ගැහැණියකගේ කටුක දිවිපෙවත යි . ඇය රැකියාවක් නොමැතිව තම දරුවන් ජීවත් කරවීමට අවසානයේ ගණිකා වෘතියට පවා යොමුවීමට ඇයට සිදුවේ . ඇයගේ එම කටුක ජීවිතයට ගැලපෙන සේ නිර්මාණකරුවන් කතාවේ අභ්‍යන්තරය මනාව කියැවෙන ලෙස මුළු නිර්මාණය පුරාවටම අදුරු කහ වර්ණය භාවිතාකරනු ලබයි . එමෙන්ම මෙම පිරිස ජීවත්වන දුෂ්කර කටුක පරිසරය ද එම අදුරු කහ වර්ණය  මනාව ගැලපේ . කූඹියෝ සහ සහෝදරයා යන ටෙලිනාට්‍ය මඟින් ද සමාජයේ අපි නොදකින පැතිකඩක් වෙනස්ම අකාරයෙන් යතාර්ථවාදිව ප්‍රේක්ෂකයා ඉදිරියට ගෙන එනු ලබන ටෙලිනාට්‍ය වේ . එම නිසා නිෂ්පාදකවරුන් මෙම ටෙලිනාට්‍ය සඳහා වර්ණ සත්කාරය කරනු ලබන්නේ අදුරු සැබෑ වර්ණයි . එමඟින් අපේ ජීවිතවල යතාර්ථය පෙන්වාදෙනවා මෙන්ම අනෙක් ටෙලිනාට්‍ය මෙන් සුරංගනා ලෝකයක් මවා පෙන්වීමෙන් ඈත්වී සමාජය යතාර්ථවාදීව රූපණය කිරීමට කටයුතු කර ඇත . මෑත කාලයේ ඉතා ජනප්‍රිය වූ “ දෙවෙනි ඉනිම ” ටෙලිනාට්‍ය මඟින් ඉහත ටෙලිනාට්‍ය දෙකටම වඩා වෙනස්වේ . සෝප් ඔපෙරා ගණයට අයත්වන එයින් ආදරය , පවුල් සංස්ථාව , ඒවායේ ඇතිවන ගැටුම් , ඊශියාව , වෛරය වැනි පොදු පුද්ගල මනෝභාවයන් ප්‍රේක්ෂකයින් ආකර්ශණය කරමින් ඉදිරිපත් කරනු ලබන්නේ දීප්තිමත් වර්ණ භාවිතය තුලිනි . විශේෂයෙන් තරුණ ප්‍රජාව ආකර්ශණය කරගැනීම සඳහා වර්ණවත් වර්ණයන් භාවිතා කරමින් ෆැන්ටැසි ලෝකයක් ප්‍රේක්ෂකාගාරය ඉදිරියේ රූපණය කිරීමට මෙම වර්ණ සංකලනය හේතුවී ඇති බව අවිවාධිතය .
                                                                     මේ ආකාරයට අපට සිනමාව හා ටෙලිනාට්‍ය තුල නිර්මාණශීලී රූපනය භාවිතාවන අන්දම හඳුනා ගැනීමට හැකිවේ . සිනමාව හා ටෙලිනාට්‍ය තුල පොදුවේ හදුනාගත හැකි මෙම නිර්මාණාත්මක රූපන ක්‍රමවේදයන් පොදුවේ රූප භාෂාව යනුවෙන් මෙම සිනමා හා ටෙලිනාට්‍ය කලා අංගයන්‍ තුල හදුන්වනු ලබයි . මෙලෙස රූපනය තුලින් එක හා සමාන වූ සිනමාව හා රූපවාහිනී ටෙලිනාට්‍ය තුල නිර්මාණාත්මක කථනය භාවිතාවන අන්දම දැන් විමසමු . සිනමාව හා ටෙලිනාට්‍ය ශ්‍රව්‍ය මෙන්ම දෘශ්‍ය සන්නිවේදන මාධ්‍ය වේ . එම නිසා මෙම මාධ්‍යන් ද්විත්වය තුල රූපනය ප්‍රධාන වෙනවා සේම කථනය ද ප්‍රධානවේ . ප්‍රධාන වශයෙන්ම සිනමාපට සහ ටෙලිනාට්‍ය වල නිර්මාණාත්මක කථන භාවිතා වන්නේ දෙබස් වශයෙනි . යම් ප්‍රකාශශණයක් ග්‍රාහකයාවෙත සමීප කරදීම සඳහා නිර්මාණකරුවන් විසින් විවිධ චරිත වලට අදාල දෙබස් නිර්මාණශීලීව ගොඩනගනු ලබයි . මෙම නිර්මාණශීලී කථනය සිනමාව හෝ වේවා ටෙලිනාට්‍ය හෝ වේවා එහි අන්තර්ගත චරිතයන් වලට ගැලපෙන අන්දමට කථනය ගොඩ නැගීම සිදුවේ . වෙළඳ පරමාර්ථයෙන් නිර්මාණය කරනු ලබන චිත්‍රපට හා ටෙලිනාට්‍ය තුලට නිර්මාණකරුවන් සරල කථන වින්‍යාස යොදාගන්නා අතර සභාව්‍ය චිත්‍රපට හා ටෙලිනාට්‍ය සඳහා නිරමාණශීලී විශාල පරාසයක කථාවක් පවසන දෙබස් භාවිතාකරනු ලබයි . එමගින් ප්‍රේක්ෂකයාට විවිධ සමාජගත ප්‍රශ්ණ , ගැටළු සම්භන්ධයෙන් විශාල අදහසක් ලබාදීම සිදුවේ . වර්තමනයේ ඉතාමත් සමාජයේ කතාබහට ලක්වූ “ සහෝදරයා ” ටෙලිනාට්‍ය තුල නිර්මාණාත්මක කථනය භාවිතාකර ඇති අන්දම එහි එන දෙබස් කිහිපයක් මඟින් මෙසේ හදුනා ගනිමු . 
                           Related image

