ඛේදවාචකයේ සිතුවම .


                                      ඛේදවාචකයේ සිතුවම .

                          

                                                                    ගුවර්නිකා නගරය පිහිටා ඇත්තේ බාස්ක් නම් රටෙහි බිස්කේ පළාත තුලය . ඉතාමත් සුන්දර සාමකාමී නගරයක් වූ ගුවර්නිකා නගරයට දෙවන ලෝක යුද්ධයත් සමඟ අනෙක් රවල් නගර සේම යුද්ධයේ අදුරු සෙවනැලි ගලා එන්නට විය . 1930 දශකය වන විට යුරෝපයේ ඉතාම බිහිසුණු අන්දමින් යුද්ධය පැතිර ගිය අතර වර්ශ 1937 අප්‍ර්‍ර්ල් 26 වන දින ගුවර්නිකා නගරයට කිසිසේත්ම යහපත් දිනයක් නොවීය . එයට හේතුව වූයේ අහිංසක සාමාන්‍ය ජනතාව විශාල ප්‍රමාණයක් මරු මුවට පත් කරමින් 1937 අප්‍රේල් 26 සදුදා දින සවස 4.30 පමන Wolfram von Richthofen නම් ජර්මන් කර්නල් වරයාගේ අණ පරිදි ගුවර්නිකා නගරයට ගුවන්ගානා මගින් බෝබ්බ හෙලීම සිදුකිරීමයි . බොහෝ විචාරකයින් පවසන අන්දමට මෙම බෝබ්බ ප්‍රහාරයට ගුවර්නිකා නගරයට මුහුණ පෑමට සිදුවන්නේ ස්පාඥ්ඥ සිවිල් යුද්ධ පැවති සමය තුලදී ගුවර්නිකා නගරය රිපබ්ලිකන් ප්‍රතිවිරෝධක ව්‍යාපාරයේ උතුරු බලකොටුව ලෙස පැවතීම සහ බාස්ක් සංස්කෘතියේ කේන්ද්‍රස්ථානය ලෙසත් පැවතීම ප්‍රහාරයට මූලික හේතු වූ බවයි . කෙසේ නමුත් යුද්ධයේ අමිහිරි බව පසක් කරමින් මෙම නට්සි ප්‍රහාරය මඟින් ගුවර්නිකා නගරයේ ඉතා විශාල අහිංසක ජනතාවක් ජීවිතක්ෂයට පත්වන්නේ දේපළ හානි වලට වඩා ජීවිත හානි වල ඛේදවාචකය ප්‍රභල කරමිනි . මෙහිදී මියගිය පිරිස අධික වූ සේම අවතැන් වූ පිරිස ද ඒහා සමාන විය . එහි බරපතලම කරුණ වූයේ මවට තම දරුවන්ද , දරුවන්ට තම දෙමාපියන් ද , සැමියාට බිරිදද , බිරිදට සැමියා ද ආදී වශයෙන් තම සමීපතමයන් අහිමි කරමින් ඉතාමත් ඛේදාන්ත අවසානයක් අත් විදීමට ගුවර්නිකා නගරයේ විසූ ජනතාවට සිදුවීමයි .
                                                                  ගුවර්නිකා නගරයේ ඛේදවාචකය ක්‍රමයෙන් එසේ අවසන් වූ නමුත් ගුවර්නිකා වැසියන්ගේ සිත් තුල විනාශයේ මතකයන් අවසන් නොවී සදාකාලිකවම තැන්පත් විය . මෙම කාලීන ඛේදවාචකය පදනම් කරගනිමින් වඩාත් සංවේදී අන්දමින් පැබ්ලෝ පිකාසෝ විසින් මෙම වියසනය සිතුවමට නැගීම සිදුකල අතර වර්ශ 1937 ගිම්හානයේ දී පැවැත්වීමට නියමිතව තිබූ සිතුවම් ප්‍රදර්ශණයක් සදහා පිකාසෝ තම නිර්මාණය සදහා වස්තු විශය වශයෙන් ගුවර්නිකා ඛේදවාචකය භාවිතයට ගන්නා ලදී . වර්ශ 1937 මැයි 1 දින පිකාසෝ ගුවර්නිකා සිතුවම ඇදීම ආරම්භ කරන අතර මාස කිහිපයක් තිස්සේ පිකාසෝ විචක්ෂණශීලීව සිදුවීම අධ්‍යනය කරමින් , පරිකල්පනය කරමින් සිතුවම ඇදීමට අවශ්‍ය මූලික කරුණු සොයා ගැනීම හා සිතුවමට නැගීම සිදුකරන ලද බව පවසයි . අවසානයේ පිකාසෝ විසින් ග්‍රීස්ම සෘතුවේ දී පැරිස් ප්‍රදර්ශණයේ දී ගුවර්නිකා සිතුවම ප්‍රදර්ශණය කරන ලදී . අහිංසක ජීවිත වලට එරෙහිව යුද්ධයේ විනාශයේ බලය නිරූපිත මෙම සිතුවම පිකාසෝගේ වැදගත්ම දේශපාලන විරෝධී සිතුවමක් ලෙස පෙන්වාදිය හැකිය .
