කසුකුසුව 04 - සමිත් රවිහාර මනලදේව සමග

                 Image may contain: 1 person, text 

                                                                            ඒ මා රිවිර පුවත්පතේ වැඩ කටයුතු කරන සමය යි. සෞන්දර්යය කලා විශ්ව විද්‍යාලයේ මගේ මිතුරෙකුගේ පොත් එළි දැක්විමේ උළෙලකට සවස් යාමය වෙන් කල ද එය මා හිතන තරම් සොදුරු කාලයක් නොවිය. එකල රිවිර පුවත්පත් කර්‍යාලය පිහිටා තිබුණේ රාජගිරියේ වන අතර එක බසයකින් අදාල ස්ථානයට යා හැකිව තිබු නමුදු රටේ පාලකයාට අනාදරයෙන්, එක්තරා හිටපු ජනාධිපතිවරයෙකුට ආදරෙන් දිවයිනේ නන්දෙසින් මහජනයා අතිශය ලැදිකමින් විහාර මහා දේවි උද්‍යානයට පැමිණිමින් තිබුණි. ඔවුන් ගමනාගමනය සදහා මා ගමන් ගත යුතු මාර්ගයේ බස් රථ බොහෝමයක් භාවිතා කල බැවින් රාජගිරියේ සිට සෞන්දර්යය කලා විශ්ව විද්‍යාලයට ම මට යන්නට වුයේ පාගමනෙනි. නියමිත වේලාවට මං ඒ කටයුත්ත සදහා සහභාගි වෙන්නට හැකි වුණ ද, එය අවසන් විමට කලියෙන් නැවත පාරට බැස්සෙමි. කෙසේ නමුත් මුදල් නැති එදා නොගත් පොත , අහම්බයකින් ඔහු හමු වු දිනක මට ත්‍යාගයක් ලෙස ලැබුණි. මේ කසුකුසුව සිදුවුණේ අප දෙදෙනා අතර දේශයන් දෙකක වෙන්ව සිටිනා මොහොතක ය. මිතුරා නමින් සමිත් රවිහාර මනලදේව ය.
1. හැමතිස්සේම මිනිස්සු තමන්ගේ දුක,කදුළු,පීඩනය බෙදාගන්න පාට්නර් කෙනෙක් හොයන්නේ ඇයි ?
සරලව ම කියනවා නම් මිනිහෙක්ට ජීවත් වෙන්න සම්බන්ධයක් ඕන. සම්බන්ධතා නිසානේ මානව සංහතිය පවතින්නේ., ඉස්සරහට යන්නේ. එතනදි ඔබ ඔය කියන පාට්නර් සුපුරුදු පරිදි විරුද්ධ ලිංගිකයෙක් වෙන්න පුළුවන් .,සමලිංගිකයෙක් වෙන්නත් පුළුවන් . එහෙම නැත්තං මූදු වෙරලක් ,පාළු උද්‍යානයක්,අරක්කු බෝතලයක්,සූස්තියක්,සොහොන් කොතක්,ජනාකීර්ණ නගරයක්,කලා භාවිතයක් වගේම ,කොට්ටෙකින් ඇදකින් පටන් අරගෙන තොන්ඩුවක්,වසබෝතලක්,රේල් පීල්ලක් උඩ අධික වේගයෙන් දුවන කෝච්චියක් වගේ තීරණාත්මක මාදිලියක තත්වයක් වෙන්නත් පුලුවන්. ඒක එහෙම තමයි. ඒක හැම තැනකදි ම මිනිස්සු හොයන්නේ තමන්ගේ දුක ,කදුළ,පීඩනය බෙදාගන්න ජීවී හෝ අජීවී මට්ටමේ පාට්නර් කෙනෙක්.පුද්ගල බුද්ධි මට්ටම අනුව කලා භාවිතයක්,විප්ලව වගේ දේශපාලණික තත්වයනුත් සමහර මිනිස්සු පාට්නර් විදියට ඒ දේවල් බෙදාගන්න තෝරගෙන තියෙනවා . අපි ඔක්කොම මිනිස්සු .,ඉතිං අපි එහෙම දේවල් හොයනවා.
2. ඔබේ කෙටිකතා කලාවට නාට්‍ය කලාව බලපෑවේ කොහොමද ?
මං මාව දන්න දවස්වල ඉදලා ම මට මාව මතක් කලේ නාට්‍ය කලාව. ඇච්චා කාලේ ඉදන් ම කලේ නාට්ටි බලපු එක.ගැටයා කාලේ ඉදන් කලේ පොත් කියව කියව වචන අහුල අහුල මගේ ම දෙබස් ලියන්න ට්‍රයි කරපු එක.මගේ කෙටි කතා කලාවට විතරක් නෙමෙයි ආදරේ කරන එකේ ඉදන් උපාධි ගන්න එක දක්වා ම මට බලපාලා තියෙන්නේ ඒක. නාට්ටි කලාව කියන්නේ ලේසියෙන් කෙනෙකුට හැදෙන්නැති වයිරස් එකක්. හැබැයි හරියට හැදුනොත් ගැලවෙන්න හම්බෙන්නේ නෑ. රටක ජනාධිපති කෙනෙක් උනත්. ඉතිං දැනටමත් මං ඒ වයිරසයේ ආසාදිතයෙක්.
3. ඇයි හැමතිස්සේ ම අපි "අපි කවුද" කියලා හොයන්නේ ?
ඉතිං අපි හොයන්න ඕන ඒකනේ. අනුන් කවුද කියන එක නෙමෙයි., අපි කවුද කියන එක. කොටින් ම රටකට ඕන බුද්ධිමත් ආණ්ඩුවක් හෝ දේශපාලකයින් නෙමෙයි., බුද්ධිමත් මිනිස් වර්ගයක්. ඒ මිනිස් වර්ගය ඉබේ පහල වෙන්නේ නෑ . ඒක මතුකරගන්න වෙන්නේ අපි කවුද කියන එක ප්‍රශ්ණ කරගන්න පටන් ගන්න එකත් එක්ක. අපි වගේ උන් ඒ පිළිබද විශබීජ තම තමන්ගේ භාවිතයන් ඇතුලෙන් සොසයිටි එකට ඉන්ජෙක්ට් කරන්න ඕන. මං ඉන්නේ මගෙ ලෙවල් එකෙන්., ඒ පිලිබද මගෙ ක්‍රියාන්විතය ඇතුලේ.
4. සමහරක් මිනිස්සු යථාර්ථයට කෑමති නැත්තේ ඇයි?
යථාර්ථය කියන එක සම්බන්ධයෙන් ලෝකේ ගොඩාක් දාර්ශනිකයෝ තමන්ගේ මතවාදයන් ඉදිරිපත් කරලා තියනවා.මේ වගේ ප්‍රශ්ණයකට උත්තරේ විදියට ඒ මතවාදයන් ඈදගන්න තමයි උත්තර දෙන අයගේ පොදු ගුණාංගය.නමුත් ඒ වැඩේ ම මමත් මෙතන නොකර මෙහෙම සම්පීඩනයක් විදියට සලකලා උත්තරයක් දෙන්නම්. යථාර්ථය කියන්නෙ ම ප්‍රබන්ධයක්! ඒ නිසා ඔබ 'සමහරෙක් 'කියලා අදහස් කරන ඒ පිලිබද දැනුවත්බාවයක් තියන ජන කොට්ඨාසය ඒක බාරගන්නේ න. මොකද ඒ පිළිබද තියෙන්නේ එකිනෙක පරස්පර පුද්ගලානුබද්ධ මතවාද. ඇයි ඉතිං අපි කාගේ හරි ප්‍රබන්ධයක් යථාර්ථය විදියට භාරගන්නේ.අපිත් බත් කනවනේ.,අපිටත් මොල තියනවනේ.අපිත් ඒවගෙන් හිතමු. සමහරකෙක් නොවී 'සමහරෙක් 'වෙමු.
5.ඇත්තට ම drugs, alcohol නැතුව සිංදු ලියපු, සිංදු කියපු මිනිස්සු අපිට හිටියා නේද?
ඔව් හිටියා., අදටත් ඉන්නවා.,හෙටත් ඉදියි. ඒක ප්‍රසව වේදාණාවට අදාල කාරණයක් මිසක් බිහිවුණ, වැඩෙන දරුවාට අදාල කාරනයක් නෙමෙයි.අම්මයි දරුවයි කියන දෙන්නා දෙන්නෙක්.
මත්වෙලා ලියන්නත් පුළුවන්., මත්වෙලා ගයන්නත් පුළුවන්.
මත් නොවීත් ලියන්නටයි, මත් නොවීත් ගයන්නටයි පුළුවන්.,ඒක එයාලාගේ අයිතිය.නමුත් වැඩේ තියෙන්නේ එතනින් එහාට ඒ ලියමන්, ගැයුමන් සමාජ ප්‍රගමනයට බලපාන්නේ කොහොමද කියන සාධකය මත.,එතනයි පොයින්ට් එක.

