"අදහස් මල්ල පිපිරෙන වෙලාව කාටවත් කියන්න බෑ."



                "අදහස් මල්ල පිපිරෙන වෙලාව කාටවත් කියන්න බෑ."

                                                                                                                 - වසන්ත දුක්ගන්නාරාල-
Image result for wasantha dukgannarala

ඉස්සර වගේ නිතරම ගීත නිර්මාණකරණයේ නොයෙදුනත් නියං කාලේට ඇද වැටෙන වැස්සක් වගේ ඔහුගේ ගීතයක්, දෙකක් අපි අතරට එනවා. හැබැයි ඒ ගීතය මුළු ලාංකීය සංගීත ක්ෂේත්‍රය ම කළඹන්න යන්න ඉතා කෙටි කාලයයි. ඒ වගේ ම අද වෙද්දී ඔහු දැන්විම්කරණ ක්ෂේත්‍රයේ දැවැන්තයෙක්. අද  "කසුකුසුව" තුළින් මම ඔබව මුණ ගස්සවන්නේ මේ අපුරු වදන් සන්නාලියාවයි. ඔහුගේ අලුත් ම ගීතය "කතිරිනා" පසුගිය සිකුරාදා Youtube වෙත මුදා හැරුණා.
1. රස්තියාදු ගහලා, අමාරුකම්වල වැටිලා,තමන්ට ලබන්න පුළුවන් හැම අත්දැකිමම විදලා,මිනිස්සුන්ට යන්න බැරි සිමා පසුකරගෙන යන මේ ගමන මුණිවරයෙකුගේ ගමනට සමානද?
අද වෙද්දී මාධ්‍යවේදීයෙක් ,නළුවෙක් වෙන්න හරි පහසු මාර්ග තියෙනවනේ. දැන් ටෙලිවිෂන් එක තියෙන නිසා ප්‍රසිද්ධ වෙන එක හරි ලේසියි. හැබැයි අපි කෙරුවේ ඒ දේ නෙමෙයි. අපි හිටියේ පත්තරේක අකුරක් ලියාගන්න, කවියක් ලියාගන්න,ලියපු සින්දුවක් කවුරුහරි ලව්වා ගායනා කරගන්න,වේදිකා නාට්‍යයක පොඩි කෑල්ලක හරි පෙනි ඉන්න හරිම අමාරු කාලයකයි. ඒ කියන්නේ හරිම තෝරාගත්ත වෘත්තිකයන් පිරිසක් හිටපු කාලයක් එක. මම විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත්තේ කළමනාකරණ විෂයන්. මම ඉපදුණෙත් කලාවේ වටිනාකම පිළිබඳව තේරුම් නොගත් පවුලක. ඒ නිසා මට මේ හැමදේම අලුතෙන් පටන්ගන්න ගෙදර දාලා එන්න සිද්ධ වුණා. මගේ ගමනාන්තය වුණේ කොළඹ. ඒ ඇවිත් මම අතිශය දුෂ්කර ජීවිතයක් ගත කළා. මම හිතන්නේ ඒ ගමන මුණිවරයෙක් යන ගමනට සමාන නොවුණත් එකත් එක්තරා විදිහක දුශ්කර ක්‍රියාවක්. අවසානයේ අපි බලාපොරොත්තු වෙන ඉලක්කයන් සපුරා ගත්තට පස්සේත් ඒ ලැබෙන සුවය මුණිවරයෙක් ලබන සංසාර සුවයට සමානයි කියලා මට හිතනවා .
2. වෙළද දැන්විම් නිර්මාකරණයේ නියැලෙන පුද්ගලයෙක් වෙනත් නිර්මාණකරුවෙකුගෙන් වෙනස් වෙන්නේ කොහොමද ?