  •       “ මේ වෙළඳපල ඇතුලෙ නිවැරදිම තැනක් නෑ මල්ලි . හානිය අඩුම තැන තමයි තෝරගන්න වෙන්නේ 
  •        "සටන් කරන එක හොඳයි . හැබැයි ඉස්සෙල්ල සතුරා අදුරගන්න ඕනෙ . මට පේන විදියට සතුරා ඉන්නේ උඹේ පැත්තෙමයි ."
  •      එකම අරමුණක් තියෙන උං වෙනස් වෙනස් පක්ෂ හදාගෙන , බලය ගන්න මේ රටේ මිනිස්සු භේද කරපු එක ගැන ලියපං . ඒ භේදය නැතුව බලය පවත්වා ගන්න මුං දන්නෙ නෑ . උන් ආයෙත් මේ තුවාලේ යටටම හාරනවා . ඒක ගැන ලියපන් ..සිංහල , මුස්ලිම් , දෙමළ අපි හැමෝගෙම පොදු හතුරා , අනෙක් ජාතීන් නෙමයි . අපිම බලයට ගේන මේ ආණ්ඩු . ඒ ගැන ලියපං ... ”
                                                                       බොහෝවිට රූප භාෂාවට වඩා නිර්මාණාත්මක කථනය ප්‍රභල කර ගනිමින් සමහර නිර්මාණ කරුවන් සමාජගත විවිධ ගැටළු කාරණා ප්‍රේක්ෂකයා ඉදිරියේ සාකච්ඡා කිරීමට යොදනු ලබයි . එයට හොඳම උදාහරණය ලෙස ඉහත උදාහරණ මඟින් පෙන්වා දුන් “ සහෝදරයා ” ටෙලිනාට්‍ය පෙන්වා දීමට හැකිය . ප්‍රේක්ෂකයා  ඉදිරියේ  නිර්මාණාතමක රූපනයට වඩා කථනය ප්‍රභල වූ අවස්ථාවක් ලෙස “ සහෝදරයා ” පෙන්වාදීමට හැකිය . මීට අමතරව වර්ථමානය තුල බොහෝ සමාජ කථිකාවතක් ඇතිවූ “ කූඹියෝ , ත්‍රෛලෝකා ” වැනි ටෙලිනාට්‍ය තුල ද රූපනය අභිබවා නිර්මාණාත්මක කථනය නැතිනම් දෙබස් භාවිතය ස්මතු වූ ටෙලිනාට්‍ය ලෙස පෙන්වාදීමට හැකිය . එමෙන්ම නිර්මාණකරුවන් හාස්‍ය උපදවන දෙබස් භාවීතා කරනු ලබයි . එලෙසම විවිධ චරිතයන්ගේ අභ්‍යන්තර ස්වරූපයන් කථනය මඟින් ප්‍රේක්ෂකයාට ඉදිරියේ මැවීම සඳහා ඒ චරිතයටම විශේෂ වූ කථන විලාසයක් නැතිනම් දෙබස් රටාවක් නිර්මාණාත්මකව සකස් කරනු ලබයි . එමෙන්ම මෑත කාලයේ ප්‍රදර්ශණය වුණු “ ගින්නෙන් උපන් සීතල ” චිත්‍රපටය තුල රෝහණ විජේවීරයන් ඇතුළු ඔහුගේ අනෙක් පාක්ෂිකයන්ගේ කථා විලාසය ජනතා විමුක්ති පෙරමුන පසුබිම කරගත් වාමාංශික දේශපාලනයට ගැලපෙන අන්දමින් නිර්මාණාත්මක කථනය භාවිතා කරන ලද අවස්ථාවකට උදාහරණයක් ලෙස පෙන්වා දීමට හැකිය . එමෙන්ම චිත්‍රපට , ටෙලිනාට්‍ය වලින් නිරූපිත කතා වලට අදාල විවිධ කාල වකවනු , යුග වලට ගැලපෙන අන්දමට නිර්මාණාත්මක කථනය භාවිතාකරන අයුරු හදුනාගත හැකිය . අතීත රජ කාල නිරූපනය සඳහා ඒ කාලවල භාවිතා වූ භාෂාව හා සමාන භෂාවක් භාවිතා කරනු ලබන්නේ කථනය නිර්මාණාත්මකව කලා නිර්මාණය තුලට ගැලපෙන අයුරිනි . “ ආලෝකෝ උදපාදි  , කුසපබා , අබා ” ආදී බොහෝ ඉතිහාස කතා පුවත් රැගෙන එන නිර්මාණ තුල මෙම ලක්ෂණය හදුනා ගැනීමට හැකිය . ටෙලිනාට්‍ය තුල විකාශය වන ඉතිහාස කතාවලට ද මෙම ලක්ෂණය පොදුවේ . “ රාවණා , දඩුබස්නාමානය ” මම කථන විලාසය භාවිතාවන ඉතිහාස කතා ඇතුලත් ටෙලිනාට්‍ය වේ . එමෙන්ම හඬ උස් පහත් කිරීම , කතා කරන වේගය ආදී ක්‍රමවේදයන් මඟින් ද කථනය අදාල චරිතයට ගැලපෙන අන්දමින් නිර්මාණාත්මකව ගොඩනැගීමට හැකිවේ . මේ අන්දමට නිර්මාණාත්මක රූපනය හා කථනය ශ්‍රව්‍ය දෘ‍ෂ්‍ය මාධ්‍යන් වන සිනමාව සහ ටෙලිනාට්‍ය තුල විශාල පරාසයක භාවිතා වන අන්දම හදුනා ගැනීමට හැකිය.
                                                                        නවීන නිර්මාණාත්මක කලා මාධ්‍යන් අතර ඇති තවත් වැඳගත් නවීන කලා අංගයක් වන්නේ රූපවාහිනිය තුල විකාශය වන විවිධ වැඩසටහන්‍ හදුන්වා දීමට හැකිය  . මේ යටතේ වාර්තාමය වැඩසටහන් , කාලීන වැඩසටහන් , සඟරාමය වැඩසටහන් , රියැලටි වැඩසටහන් ආදී ප්‍රවර්ග රාශියක් හදුනාගත හැකි අතර මේවා තුල ද නිර්මාණාත්මක කථනය හා රූපනය බහුලවම යොදාගන්නා අකාරය අප දැක ඇත . උදාහරණ වශයෙන් ,