6.සෞන්දර්යය හදාරන, ඒ එක්ක ජීවත් වෙන මිනිස්සුන්ට හිත එක්ක මෙච්චර නොනවතින ගැටුමක් තියෙන්නේ ඇයි ?
හිත එක්ක කාටද ගැටුමක් නැත්තේ? සෞන්දර්ය හදාරන අයට නෙමෙයි මට අනුව හිත එක්ක වැඩි පුරම ගැටුම තියෙන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට.සෞන්දර්‍ය හදාරන අය කරන්නේ ඒ තත්වයන් තේරුම් අරගෙන ඒ ගැටුම්වලට යහපත් මානසික ආස්ථානයන් කරා ඔසවා තැබීමට ගාමක බලවේගයන් සපයන එක. ඒක හිත එක්ක ගැටුමක් ඇති කරගෙන නෙමෙයි හිතේ ඒ පිළිබද වන දිගදුර විහිදුම් බලකාය ම කැදවගෙන සිදුකරන සූක්ෂම ක්‍රියා දාමයක්. නමුත් බැලු බැල්මට පේන්නේ ඔබ ඔය කියන විදියේ ගැටුමක් වෙන්න පුළුවන්. සෞන්දර්ය වාදියාගේ හිතේ මතුවෙන ගැටුම කියලා කියන්නෙම ඔහුට සේවය කරන අන්ඩකවර් ඒජන්ට් කෙනෙක්.
7.පාඨකයෙකු මේ කෙටිකතා පොතට අතට ගන්නේ, තවත් එවැනි ශානරයට ඇතුලත් නිර්මාණ පරිශිලනය කර හෝ නැත්නම් නොකර. නමුත් ඔබ ඔහුව කෙටිකතා පහකින් විකාරරූපි ලොවකට ඇද දමනවා...?
මං ඔබෙන් මෙහෙම ඇහුවොත් අපි ඉන්නේ ෆුල් පර්ෆෙක්ට් මාර්වලස් ජීවිතයකද?
ඇත්තට ම එහෙම නෑනේ.මේක පට්ට අන්කම්ප්ලීට් ලයිෆ් එකක්නේ. තමන්ගේ සෝශල් ක්ලාස් එක මොකක් උනත් ඒකට ආවේනික මොකක්ම හරි කාරණාවන් ඇතුලේ මිනිස්සු ගෙවන්නේ පට්ට රියල් ලයිෆ් කියලා හිතාගෙන ෆුල් ආර්ටිෆිශල් ජීවිත.මට ඕන අන්න එතනට පංතී භේදයකින් තොරව මගේ ප්‍රකාශනය ඇතුලෙන් පොඩි තට්ටුවක් දාන්න.