සිනමාකරුවෙකුගෙන්, වේදිකා නාට්‍ය නිර්මාණකරුවෙකුගෙන්, ටෙලිනාට්‍ය නිර්මාණකරුවෙකුගෙන් ඔහු වෙනස් වෙන්න මූලික ම හේතුව වෙන්නේ ඔහුගේ තියෙන සූක්ෂමබවයි. ඔහුට තත්ත්පර 15ක නැත්නම්,30ක කාලයක් ඇතුළත විශාල පණිවිඩයක් පාරිභෝගිකයා වෙතට ගෙනියන්න තියෙනවා. අනික මාධ්‍ය තුළින් තමන් නිර්මාණය කරන ලද දැන්වීම දහස් වතාවක් විතර එක් පාරිභෝගිකයෙක් විතරක් ම අහනවා. එතැනදී ඒ නිවැරදිභාවය හරියටම තියෙන්න ඕනේ. වැරදි වුණොත් ආයේ කපන්න බෑ. අනික මිනිස්සු අතරට ඉක්මණින් යන, ජනකාන්ත, අලුත් සංකල්පයක් බිහිකිරන්න ඔහු දක්ෂයෙක් වෙන්නත් ඕනේ. අපිට වෙළඳ දැන්වීම් තුළින් ආදාළ Data එක දෙන්න ඕනේ වෙනස් මුහුණුවරකින්. එතනදී සංස්කෘතික පදාසවලින් ඈත් වෙලා හිතන්න වෙනවා. සංස්කෘතිය අරගෙන ඒක Modern කරන්න වෙනවා. අලෙවිකරණයයි, රසයයි, පාරිභෝජනයයි කියන තුන ම ගැන එකවර සිතමින් තමයි ඔහුට වැඩ කරන්නේ වෙන්නේ. සිනමාකරුවෙකුට නම් ඔහුගේ නිශ්පාදකයා ඒ වෙනුවෙන් සල්ලි වියදම් කරනවා නිසා ගැටලුවක් වෙන්නේ නෑ. මේක එසේ බෑ. වෙළද දැන්වීම් නිර්මාණ ශිල්පියාට Client කෙනෙක් ඉන්නවා. ඒ නිසා ඔහුට ඉක්මනටම ක්ලයන්ට්ගෙන් ප්‍රතිචාරය ලැබෙනවා මේක හොදද නැද්ද කියලා.
3. තමන්ට අත්පත් කරගන්න බැරි වුණ දේවල් සහ අත්දැකීම් තමන් බිහිකරන නිර්මාණයකින් අත්පත් කරගන්න පුළුවන් ද ? ඔබට එහෙම පුළුවන් වෙලා තියෙනවා ද ?
ගොඩක් වෙලාවට නිර්මාණ කියන්නෙත් ඒකම තමයි. සමහර විට අපිට හොයාගන්න බැරි දේ තමා නිර්මාණවල තියෙන්නේ. ගීතයක් ගත්තොත් හිමිවෙච්ච දේට වඩා අහිමිවෙච්ච දේ ගැන තමයි ඉක්මනට ලියවෙන්නේ. සමහර වෙලාවට නිර්මාණකරණයේදී ජීවිතයේ ජය ගන්න බැරි ගොඩක් දේවල් කෙටි කතාවකින් හරි කවියකින් හරි ලියලා දාපුවාම ඒක ජිවිතයට වුණා වගේ දැනෙනවා. ඒ සුවය නිර්මාණකරණයෙන් මට හම්බ වෙලා තියෙනවා.
4. හැම මනුස්සයෙක්ටම තමන්ගේ ජීවිතය නවකතාවක් වගේ කියලා හිතෙන්න පුළුවන් ද ?
