කසුකුසුව 03 - අජිත් පැරකුම් ජයසිංහ සමග


               Image may contain: one or more people and text

                                                                           ඒ පසු වුණු බ්‍රහස්පතින්දා සවස් යාමයේ ශ්‍රී පාලි මණ්ඩපයේ 5 B ශාලාවේ විද්‍යාර්ථයින්ට සාකච්ඡාවට තේමා වුයේ අජිත් පැරකුම් ජයසිංහ විසින් ලියැවුණු K point නවකතාව ය. එදින සාකච්ඡාවට ගීතිකා ධර්මසිංහ, ප්‍රදිප් ජයරත්න යන අය ද සහභාගී වු අතර ඔවුහු අප අතර පොත සම්බන්ධයෙන් තම අදහස් බෙදා ගත්තෝය. කෙසේ නමුත් මා පොත නොකියවා තිබුණු අතර, ඒ සාකච්ඡාවෙන් පසුව ලැබු උත්තේජනය හේතු කරගෙන මගේ කරුණාවන්ත මිතුරියගෙන් පොත ඉල්ලාගෙන කියවන්නට මම පෙළඹුනෙමි. පොත කියවන විට මට නිතර ම සිතෙන්නට පටන් ගත් දෙයක් නම් අප මේ ඇවිද යන්නේ දහසක් මිනිසුන්ගේ භෂ්මාවශේෂ කදු මතින් නොවේදැයි කියා ය. බොහෝ දෙනා නිවැරදි මං පෙන්වන මොහොතක ඔබට කල යුත්තේ කුමක් ද යන්න ගැන දෙවරක් සිතන්නට යොමු කරන පොතකි K point. මේ වෙනස් කසුකුසුව ඒ හදුනා නොගත් "රචකයා" වෙනුවෙනි.
1. නැවත ඉදිරි අනාගතයේ 87 - 89 භීෂණ කාලයක් රටේ ඇතිවිය හැකිද ?
එවැනි කැරැල්ලක් නැවත ඇති වීමට තිබෙන ඉඩ අවමයි. එයට හේතු රැසක් තිබෙනවා. පරම්පරාවන් අතර වෙනස ඒ අතරින් ප්‍රධානයි. වර්තමාන පරම්පරාවල චින්තනය, චර්යාව ඒ කැරැලිකාර පරම්පරාවන්ට වඩා සපුරා වෙනස්. වර්තමානයේ අන්තර්ජාලය ජීවිතවලට සම්බන්ධ වී තිබෙන ගැඹුර වගේ ම ජන විකාසයේ සිදු වී තිබෙන වෙනසත් සැලකිල්ලට ගත යුතුයි. උදාහරණයක් ලෙස දැන් තරුණ ජනගහනය එදාට සාපේක්ෂව අඩුයි. ඒ වගේ ම එදාට සාපේක්ෂව රැකියා වියුක්තියත් අඩුයි. ඒ වගේ ම සාක්ෂරතාව හා උගත්කමේ සාමාන්‍යයත් වැඩි වී තිබෙනවා. ඒ නිසා ඒ ආකාරයේ ම කැරැලි කෝලාහල ඇති වේ යයි සිතන්නට අමාරුයි.