එතකොට තේරෙන එකාට හිතෙනවා යකෝ මොකක්ද අපි කරන මේ මගුල ? නොතේරෙන එකාට හිතෙනවා යකෝ මොකක්ද මූ ලියල තියන මලමගුල වගේ එකක් .හැබැයි මේ කිසිම කතාවක් මං සාමාන්‍ය සරල භාශා භාවිතයෙන් එහාට අරං ගිහිං නෑ.පස් පාරක් පොත කියවපු ජීවිතේට පොත් නොකියපු මගේ යාලුවෙක්ට පස් පාරට තේරිලා තියෙන්නේ පොත් පහක්! හැබැයි එකම පොත.ඌ දන්න ශානරයක් නෑ.ඌට ඒක අදාලත් නෑ.මගේ පොත දැනට වැඩිපුරම කියවලා තියෙන්නේ එහෙම උන්.ඒ හැම එකෙක්ම දැන් දැන් මං එක්ක මගේ කතාවලින් තේරුම් ගත්ත පොයින්ට් අල්ලගෙන උන් හිටපු මතවාදාත්මක තැන් වෙනුවට වෙන වෙන තැනවලදි මං එක්කම ආර්ගිව් කරනවා. උන් ඕලෙවල්වලින් කොළඹ ආපු ,තැන් තැනවල පොඩි පොඩි ජොබ් කරපු සරල මිනිස්සු .දැන් දැන් උන් මගෙන් පොත් අහගෙන මං ආස ටයිප් එකේ පොතක නමක් කියපං මචං කියලා වෙන වයිරස් එකක් බෝ කරන් තියනවා.මේ ප්‍රශ්නෙට අදාල උත්තරේ අනිත් කොටස මෙහෙමයි.
පොතේ කතා පහ පුරාවට ම මම කියවන්නාව අරන් යන්නේ පොඩි ට්‍ර්ප් එකක්.ඒක විකාරයක් මොකද මං ලෙහන්නේ මිනිස් සිතේ අභ්‍යන්තරය.ඉතිං ඒක කොහොමත් විකාරයක්., ජාගර ගුහාවක්. හැබැයි මේ විකාරය මල විකාරයට වඩා වෙනස්.මේක පට්ට දැනුවත්ව මනසට සිද්ද කරන විකාරයක්. මහත් වෙලා කියලා ඇගට දැනුනට ඒක හිත පිලිගන්නේ කන්නාඩියෙන් බැලුවා ම.එතකොට කන්නාඩියද විකාර?නැත්තං තෙල් මන්ද මෝරනකන් ඉවක් බවක් නැතුව කාපු බීපු තමන් ම ද විකාර?
මං මතුකරන්නේ අන්න ඒ තර්කනය. කවුද ? කොතැනද? කොහොමද ?මොනවටද ? විකාර කියන එක.