                                                                    මෙම විශ්ෂ්ඨ සිතුවම සිත්තම් කිරීම සඳහා පිකාසෝ කළු සහ සුදු වර්ණ පමණක් භාවිතා කර ඇති අන්දම කැපී පෙනේ . එමෙන්ම මෙම නිර්මාණය තුල පවතින තවත් විශේෂත්වයක් වන්නේ ඝනිකවාදී කොලාජ් ( Cubist Collage ) ශෛලිය අනුගමනය කරමින් රූප විශ්ලේෂණය , සංශ්ලේෂණය සහ විසං‍යෝජනය සඳහා විවිධ ද්‍රව්‍ය මුසුකල අයුරින් මිනිස් , ගව සහ අස් ආදී රූපයන් යතාර්ථවාදී සහ පුරාණෝක්තිමය අලංකාරයෙන් යුතුව නිර්මාණය කර තිබීමයි . මෙම සිතුවම තුලින් විනාශයේ පුවත් මවන්නා වූ මුද්‍රිත පුවත් වාර්තා ද චිත්‍රයේ රූප තුලින් විද්‍යාමාන වේ . දිග අරින ලද පලසක් ආකාරයට ඇඳ ඇති මෙම චිත්‍රයේ ෆැසිස්ට්වාදීන්ගේ බෝබ්බ දැමීම නිසා සෑම බිං අගලකම මිනිස් වේදනාවන් , විරෝධතාවයන් ඉතාමත් ප්‍රභල අන්දමින් නිරූපණය කර ඇත . 
Image result for guernica art                                                                                    මීටර් 3.5 උස සහ මීටර් 7.8 පළල මෙම සිතුවම වර්ථමානයේ දී මැඩ්රිඩ් හි Museo Reina Sofia හි ප්‍රදර්ශණය කර තිබේ . ගුවර්නිකා සිතුවමේ අර්ථ නිරූපනයන් එකිනෙකට වෙනස් වන අතර නිදසුනක් ලෙස විචාරකයින් මෙම සිතුවමෙහි දැකිය හැකි ප්‍රධාන ලක්ෂණ දෙකක් පෙන්වා දෙයි . එනම් මෙම සිතුවමෙහි සිතුවම් කර ඇති ගොනා සහ අශ්වයායි . මෙහිදී ගොනා සහ අශ්වයා යනු ස්පාඥ්ඥ සංස්කෘතියේ වැදගත් චරිත දෙකකි . කාලයාගේ ඇවෑමෙන් මෙම චරිත විවිධ භූමිකාවන් රඟ දැක්වීමට පිකාසෝ යොදාගෙන ඇති බව විචාරකයින් පවසයි . විචාරකයින් පවසන අන්දමට මෙහි ඇදි ගවයා මගින් ෆැසිස්ට්වාදයේ ප්‍රහාරය නියෝජනය වීම සිදුවන බවත් එමඟින් කෲරත්වය , අන්ධකාරය ප්‍රකාශනය වන බවයි . සිතුවමෙහි දැක්වෙන අශ්වයා මගින් අසරණභාවයට පත්වූ ගුවර්නිකා වැසියන් නියෝජය වන බවත් පැවසේ .
                                                                     ගුවර්නිකා සිතුවම යනු නූතන කලාවේ නිරූපණයකි . පිකාසෝ විසින් ගුවර්නිකා සිතුවම නිම කිරීමෙන් අනතුරුව එය දකින ලද පැරීසියේ සිටින ලද ජර්මානු නිලධාරියෙක් පිකාසෝගෙන් " ඔබ එය කළාද ? " යනුවෙන් අසා ඇති අතර එයට පිකාසෝගේ පිළිතුර වී ඇත්තේ " නැහැ , ඔබ එය කලා . " යනුවෙනි . ලියනාඩෝ ඩාවින්චිගේ මොනාලිසා සිතුවම මගින් පුනරුදයේ පරමාදර්ශය සහ ආත්ම දමනය පිළිබඳ පරමාදර්ශයක් එළි දක්වන්නා සේම පිකාසෝගේ ගුවර්නිකා සිතුවම මගින් යුද්ධයේ ඇති කුරිරු බව සහ සාමයේ ඇති අතිමහත් අවශ්‍යතාව නිරූපණයවීම සිදුවේ . පිකාසෝ විසින් සිතුවමට නගන ලද ගුවර්නිකා සිතුවම හුදු සිතුවමක් පමණක්ම නොව එය 1937 අප්‍ර්‍ර්ල් 26 බෝබ්බ ප්‍රහාරයෙන් මියගිය අසරණ ගුවර්නිකා නගර වාසීන්ගේ වේදනාවන්ගේ නිරූපණයකි .
                                                                                                                               - මහේෂ් චාමර - 


Comments

Post a Comment

Popular posts from this blog

සිංහල සිනමා වංශය

සමාජ යථාර්ථවාදය සහ සිනමාව .

කසුකුසුව 01 - රත්න ශ්‍රී විජේසිංහ සමඟ