2. තමන්ගේ ප්‍රේමය පවා පාවා දෙන තරමට මිනිසුන් මානසිකව වැටුනේ කෙසේද ?
මෙතනදී ප්‍රේමය යන්නෙන් ඔබ අදහස් කරන්නේ ආදරවන්තයකු, ආදරවන්තියක නම් එතැනදී පාවාදීම් වුණා වගේ ම පාවා නොදුන් අවස්ථා වැඩියි. හැබැයි, ප්‍රේමය සහෝදරත්වය, මිත්‍රත්වය වගේ කාරණා සම්බන්ධයෙන් සලකා බැලුවොත්, දරුණු අන්දමේ පාවාදීම් සිදුවුණ බව ඇත්ත. ඒත්, එම තත්වය සලකා බලන්නටත් වෙන්නෙ මර්දනයේ තිබුණු කෘරත්වය ඇතුළේයි. මිනිස් ශිෂ්ටත්වයේ සීමාවන් ඉක්මවපු වධහිංසනයන් ඇතුළෙ, භීතිය තුළ මිනිසුන් ක්‍රියා කරන විදිය හැම විට ම සාමාන්‍ය තත්වයන් තුළදී තේරුම් ගන්නට අමාරුයි.
3. කළු ජූලියකට හේතු වුණ සිදුවීම සහ 21 වැනි දා පාස්කු ප්‍රහාරයට හේතු වුණ සිදුවීම දේශපාලනිකව වෙනස් වූවත් ඒවායේ ප්‍රතිඵල ඉතාමත් හානිදායක යි. නමුත් එදාට වඩා අද තරුණ ප්‍රජාව හැසිරුණු ආකාරය ඉතාමත් වෙනස්. එයට හේතුව ඔබ දකින්නේ කොහොම ද ?
මම නම් එහෙම වෙනස්කමක් දකින්නේ නැහැ. කළු ජූලියේදි වගේ ම ආවේගශීලීව හැසිරුණු පිරිස් පාස්කු ඉරිදායින් පසුවත් දකින්නට ලැබුණා. ඒ වගේ ම බුද්ධිමත්ව කටයුතු කළ අයත් හිටියා. ප්‍රචණ්ඩත්වය වාචිකව දිරිගන්වපු අයත්, ප්‍රචණ්ඩත්වයට විරුද්ධ නොවීමෙන් එය දිරිගන්වපු අයත් හිටියා. එදා වගේ ම තමයි. බාහිර තත්වයන් විතරයි වෙනස් වෙලා තියෙන්නේ. අද බොහෝ ප්‍රචණ්ඩත්වයන් සිදු වන්නේ මහ පොළවට වඩා සමාජ මාධ්‍ය ඇතුළේයි.
.
4. "ගින්නෙන් උපන් සීතල" නරඹද්දී ප්‍රේක්ෂකයාට ජනතා විමුක්ති පෙරමුණ ගැන ප්‍රසාදයක් ඇතිවුවත්, ඔබේ නවකතාවෙන් ඒ ඇතිවුණු ප්‍රසාදය වෙනත් පැත්තකට හරවනවා. තීරයෙන් නුදුටු ජනතා විමුක්ති පෙරමුණක් ඔබ අප වෙත ගෙනවා. මේ දෙකේ වෙනස මොකක්ද ?

