"හොඳ කවියක් ලෙඩ සුව කරන්නේ අතුරු අබාධ නැතිවයි"




             "හොඳ කවියක් ලෙඩ සුව කරන්නේ අතුරු අබාධ නැතිවයි"

                                                                                                                                       - නුවන් තොටවත්ත -
                                                        Image result for nuwan thotawaththa                             
"ලස්සන ම ලස්සන
බිත්ති සැරසිලි
අසලින් යන විට
හැමදාම ඇහෙනවා
හීන් කෙඳිරිලි හඬක්,
බිත්තියක් නගන
තුවාලව ඇණයකට"

මේ කවියේ නම "කැපකීරිම". කවිය කියවලා ඉවර වුණාට පස්සේ කොච්චර සරල තැනකින් පටන් අරගෙන ගව් ගාණක් දුර මගේ කල්පනාව ගෙනිච්ච ද කියන හැඟීම ඔබට එන්න ඇති නිසැකව ම. මේ කවිය ගෙත්තම් කළේ නුවන් තොටවත්ත . පසුගිය සැප්තැම්බර් මාසයේ "අකීකරු බිහිදොර" සහ "ග්ලැසියරයක ප්‍රේමය" කියන ඔහුගේ කවි පොත් රසිකයා අතට පත් වුණා. නුවන් තොටවත්තගේ කවිය ගැන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ලියනගේ අමරකීර්ති මහතා දක්වන්නේ මෙවන් අදහසක්.
"නුවන්ගේ සරල කවි පදවල ඇත්තේ රැවටිලිකාර සරලකමකි. ඒ සරලත්වය යට මෝරන ගැඹුරක් සහ උත්ප්‍රාසයක් සැඟවී තිබේ ."
ඉතින් අද 'කසුකුසුව ' වෙන්වෙන්නේ කවිය මත සැහැල්ලු පියවර තබමින් අලෝකය සොයා යන මේ කවියාටයි.
1. සාර්ථක නිර්මාණයක් බිහිවිම කෙරෙහි කවියාගේ නිරික්ෂණශීලිභාවය කෙතරම් මහෝපකාරී වෙනවාද ?
කවිය කියන්නෙ ම නිරීක්ෂණයක්. අපි යම්කිසි දෙයක් පිළිබඳව සාමාන්‍ය කෙනෙක් නොදකින පැත්තකින් බලන එක ම තමයි කවියක් බිහිවීමේ මුල් ම පියවර. ඒ නිරීක්ෂණය බාහිර පරිසරය ගැන වෙන්නත් පුළුවන්, තමන්ගේ ම හිතේ ඇතුළාන්තය ගැන වෙන්නත් පුළුවන්. කවියෙක්ගේ නිරීක්ෂණ හැකියාව සාමාන්‍ය කෙනෙකුට වඩා සියුම්. කවියෙක් කවියක් ලියනකොට කරන්නේ ඒ සියුම් නිරීක්ෂණයට කවිකම එකතු කරලා ,තමන් දැක්ක බහුතර දෙනා නොදැක්ක කාරණා තවත් බොහෝ දෙනෙකුට දැනෙන ආකාරයට කියන එකයි.
2. සරලත්වය කියන සාධකය කවියක් පාඨකයා වෙත ගෙනයාමේදී කෙතරම් දුරට වැදගත් වෙනවා ද ?
ඕනෑ ම දෙයක් සරල ද නැත්නම් සංකීර්ණ ද කියන එක තීරණය වෙන්නේ ඒ දේ කියවන පාඨකයා මතයි. කෙනෙකුට සංකීර්ණ දෙයක් තවත් කෙනෙකුට අන්තිම සරල වෙන්න පුළුවන්. ඒත් කවියෙකුගේ යුතුකම සහ හැකියාව තමයි තමන්ට කියන්න තියෙන කතාව තමන් ආමන්ත‍්‍රණය කරන පිරිසට වැටහෙන ආකාරයට ඉදිරිපත් කරන එක. ඒකට ලොකු පුහුණුවක් උවමනා වෙනවා. මොකද කවියකින් කියන්න උත්සහ කරන දේ පාඨකයාට වැටහෙන්නේ නැත්නම් ඒ කවිය ලිව්වත් නොලිව්වා වගේ වෙන්න පුළුවන්.
