කසුකුසුව 02 - සංජය ඈපා සෙනෙවිරත්න සමග


                                                                               
                                                                               අපි හමුවුයේ එක්තරා සිකුරාදා රාත්‍රියක හරි අහුඹු විදිහකට ය. මගේ මිතුරියක් මට එවු "ඒ පෙති තොල් පෙති අතරින්" ගීයේ ගායකයාට එයින් ලැබු වින්දනය එක දෙක කරමින් කියද්දි, පසක ඔහුගේ මිතුරා වේග රිද්මයෙන් වැයෙන රොක් ගීයට නටන නිදහස්කාමී තරුණ,තරුණියන් දෙස බලා උනි. ඒ මොහොතේ අපි උන්නේ රෝයල් තැප්‍රොබේනියන්හි ඩොමිනිකන් චන්ද්‍රසාලිගේ සිතුවමට යටින් ඇති පාලමේ මැද කොටසේහි ය. ඔහු අප දෙස බලා පාලම යටට දෑස් යොමා ගායකයාට මෙසේ කීවේය.
" අපරාදේ අර යකාගේ අතේ වැදිලා බීයර් කෑන් එක පහලට වැටුණානේ අමිල. මට තාම අමාරුයි බං"
ඒ සංජය ඈපා සෙනෙවිරත්න ය. අප මුලින් ම හමුවුනු තැනම කසුකුසුවට වෙසක් දා එකතු වුණෙමු. වෙනදා මෙන් එහි කලබලයක් එහි නැති වු අතර "සිම්බා" පමණක් කසුකුසුවට එන්නට හැදුවේය. පසුව පියෙන් පිය නැග උඩ තට්ටුවට ගොස් කසුකුසුවට අපි එක්වුණෙමු.
1. අන් දේශපාලන මත හා දෘෂ්ඨිවාදවලට වඩා චේට සහ ඔහුගේ දේශපාලනයට ආශක්ත වන්නේ ඇයි?
කොහොමත් පොඩිකාලේ ඉඳලා අපේ ගෙදර වාමාංශික පොතපත සෑහෙන්න තිබුණා. මට මුලින් ම කියවන්න ලැබුණේ රුසියන් සාහිත්‍ය කෘති. ඊට පස්සේ සෝවියට් දේශයේ සඟරා අපේ ගෙදරට මාස්පතා ආවා. මගේ මාමා වසන්ත විට්ටච්චිට වාමාංශික නැඹුරුවක් තිබුණා. ළාබාල වුණත් එයාගේ වමාංශික අදහස් මගේ සිත් ගත්තා. ඒ වගේ ම ජීවත් වෙද්දීත් ගොඩාක් මානුෂ්‍යත්වය සහ සහෝදරත්වය බෙදා ගන්න පුළුවන් අවස්ථාවක් මේක ඇතුලේ තියෙනවා නේද, උණුසුමක් තියෙනවා නේද හැඟීමක් දැනුණා. ඒකත් එක්ක තමයි වමට බර වෙලා හිතන්න පටන් ගත්තේ, වැඩ කරන්න පටන් ගත්තේ.
2. ගැඹුරු කටහඬක් ලැබිමයි, ඉතාමත් සිනිඳු, සැහැල්ලු ගීත ලියන්න ඉසියුම් හදවතක් ලැබුණ එකයි ජිවිතයට කොහොමද ?