8.කලාකරුවෙක් කියන්නේ සිහින දකින්නෙක් ද?
කලාකරුවා කියන්නේ සිහින දකින්නෙක් නෙමෙයි., සුබ ප්‍රාර්ථනාකරුවෙක්! ඒකට හේතුව සිහින කියන්නෙ ම ඉශ්ඨ නොවෙන දෙයක්.ඒ බව කොහොම කොයි විදියට මොන හීනේ දැක්කත් අපි දන්නවා.නැත්තං මට ඔබට උත්තරේ පිණිස කියන්න තිබ්බා.ඔව් කලාකරුවා කියන්නේ යහපත් සමාජයක් වෙනුවෙන් සිහින දකින්නෙක් කියලා.ඒක පට්ටපල් බොරුවක්.තේරුමක් නැති වැඩක්.කලාකරුවෙක් වෙන්න ඕන සමාජය වෙනුවෙන් සුබ ප්‍රාර්ථනාවන් කරන එක .ප්‍රාර්ථනාවක් කියන්නේ ම බලාපොරොත්තුවක්. බලාපොරොත්තු කියන්නේ ම මිනිසුන්ව ජීවත් කරන ජාතියක්. මිනිස්සු වැඩ කරන්නේ ඒ බලාපොරොත්තු වෙනුවෙන් .හීන වෙනුවෙන් නෙමෙයි .හීනවලදි වෙන්නේ මිනිස්සු ඩිඇක්ටිවේට් වෙන එක ප්‍රාර්ථනාවලදි වෙන්නේ ඇක්ටිවේට් වෙන එක.ඉතිං ඒ නිසා කලාකරුවා කියන්නෙ මට අනුව ඩිඇක්ටිවේට් සිහින දකින්නෙක් නොවිය යුතුයි.
9. " තමා හිසට තම අතමය සෙවණැල්ල" යන්න මිනිසා නොහිත දෙවියන්ගේ සෙවණ සොයා ඇදෙන්නේ ඇයි ?
මිනිස්සු ආස ඒකටනේ., මිනිස්සුන්ට ලේසීනේ ඒක. අනික දෙවියන් කියන්නේ මිනිස්සුන්ගේ ම නිර්මිතයක් කියන එක මිනිස්සු හුගදෙනෙක් පිලිගන්න කැමති නෑ. මිනිස්සු ආස මිනිස්සු දෙවියන්ගේ නිර්මිතයක් කියලා පිලිගන්න.දෙවියන් කියන්නේ රාජ්‍යයේ පැවැත්මේ අදිසි හස්තය කියලා තේරුම් ගන්න මිනිස්සුන්ට ඕන නෑ. හේතුව තමන්ට දරාගන්න බැරි ඕන ම දෙයක් දෙවියන් ලවා කරවා ගැනීමේ බලාපොරොත්තුවට හානිකරගන්න කිසිම විදියකින් ඒ අය කැමති නෑ. ඒ කියන්නේ විභාග පාස් කරගන්න ඕන උන් ආස පාඩම් කරනවට වඩා පූජා වට්ටියක් වගේ භාරහාර ,දැකුම්වලින් ගේම ගහගන්න.මිනිමරුවෝ ,මංකොල්ලකාරයෝ කැමති උන් හම්බකරන සල්ලවලින් කතරගම ,මුන්නේශ්වරම් වගේ ගිහිං දැකුම් පිදුම් පුද කරලා තමන්ගේ ගේම ගහගන්න.ඉංජිනේරුවෝ කැමති වැස්ස නැති එකට විකල්ප තාක්ණයන් භාවිතා නොකර වැස්ස ඉල්ලලා, සෙත් පතා රිචුවල්ස් කරන්න. ඉතිං ඔය කිසිම දෙයක් කරගන්න බැරි වෙනවනේ ඔබ ඔය කියන විදියට තමා හිසට තම අතමය සෙවනැල්ල කියලා හිතන්න ගත්තොත්. ඉතිං ලෝකේ පවතිනකං ලංකාවේ මිනිස්සුන්ට දෙයියෝ දෙයියෝ ම තමයි !
අවසානයේ ඔබට දුර ඈත දේශයක විප්‍රවාසිව වෙසෙන සුබ ප්‍රාර්ථනාකරුවාගේ කතා පහ කියවන්නට කියමි.අවසන එසේ හමුවන සුබ ප්‍රාර්ථනා එළිවල පාට කියන්නට ඔබට ආරාධනා කරමි. එය ඔහුට තවත් සුබ ප්‍රාර්ථනාවක් හිතන්නට කමටහනක් වෙනවා නියත ය.

                                                                                                                                  - අයන්ත යුනේෂ් ප්‍රනාන්දු -

Comments

Popular posts from this blog

සිංහල සිනමා වංශය

සමාජ යථාර්ථවාදය සහ සිනමාව .

කසුකුසුව 01 - රත්න ශ්‍රී විජේසිංහ සමඟ