  •    ITN නාලිකාව - අටපට්ටම , වෙනස , දොරමඩලාව
  •      හිරු නාලිකාව - වින්දනීය උදැසන , අදිසි
  •      දෙරණ නාලිකාව - ලෝකය සහ ලෝකයෝ , මල්බර දෙරණ , නොපෙනෙන මානය
                
                                                                         ආදී නාලිකා විශාල ප්‍රමාණයක විකාශය වන මෙවැනි වැඩසටහන් හදුන්වා දීමට හැකිය . බොහෝ ප්‍රේක්ෂකයා පහසුවෙන් ග්‍රහණය කරගත හැකි අත්භූත සිදුවීම් , ත්‍රාස්‍යජනක බියජනක සිදුවීම් මූලික කරගනිමින් නිර්මාණාත්මක රූපනය සිදුකරන අන්දම හදුනාගත හැකිය . එමෙන්ම මෙම බොහෝමයක් වැඩසටහන් ඉදිරිපත් කරනු ලබන නිවේදකයින් ග්‍රාහකය ඇමතීමට භාවිතා කරනු ලබන නිර්මාණාත්මක භාෂා භාවිතය ආදිය තුලින් ද නිර්මාණාත්මක කථනය සිදුවන අන්දම හදුනාගත හැකිය . මෑත කාලයේ දී ඉතා ජනප්‍රියත්වයට පත්ව ඇති නූතන රියැලටි වැඩසටහන් තුල ද ප්‍රේක්ෂකයා රදවා තබා ගැනීමට නිර්මාණාත්මක කථනය හා රූපණය යොදාගන්නා ආකාරය හදුනාගත හැකිය . එම වැඩසටහන් වලට උදාහරණ ලෙස Derana Champions Stars , Youth With Telent , Sirasa Super Star යන වැඩසටහන් රියැලටි වැඩසටහන් කරලියේ ඉහළ ජනප්‍රියත්වයක් ලබා සිටින වැඩසටහන් වේ .
                                                                        ගුවන්විදුලි මාධ්‍ය දෙසට අවධානය යොමු කිරීමේ දී ගුවන් විදුලිය අපට සමීප වන්නේ කථන මාධ්‍යක් ලෙසිනි . නැතිනම් අසා රස විදිය යුතු මාධ්‍යක් ලෙසිනි . ගුවන්විදුලිය තුල භාවිතාවන්නේ නිර්මාණාත්මක කථනයයි . ඒ සඳහා බොහෝවිට ගුවන් විදුලි නිවේදකයින් ග්‍රාහකයන් අමතනු ලබන්නේ “ ඔබ ” යන පදය භාවිතය තුලිනි . එය බහුතර ශ්‍රාවක පිරිසක් සිටින ගුවන් විදුලිය සඳහා ශ්‍රාවකයා රදවා තබා ගැනීමට නිර්මාණශීලී කථනය භාවිතයයෙන් ශ්‍රාවකයාට සමීප වීමකි . එමෙන්ම රාජ්‍ය ගුවන්විදුලි නාලිකාවලට වඩා පෞද්ගලික ගුවන්විදුලි නාලිකා තුල සාමාන්‍ය විවහාරික කථනය යොදා ගනිමින් නිර්මාණශීලී කථනය හරහා ශ්‍රාවකයාට සමීප කරවයි . නමුත් රාජ්‍ය ගුවන්විදුලි නාලිකා බොහෝමයක භාෂාව ඊට වඩා සම්භාව්‍ය හා නිර්මාණශීලී වේ . එමෙන්ම ගුවන්විදුලිය තුල දැකගත හැකි වැඳගත්ම අංගය වන ගුවන්විදුලි නාට්‍ය ගැන සැලකීමේදී නිර්මාණශීලී කථනය හොදින්ම භාවිතාවන අවස්‍ථාවක් ලෙස හදුනාගත හැකිය . එය එසේ වන්නේ ගුවන්විදුලි නාට්‍ය පිටපතකට අනුව අදාල නාට්‍ය හඬ නළුවන් විසින් රඟ දැක්විය යුත්තේ තම කටහඩ භාවිතයෙනි . එහි දී එම එක් එක් චරිතයට වෙනස් අයුරින් කටහඩ පාලනය කරමින් එම චරිත ශ්‍රාවක මනසෙහි මැවීම සිදුකිරීම ගුවන්විදුලිය තුල නිර්මාණාත්මක කථනය අපූර්වට සිදුවන අවස්ථාවක් ලෙස පෙන්වාදිය හැකිය . එමෙන්ම ගුවන්විදුලි නාට්‍ය මඟින් ශ්‍රාවක සිතෙහි චිත්තරූප මැවීම සිදුවීමමඟින් හඬ මූලික වූ ගුවන්විදුලි නාට්‍ය තුල නිර්මාණාත්මක රූපනය සිදුවන අන්දම පෙන්වාදිය හැකිය .