3. කවියෙක් තවත් කවියෙක්ගෙන් වෙන් කරගත හැකි සාධක , එනම් කවියෙක්ට ආවේණික වන සාධකයන් ඔබ හඳුනාගෙන තියෙනවා ද?
කවියෙක් තවත් කවියෙක්ගෙන් වෙනස් වෙන්නේ ඒ දෙදෙනා භාෂාව හසුරුවන විදිහට වඩා ඒ දෙදෙනාගේ අරමුණ මොකක්ද කියන එක මතයි. තමන් ලියන කවිය කියවිමෙන් පාඨකයා තුළ කවියා බලාපොරොත්තු වෙන වෙනස මොකද්ද කියන කාරණය මතයි කවියෙක් තවත් කවියෙක් ගෙන් වෙනස් වෙන්නේ. ඒත් අපි පුරුදු වෙලා ඉන්නේ භාෂාවේ ප‍්‍රවීණත්වය සහ වචන හැසිරවීම මත කවියෝ එකිනෙකාගෙන් වෙන් කරන්න.
4. මිනිස්සු වෙනස් විදිහට හිතන්න, පතන්න, දකින්න මැලි වෙන්නේ ඇයි ?
මිනිස්සු කැමති පහසු මගේ යන්න. තවත් කෙනෙක් හිතලා හදලා තියෙන පාරක යන එක, තමන් ම හිතලා අලුත් පාරක් හදාගෙන යනවට වඩා හරි ම පහසුයි. ඒ පහසුව වෙනුවෙන් ගොඩක් අය අලුත් පාරක් හදාගෙන යනකොට ලැබෙන සුන්දර අත්දැකීම් ටික කැප කරනවා. හැමෝටම එක එක මට්ටමට වෙනස් විදිහට හිතන්න පුළුවන්. ඒත් ගොඩක් දෙනා එහෙම කරන්න උත්සාහ කරන්නෙ නෑ. ඒත් අතීතයේ ඉඳන් ම මේ ලෝකේ ගොඩනැඟුණේ, ලස්සන වුණේ අනුන් හදලා දීපු මාවතේ නොයා, අවධානමක් අරගෙන අලුත් මාවත් හොයගෙන, ඒ මාවත් අනිත් අයට එළිපෙහෙලි කරලා දුන්න මිනිස්සු නිසයි. ඒ කාරණාව කවියටත් පොදුයි.
5. ඔබ කවියෙන් අනෙකා සමඟ මානව පේ‍්‍රමය බෙදාගන්නේ ඇයි ?
පේ‍්‍රමය පතුර වන්නේ, පේ‍්‍රමය බෙදා ගන්නේ නැතුව කවියෙක් වෙන මොනවා කරන්න ද ? ඒක හරියට ගොවියෙක් වගා කරනවා වගේ දෙයක්. ලෝකේ සාර්ථක කවියෙක් බිහි වුණු හැම මොහොතක ම මිනිස්සු අන් අයට පේ‍්‍රම කරන්න ඉගෙන ගත්තා. තවත් විදිහකට කියනවා නම් මිනිස්සු කෙනෙක්ට වෛර කරන්නේ තමන්ගේ කෝණයෙන් ඒ කෙනා කරන දේ බලන නිසා. කවියෙන් කරන්නේ කෙනෙකුට අනික් කෙනාගේ ඇස් දෙකෙන් ලෝකය බලන්න කියලා දෙන එක.
තව කෙනෙක්ගේ ඇස්වලින් ලෝකය දකින්න පුරුදු වුණා ම මිනිස්සුන්ට ඔහුගේ ප‍්‍රශ්න තේරෙන්න ගන්නවා. මොකද්ද ඒ කරපු වැඩේ කියලා අහනවා වෙනුවට ඇයි එයාට එහෙම කරන්න වුණේ කියලා හිතන්න පටන් ගන්නවා. අන්න එතනින් තමයි වෛරය යටකරගෙන පේ‍්‍රමය මතුවෙන්න පටන් ගන්නේ. ඒකට තමයි පේ‍්‍රමය පහල වෙනවා කියන්නේ.