කටහඬ ලැබීම කියන එක ආත්මීය දෙයක් කියලා මම හිතන්නේ නෑ. ඒක පැට්‍රිස් එකක්. උපදිනකොට එක එක්කෙනාට වෙනස් කටහඬවල් තියෙන්නේ. මම නාට්‍ය හා රංග කලාව කියන විෂයත් එක්ක සෑහෙන්න කාලයක් ගත කළා. ඒකේදි, වැඩමුළුවලදී අපි විවිධ අභ්‍යාසයන් කරනවා. ඒ අභ්‍යාසයන් එක්ක තමයි හඩේ දිග පළල පුළුල් වුනේ. හඬ ගැඹුරුයි කියන එකයි, මං ලියන සින්දු සැහැල්ලුයි කියන දෙක අතරේ මට කිසිම බැඳීමක් නෑ. කටහඬ කියන්නේ මගේ ශබ්දය පිට කරන තැනක්. නමුත් ලියවිලි කියන්නේ මගේ සිතිවිලි පිට කරන තැනක්. එතකොට ඒ සිතිවිලි විවිධ පැහැයන් ගන්නවා. ගැඹුරු තැන්, සැහැල්ලු තැන් වෙනස් තැන් ස්පර්ශ වෙනවා. ඉතිං ඒක තීරණය වෙන්නේ ලියන කාරණාව සහ ඒ අත්දැකීමට මුහුණ දෙන විදිහත් එක්ක. ලියද්දි මම ඒකේ ඇතුලට ගියාම, මට ඒකේ ඇතුලේ තියෙන වචනත් එක්ක මිසක්, අනවශ්‍ය වචන හරි,මම මේක ටිකක් බර කරන්න ඕන කියලා හරි හිතලා වැඩ කරන්න ඕනේ කියන එකක් නෙමේ තියෙන්නේ. මම ලියන්නේ ඒ මොහොතට මුහුණ දෙන විදිය.
3. ප්‍රේමයක් කොච්චරක් විතර රිදුම් දෙන සුළු විය යුතු ද ගීතයක් වෙන්න ?
ප්‍රේමය රිදෙන එක අච්චර ද මෙච්චර ද කියන එක ප්‍රමාණයක් නෑ. රිදුනාම රිදෙනවා. ප්‍රේමය නම් ප්‍රේමය. ඒකෙ වේදනාවේ තරමට මෙච්චර වචන,මෙච්චර ගැඹුරුයි කියලා එහෙම දෙයක් නෑ. රිදුනොත් රිදුනා. ආදරය කළොත් ආදරය කළා. ඔය හැම දෙයක් ම පවතින දේවල්නේ. අපිට හැමවෙලේ ම හමුවෙනවා., මුහුණ දෙනවා. ප්‍රේමය රිදෙනවා කියන එක මාර එකක් ම නෙමෙයි. මං කියන්නේ හැමෝම ප්‍රේමයට සංවේදී., ප්‍රේමය රිදුණාම ලියනවා වගේ ඒවානේ බහුජනප්‍රිය අදහස. ඇයි සමාජය අපිව රිද්දනනේ නැද්ද ? අසල්වාසියා, අනෙකා රිද්දන්නේ නැද්ද ? මං හිතන්නේ අපේ පරම්පරාව ඒ රිදුම ප්‍රේමයේ රිදුමට වඩා වින්දා සහ දරා ගත්තා. පෙම්වතියකට එච්චර රිද්දන්න බෑ. අපේ යුගයේ අප මුහුණ දුන්න අත්දැකීම් එක්ක ඊට වඩා බරපතළ විදියට රිද්දුවා අපිව සමාජය. ජනතාව ගණන් ගන්නේ නැහැනේ මේ රටේ දේශපාලකයින්. මේ මොහොතේදි දේශපාලන වාතාවරණය නිසා වඩාත් වේදනාවෙන් ඉන්නේ.
4. රට ගැන ගීත ලියවෙන්න යුද්ධයක් තියෙන්න ඕනේ ද ? ඇයි මිනිස්සු දැන් රටට ආදරේ නැද්ද ?