ජීවිතේ මොන ප්‍රශ්න තිබ්බත්, නැතත් , ලොකු හැලහැප්පිලි නැතත් ඕන කෙනෙක්ට හිතෙන්න පුළුවන් තමන්ගේ ජීවිතය නවකතාවක් වගේ කියලා. හැබැයි කවුරුහරි ඒක ලියන්න ගියාම තමා ගැටලුව වෙන්නේ. ලියද්දී තමා තමන්ට ම තේරෙන්නේ ඒක නවකතාවක්,නිර්මාණයක් නෙමෙයි කියලා. ඒ නිසයි හැමෝගෙම ජීවිත කතා ලියන්න බැරි. ලියන්න පුළුවන් හැමකෙනාට ම නිර්මාණ කරන්න බැහැනේ. හැබැයි ලියන්න කියලා පෑන අතට ගත්තත් අදහස් ඔලුවට එන්නෙ නැහැ. එහෙම අදහස් වෙන්නේ නිර්මාණකරුවාටයි. එහෙම ජීවිත කතාවලින් ලියපු කෘති දිහා බැලුවොත් පාඨකයා එය කියවන්න ආස නම් ඒක නවකතාවක් වෙනවා. ජීවිත කතාව ලියන එකයි ,නවකතාවක් ලියන එකයි දෙකක්. මගේ ජීවිතය ආදාළ කරගෙනත් එහෙම නවකතා ලියැවිලා තියෙනවා.
5. සමහරක් නුතන ගීත පද රචකයින්ගේ නිර්මාණ දෙස හොදින් අවධානය යොමු කල විට පැහැදිලි වන්නේ එකම සිදුවිම වචන මාරු කරමින් නිර්මාණය කර තිබෙන බවයි. මේ තුළින් රසිකයා බලාපොරොත්තු වෙන අරමුණට වඩා දෙයක් ලැබෙනවා ද? මේ නිර්මාණ බිහිකිරිමෙන් ඔවුන් රසිකයාට කරන්නේ ආසාධරණයක් නොවේද ?
මම ඒවා භාරගන්නේ නිර්මාණ විදිහට නෙමෙයි., නිෂ්පාදන විදිහටයි. මං හිතන්නේ ඒකට අපේ නිහඬතාවයත් බලපෑවා. මං හිතන්නෙ මේ රැල්ල බිහිකළේ මාධ්‍ය විසිනුයි. ඔවුන් ගීතයක් වෙළඳ දැන්වීමක් සේ ප්‍රචාරණය කරන්න පටන් ගත්තා. දවසට හය පාරක් විතර මේවා Play කරනවා. ගොබෙල්ස් න්‍යායත් එහෙමනේ. එකම බොරුව සිය පාරක් කිව්වා ම ඇත්ත වෙනවා වගේ, ඒ Generation එක හිතුවා මේවා තමයි ගීත කියලා. ඒ වගේ ම මේ සින්දු කියන්න එන අයගෙත් Rangers එහෙම නෑ.ඒ අය බහුස්වර ගීත ගායනා කරන්න පුළුවන් අය නෙමෙයි. නිෂ්පාදකයෝ සහ මාධ්‍ය මේක හදුන්වලා දුන්නට පස්සේ එන එන කෙනා ඒක කරන්න පටන් ගත්තා. අපේ ගීත ඇතුළු බොහෝ ගීතවලට එකම සිදුවීම් සමුදායක් තමයි මූලික වෙන්නේ. නමුත් අපේ කාලයේදී ගායකයා අදෝනා නැගුවේ නෑ. ඒ අදෝනාව තිබුණේ සංගීතයේ සහ ස්වරයේ..
6 . තරුණයෙක් හෝ තරුණියක් තමන් සතුව ඇති නිර්මාණාත්මක හැකියාව තේරුම් නොගෙන, නිසි අයුරින් එය භාවිතා නොකිරිම ගැන ඔබ දකින්නේ කුමන විදිහට ද?