"ගින්නෙන් උපන් සීතල" නිර්මාණකරුවා වර්තමාන ජවිපෙ සීමාව ඇතුළෙ තමයි සිය නිර්මාණය කරන්නේ. එතනදී ඔහුට මට තරම් විවෘත වෙන්නට පුළුවන්කමක් නැහැ. හේතුව, මේ දැවැන්ත නිර්මාණය සඳහා යොදාගත් බොහෝ සම්පත් මෙන් ම එමගින් ඉලක්ක කරනු ලැබූ ප්‍රේක්ෂක ප්‍රජාවත් ජවිපෙ සාමාජිකයන්, හිතවතුන් සහ අනුගාමිකයන්. හැබැයි, ඔහුට ශක්තිමත් තිරරචනයක් ගොඩනගාගන්නට පුළුවන් වුණා නම් මෙම සීමාවන් ඇතුළේ පවා මීට වඩා දුරක් යන්නට තිබුණා කියලායි මා සිතන්නේ. මා ගින්නෙන් උපන් සීතල ගැන සිතන විදිය මේ වෙබ් ලිපියේ තිබෙනවා. http://praja.lk/…/%e0%b6%af%e0%b7%9a%e0%b7%81%e0%b6%b4%e0%…/
5. 87 - 88 සමයේ තරුණයා සහ අද තරුණයා අතර ඔබ දකින වෙනස කුමක්ද?
මෙයට මා කලින් දුන් පිළිතුරත් අදාළයි. 1980 දශකයේ අගභාගයට වඩා අද ලෝකය පරම්පරා දෙකකින් විතර ඉදිරියට ගිහින්. මේ එක් පරම්පරාවක් මා දකින්නේ ජංගම දුරකථන පරම්පරාව ලෙසයි. අනෙක් පරම්පරාව අන්තර්ජාල පරම්පරාව. ඒ නිසා ඉතා පැහැදිලි වෙනසක් දකින්නට ලැබෙනවා. එක පැත්තකින් අද තරුණයා තාක්ෂණිකව ඉතා පොහොසත්. හැබැයි, එදා තරුණයා දෘෂ්ටිවාදීමය වශයෙන් මීට වඩා අවදියෙන් සිටි කෙනෙක්. මාක්ස්වාදය වැනි දෘෂ්ටිවාදයක් එක්ක ජාතිකවාදය සම්බන්ධ කරගනිමින් ක්‍රම විරෝධී කැරැල්ලක් ගහපු තරුණ පරපුරක් එදා තිබුණේ. හැබැයි, අද වන විට මාක්ස්වාදය වැනි දෘෂ්ටිවාදයන් පසුබැහැලා. ජාතිකවාදයටත් වඩා අද වන විට ආගම්වාදය ඉදිරියට ඇවිත්. එදා ආගම්වාදය දැක්කේ පසුගාමී අදහසක් ලෙසයි. හැබැයි, අද එය තමයි ප්‍රධාන ම තලය.
6. මරණය දකිමින් මැරි නොමැරී ජීවත් වෙන එක කොහොම දෙයක් ද ?
මරණය ඉදිරියේ වුණත් මිනිහෙකු ලේසියෙන් පරාජය භාරගන්නේ නැහැ. අවසන් මොහොත දක්වා ම බලාපොරොත්තුසහගත වෙනවා. තමන්ව නොමැරෙයි කියා හිතනවා. ඇතැම් විට ඒක ෆැන්ටසියක් වුණත්, මිනිසුන් ඒ බව දැන දැනක් එහෙම කරනවා. සාමාන්‍ය පුරවැසියා මරාගෙන මැරෙන බෝම්බකරුවකු හෝ සියදිවි නසාගැනීමේ පෙළඹවීම් සහිත කාංසාවෙන් පෙළෙන අයෙකු නොවෙයි. හැම සාමාන්‍ය මිනිහා ම උත්සාහ කරන්නෙ මරණයෙන් බේරෙන්න.
7. මිනිසෙකුට යක්ෂයෙක් වෙන්න පුළුවන්ද ?
ශිෂ්ටත්වය ඔස්සේ ගොඩනගන ලද සංස්කෘතික කාරණා නොමැති නම් මිනිසා තිරිසනෙක් ම තමයි. තිරිසන්භාවය ඇතුළෙත් හොඳ නරක දෙකම තියෙනවා. තිරිසන්නුත් ආදරය කරනවා. ඒ වගේ ම තමයි, තිරිසන්නු තමන්ගෙ සතුරා විෂයෙහි ඉතා කෘර අන්දමින් කටයුතු කරනවා. ශිෂ්ටත්වය යටපත් වන හැම විට ම මිනිසුන් තුළ සිටින තිරිසනා ඉස්මතු වෙනවා. ඒක එක එක මට්ටමින් වෙන්නට පුළුවන්. බලය විසින් පවා ශිෂ්ටත්වය යටපත් කරනවා.
8. එදා රෝහණ විජේවීර , ජේ.ආර්. ජයවර්ධන පරාජය කරා නම් මේ පවතින තත්ත්වය සහ ඇති වු ගැටළු ( එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය,මුස්ලිම් අන්තවාදය) හාත්පසින් ම වෙනස් වෙන්නට තිබුණා නේද ?