                                                                        තාක්ෂණයේ දියුණුවත් සමඟ අද වන විට නව කලා මාධ්‍යන් තුල පවතින අති නවීන කලා මාධ්‍යක් ලෙස කාටූන් හදුන්වාදීමට හැකිය . පරිඝණක තාක්ෂණය භාවිතය තුලින් විවිධ මෘදුකාංග හරහා නිර්මාණාත්මක නවීන කලා මාධ්‍යක් වන කාටූන් නිර්මාණය කරනු ලබයි . නමුත් වර්ථමානයේ පවතින කාටුන් මඟින් ළමා මනසට යහපත් ආකල්ප ලගා කරවනවා ද යන්න ගැටලුවකි . කාටුන් බොහෝ විට කුඩා දරුවන් ඉලක්ක කරගෙන ඔවුන්ට සමීප වීර චරිත ආදිය යොදාගෙන ළමා මනස පහසුවෙන් ග්‍රහණය කරගත හැකි ආකාරයෙන් කථනය හා රූපනය එයට ගැලපෙන අන්දමින් නිර්මාණය කරනු ලබයි . “ වලස් මාමා , දොස්තර හොඳ හිත , කූඹිච්චි ” ආදී කාටුන් හොඳ නිර්මාණ ලෙස හදුන්වා දීමට හැකිය . මූලික වශයෙන් දරුවන්ගේ ලෝකය තුල බොහෝ සිත්ගන්නා සත්ත්ව චරිත මූලික කරගනිමි ඔවුන් වෙත සමීප වෙයි . එමෙන්ම කුඩා ළමුන් ආකර්ශණය කරගන්නා අලංකාර වර්ණයන් සෑම අවස්ථාවේදීම කාටුන් තුලට යොදා ගැනීම නිර්මාණකරුවන් විසින් සිදුකරනු ලබයි . එමෙන්ම මෙහිදී කුඩා ළමුන්ට ගැලපෙන කථා වින්‍යාසයක් භාවිතාකරන අතර බොහෝවිට ළමුන්ට සමීප සරල භාෂා රටාවක් යොදාගනී . ඒ නිර්මාණාත්මක කථන භාවිත අවස්ථාවකට උදාහරණයකි . එමෙන්ම විවිධ විහිලුතහළු , හාස්‍ය උපදවන දෙබස් යනාදිය  යොදාගනීම සිදුකරන අතර ඒ ළමා මනස ග්‍රහණය කරගැනීම සඳහාය . මේ ආකාරයට නවීන කලා මාධ්‍යන් වල උච්චතම අවස්ථාව වන ළමා කාටුන් තුල කථනය හා රූපනය නිර්මාණාත්මකව යෙදෙන ආකාරය හදුනාගත හැකිය . අතීතයේ සිතුවම් ඇදීම තුලින් අභාෂය ලබමින් කැමරාව නිපදවීමත් සමඟ නිශ්චල ඡායාරූපය ලෝකය තුල ජනප්‍රිය වීම සිදුවිය . අදවන විට ඡායාරූපය නවීන කලා අංගයක් බවට පත්ව ඇති අතර නිශ්චල ඡායාරූපය මගින් විවිධ මනෝ භාවයන් , විවිධ සමාජ කාරණා කැමරා කාචය හරහා නිර්මාණාත්මකව රූපනය කල හැකි මාධ්‍යක් වීම නිසා එසේ ලොව ප්‍රචලිතව ඇත . ඡායාරූපය යනු තාක්ෂණික සන්නිවේදන මාධ්‍යක් ලෙසද හදුන්වා දීමට හැකිය . මේ අකාරයට අපට කලාව තුල හදුනාගත හැකි සාම්ප්‍රදායික හා නවීන කලා මාධ්‍යන් තුල නිර්මාණාත්මක රූපනය හා කථනය එම මාධ්‍යන්ටම ආවේනික ආකාරයට යොදාගන්නා ආකාරය අපට හදුනාගැනීමට හැකිවේ . විවිධ සමාජ , දේශපාලනික කාරණා මෙන්ම පුද්ගල සංවේදී මනෝ භාවයන් වක්‍රාකාරයෙන් තවත් අයට සන්නිවේදනය කිරීම සඳහා මෙන්ම එය ග්‍රාහක හඳවත් වලට තදින්ම දැනෙන අන්දමට සන්නිවේදනය කිරීම සඳහා නිර්මාණාත්මක රූපනය හා කථනය භාවිතා කරන කලාව තුල ඇති විවිධ අංගයන් තුලින් මෙසේ හදුනාගත හැකිය .        

                                                                                                                           - මහේෂ් චාමර -

Comments

Post a Comment

Popular posts from this blog

සිංහල සිනමා වංශය

සමාජ යථාර්ථවාදය සහ සිනමාව .

කසුකුසුව 01 - රත්න ශ්‍රී විජේසිංහ සමඟ