ඔව් එහෙම සිද්ධ වෙනවා. ප්‍රේමය බිඳ වැටිලා, අන්ත අසරණ විදිහට කලකිරිච්ච තරුණයෙක්ට ලියන්න හිතෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වේදනාව පිට කරන්න අඬලා හරි, බීලා හරි මැරෙනකන් ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. ඒකට හේතුව ඔහුට නිර්මාණයක් කිරීමේ හැකියාවක් නැතිකම හෝ එයට එයට අවශ්‍යතාවයක් නැතිකමයි.රෝමියෝගේයි, ජුලියට්ගේයි ප්‍රේමයේ තිබුණු ප්‍රශ්නය ශේක්ස්පියර්ට ඕන විදිහටනේ ලිවවේ. ජුලියට්වත්, රෝමියෝවත් ඒක ලියන්න ගියේ නෑනේ. ඒ දෙන්නා එක විදගත්තා. අපිටත් සමහර කාලවල් එහෙම එනවා. පහුගිය අවුරුදු තුන හතරක කාලයක් තිස්සේ මං මුකුත්ම නොකර ඉදලා තියෙනවා. ඒත් අනිත් අය හිතන්නේ අපි නිකන් ඉන්නවා කියලා. නමුත් අපි නිකන් නෙමේ ඉන්නේ. ඒ කාලයේ අපේ අදහස් මල්ල පිරෙනවා. පිරිලා පිරිලා එක පොතකින් හරි,ගීතයකින් හරි පුපුරා යන්න පුළුවන්. ඒක හැබැයි කොයිවෙලේ වෙයිද කියන්න බැහැ.
7. ලාංකීය අධ්‍යාපනය ක්ෂේත්‍රය වෘත්තිය අභිමුඛ නොවිම කලා ක්ෂේත්‍රයට හ අනෙක් විෂයන්වලට බලපාන්නේ කීනම් අකාරයෙන් ද?
අපේ රටේ අධ්‍යාපනය වෘත්තීය අභිමුඛ නැහැ. අපි අකුරු ටිකක් ඉගෙනගෙන ටික කාලයක් ගියායින් පස්සේ තමයි තීරණය කරන්නේ මොනවද කරන්නේ කියලා. අපි වගේ අහඹු තමා මුල ඉදන් ම මෙතනට යනවා කියලා තීරණය කරලා එන්නේ. සනත් ජයසූරිය,සුසන්තිකා,සන්නස්ගල කියන්නේ එහෙම අහම්බ. එහෙම අහම්බ නොවෙන්න හේතුව අපේ අධ්‍යාපනය හැදිලා තියෙන විදිහයි. අපේ අධ්‍යාපනයේ වැඩිපුරම බිහි කරන්නේ ගුරුවරු. නැත්නම් වෛද්‍යවරු. නමුත් නිර්මාණකරුවෝ හෝ ක්‍රියාශීලි වෙනත් විෂයන්වලට අවශ්‍ය මිනිස්සු බිහිකිරීම වෙන්නේ අහම්බයෙන් . විශ්විද්‍යාලේ ඉදිද්දීත් කියන්න බැහැනේ අපි බලාපොරොත්තු වෙන නිශ්චිත රැකියාව ම කරන්න පුළුවන් වෙයිද ද කියලා. නමුත් එහෙම පුළුවන් ලෝකයේ. එම රටවල අධ්‍යාපන හැදිලා තියෙන්නේ වෘත්තීය අභිමුඛවයි. එහෙම ඉගෙනගන්න අයගෙන් කිහිප දෙනෙක් කවිය හෝ ගායකයො නොවෙන්න පුළුවන්. නමුත් බහුතරයක් ඒ වැය කරපු කරපු කාලය වෘත්තිය සදහා යොදවනවා.
                                                                                                                             - අයන්ත යුනේෂ් ප්‍රනාන්දු -

Comments

Popular posts from this blog

සිංහල සිනමා වංශය

සමාජ යථාර්ථවාදය සහ සිනමාව .

කසුකුසුව 01 - රත්න ශ්‍රී විජේසිංහ සමඟ