එදා ජවිපෙ බලය ඇල්ලුවා නම් එයින් නරකක් වෙයි කියලා මා නම් හිතන්නේ නැහැ. හැබැයි, ජවිපෙටත් රුසියාවෙ බෝල්ෂෙවික් පක්ෂයට වගේ මුල් යුගයේ කෘර අන්දමින් කටයුතු කරන්නට සිදු වේවි ප්‍රතිවිප්ලවය පරාජය කරන්නට. අල්ලගෙන ඉන්නට පුළුවන් වුණොත් ජ.වි.පෙ.ට තිබුණ අවංක උවමනාව නිසා බොහෝ දේ වේගයෙන් ඉගෙනගෙන ඉදිරියට යන්නට ඉඩ තිබුණා. හැබැයි අනන්ත වැරදි කරගනීවි.
9. ඇයි අපේ වැඩිහිටියෝ අතීතයේ ජනතා විමුක්ති පෙරමුණට ප්‍රාණසමව ආදරය කළේ ? අපේ ආදරේ ලබාගන්න අද කිසිම දේශපාලන පක්ෂයකට බැරි වුණේ ඇයි ?
අදට වඩා විශේෂත්වයක් එදා තිබුණෙ නැහැ. ජවිපෙට ආදරය කළ අය වගේ ම වෛර කළ අයත් හිටියා. 1987 ජුලි ඉන්දු - ලංකා ගිවිසුම අත්සන් කරන මොහොත දක්වා ම ජ.වි.පෙ.ට සමාජයේ ලොකු බලයක් තිබුණෙ නැහැ. ඒ ගිවිසුම රට පාවා දීමක් ය කියන අදහස සමාජය තුළ ස්ථාපිත කරන්නට එදා සිටි විපක්ෂය සමත් වුණා. ජවිපෙත් ඒ හා ආසන්න මතයකයි හිටියේ. විශේෂයෙන් ම ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් ජවිපෙට තිබුණේ සිංහල ජාතිකවාදය පැත්තට නැඹුරු අදහසක්. ඒ නිසා ජවිපෙත් ඒ මතය වැළඳගත්තා. ජවිපෙ එතැනදී වඩා සටන්කාමී වුණ නිසාත්, පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ස්වභාවය නිසා එයට එරෙහිව පැවති ජනමතයත් ජවිපෙට ලොකු ගමනක් යන්නට වාහනයක් වුණා. අද තත්වය වෙලා තියෙන්නේ කිසිදු දේශපාලන පක්ෂයකට ජවිපෙ එදා පෙන්වූ අවංකත්වය ප්‍රදර්ශනය කරන්නට බැරි වී තිබෙන එකයි. අවංකත්වය ප්‍රදර්ශනය කරන්නට නම් ජීවිත පරිත්‍යාග කරමින් අවදානම් අරගන්නට පුළුවන් වෙන්නට ඕනැ. අද කවුරුවත් එහෙම කරන්නෙ නැහැ. කොටි සංවිධානෙන් පසුව එහෙම දෙයක් කළේ ඉස්ලාම් අන්තවාදීන් විතරයි. සිංහල සමාජයේ එහෙම ලක්ෂණ නැහැ.
10.ආයෙමත් ලංකාවේ විජේවීර වගේ legend එකක් බිහිවෙන්න පුළුවන් ද ?
විජේවීර වගේ පුරාවෘත්තයක් බිහි නොවුණත්, මහින්ද වගේ පුරාවෘත්ත මේ රටේ බිහි වෙලා තිබෙනවා ය කියන එක අප අමතක කළ යුතු නැහැ. කැමති වුණත්, නැතත්, ප්‍රභාකරනුත් දෙමළ සමාජයේ පුරාවෘත්තයක්. මුස්ලිම් සමාජය ඉස්ලාම් අන්තවාදීන් සම්බන්ධයෙන් කෙසේ සලකයි ද කියන කාරණය තවම කියන්නට බැහැ. පුරාවෘත්තමය චරිත බිහි වෙන එක දිගට ම සිදු වෙයි. හැබැයි, ඕනෑම පුරාවෘත්තමය චරිතයක් එය පිළිගන්නා අයට හොඳයි වගේ ම ප්‍රතික්ෂේප කරන අයට නරකයි.
අපි ප්‍රභාකරන්ට වඩා හිට්ලර් කල,කී දෑ ගැන හොදින් දනිමු. විජේවිරට වඩා චේ ගුවේරා ගැන කියවමු. අප කවුද, අප කුමක් ද කලේ, අපට මොකද වුණේ, අප කුමක් ද කරන්නේ, අපට කුමක් ද වෙන්නේ කියා නොදත් විසි එක් මිලියනයක් වෙමු. ඉතින් හෙටත් එලෙසම ඇහැරවෙනවා ද, අද අවබෝධයෙන් නින්දට යනවා ද යන්න මේ රටේ හුස්ම හෙලනා පුරවැසියෙකු වන ඔබේ එක් තීරණයක් පමණි.

                                                                                                                                  - අයන්ත යුනේෂ් ප්‍රනාන්දු -

Comments

Popular posts from this blog

සිංහල සිනමා වංශය

සමාජ යථාර්ථවාදය සහ සිනමාව .

කසුකුසුව 01 - රත්න ශ්‍රී විජේසිංහ සමඟ