6. රැල්ලට චිත‍්‍ර අදින්න පෙලඹුණත්,රැල්ලට කවි ලියන්න තරුණ පරම්පරාව පෙලඹෙන්නේ නැත්තේ ඇයි ?
මම හිතන්නේ ඒ දෙක ම වෙනවා. ඒත් රැල්ලට කවි ලියනවා කියන එක රැල්ලට චිත‍්‍ර අඳිනවා කියන එක තරම් පැහැදිලිව පෙනෙන්නේ නෑ. ඕනෑ ම කලා නිර්මාණයක් බිහි වෙන්නේ ඒ නිර්මාණය මනසේ බිහිවෙන වේලාවටයි. ඒ වේලාව එනකල් ඉවසන්න වෙනවා. රැල්ලක් කියන එකේ අදහස යම් නිශ්චිත වේලාවක් වෙනුවෙන් බලෙන් නිර්මාණ බිහි කරනවා කියන එකයි. එතකොටයි රැලි හැදෙන්නේ. ඉතින් කොහොමද කියන්නේ රැල්ලට කවි ලියවෙන්නේ නෑ කියලා. හැබැයි රැල්ලට චිත‍්‍ර අඳිද්දී කෙනෙකුට පුළුවන් වෙන තැනක තියෙන චිත‍්‍රයක් අවසරය ඇතිව හෝ නැතිව තවත් තැනකට පිටපත් කරන්න. කවියේදී ඒක ඒ තරම් පහසු නෑ.
7. කවියක් කියන්නේ සීනි තවරපු බෙහෙත් ගුලියක් ද?
සීනි තවරලා තියෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. සමහරක් විට ඊටත් එහා ගිහින් ඉන්ජෙක්ශන් කටුවකින් විදිනවා වගේ වේදනාවක් දෙන්නත් පුළුවන්. ඒත් කවිය කියන්නෙ ම බෙහෙත් ගුලියක් තමයි. සතුටත් එක්ක හරි , සතුට නැතුව හරි, බැරි ම තැනකදි රිදවමින් හරි සුව කරනවා. ඒක තමයි කවිය.
ඒ නිසා කවියේ වැදගත් ම ලක්ෂණය තමයි ඔය කියන සුව කිරීම. ඒ බෙහෙත කෙනෙකුට බොන්න හිතෙන තරම් රසවත්ව හදන එක තමයි කවියෙකුගේ ප‍්‍රතිභාව. තවත් දෙයක්, අපි දන්න ඕන ම බෙහෙතක අතුරු ආබාධ තියෙනවා. හැබැයි හොඳ කවියක් ලෙඩ සුව කරන්නේ කිසිම අතුරු ආබාධයක් ඇති කරන්නේ නැතුවයි.

8. ඇත්තට ම ජිවිතය කියන්නේ කවියක් ම ද ?
ජීවිතය කියන්නේ කවියක් නෙවෙයි. හැබැයි කෙනෙකුට කැමති නම් මහන්සි වෙලා ජීවිතය කවියක් කරගන්න පුළුවන්. කවියකින් කරන්නේ මිනිස්සුන්ගේ ජීවිතවලට එළියක් ගෙන එක. කවිය කියන්නේ ම පරාර්ථකාමී ඉසව්වක්. ඉතින් කෙනෙකුට කැමති නම් පුළුවනි කවියක් වගේ වෙන්න . කවියාට පුළුවන් මිනිස්සුන්ට කවියක් වගේ වෙන්න උදව් කරන්න . කවියෙකුට පුළුවන් මිනිස්සුන්ට කවි වගේ පරාර්ථකාමී වෙන්න උදව් වෙන ආකාරයේ කවි ලියන්න. අන්න එහෙම කරන්න පුළුවන් කවියෙකුගේ ජීවිතය නම් ඇත්තට ම කවියක්.
                                                                                                                 - අයන්ත යුනේෂ් ප්‍රනාන්දු -

Comments

Popular posts from this blog

සිංහල සිනමා වංශය

සමාජ යථාර්ථවාදය සහ සිනමාව .

කසුකුසුව 01 - රත්න ශ්‍රී විජේසිංහ සමඟ