පහුගිය පැවති යුද වාතාවරණයේදි දේශාභිමානි ගීත ලියැවිලා තියෙනවා. 71,88 - 89 කාලයේ දී ඒ කැරලිවලට අදාළ අය ඒවාට බරවෙන්න සිංදු ලියලා තියෙනවා. රට ගැන සිංදු ලියනවා කියන එක ගේමක්. දේශාභිමානී ගී ලියැවුණේ යුද වාතාවරණයක් ඇතුලේ. යුද්ධය කියන්නේ ගේම් එකක්නේ. එතකොට ඒ දේශයට ආදරය කරපු දේශප්‍රේමීන් දැන් කෝ? ඒවා ලියපු අය දැන් පෙනි හිටින තැන් දැක්කාම ඒවා මොකටද ලිව්වේ මොනවාද , මොකටද ලිව්වේ කියලා හිතෙනවානේ. එතකොට ඒ සෙල්ලමක් කරලා තියෙන්නේ කියලා පහුකාලීනව එලිවෙනවා. දැන් මේ මොහොතේ පවතින තත්වයට මූල බීජ වපුරගන්න හදපු සෙල්ලමක් ඔවුන් ඒ කලේ. යටත්විජිත සමයේ පවා දේශාභිමානයෙන් ලියපු දේවල් තිබුණා. නමුත් පසුගිය කාලයේ ලියපු දේශාභිමානී ගීත කියන ජාතිය තනිකර පොලිටිකල් ගේම් එකක්. හොඳට බලන්න ඒ ගීත වලින් ප්‍රකාශ කරන දේ ගැන. මේවා ඔක්කොම දේශපාලනික කාරණා මත බිහිවුණ ඒවා මිසක් ශ්‍රී ලාංකික යන හැඟීමෙන් ලියපු ඒවා නෙමේ. මට දැනිලා තියෙනවා සමහරක් සිංදු අහන කොට අපේ රටේ තව ජන කොටසක් හිංසාවට ලක් කරන්න, පීඩාවට ලක් කරන්න ලියැවිලා තියෙන විදිහ. දේශාභිමානී ගීතයකින් එහෙම දෙයක් විය යුතු නෑ. ඔය ඇතැම් ගීතවලින් දේශභිමානය නෙමෙයි තමන්ගේ හීනමානයයි ප්‍රකාශ කෙරෙන්නේ.
5. ඔබේ බොහෝ ගීත ලියැවිලා තියෙන්නේ එකම රටවාකට. හරියට නිසදැසක් වගේ. එහෙම කරන්නේ ඕනකමින් ද? නැත්නම් හිතට අයාලේ යන්න ඉඩ දෙන හින්දා ද ?
එකම රටාවක්, එකම විදියක් කියල ඔයාට දැනෙන්න පුළුවන්. තව කෙනෙක්ට ඒක වෙන විදිහකට දැනෙන්න පුළුවන්. මං ඒ වැඩේට අදාල භාෂාව හා විදිය පාවිච්චි කරනවා කියන තැන තමා මම ඉන්නේ. සමහරක් වෙලාවට පොත් කවරයකට වැඩේට අදාළ වර්ණ ටික තෝරගන්නවා වගේ තමයි, ගීතයකට අදහසක් ප්‍රකාශ කරන්න ගැලපෙන වචන ටික ගෙන්නේ. සාමාන්‍යයෙන් මං ලියද්දි විශාල කොළ ප්‍රමාණයක් පාවිච්චි කරනවා. කපලා, කොටලා ආයේ පැත්තකින් තියලා, ආයෙ අරන් ලියනවා...සමහරක් විට studio එකේදිත් වචනයක් දෙකක් වෙනස් වෙන්නත් පුළුවන්. සිංදුවක් කරද්දි මම අනිවාර්යයෙන්ම ස්ටුඩියෝ එකට යනවා. සමහරක් විට ඒක එළලා ගත්තා ම ඒක රටාවක් වෙන්න පුළුවන්. ඒක මං හිතලා කරන දෙයක් නෙමෙයි. කාලයක් මම advertising industry එකේ හිටියේ. ඒකෙ product එකෙන් product එකට language එක වෙනස් වෙනවානේ. ඒක හරි සූක්ෂම දෙයක්. මම මේක පුරුදුපුහුණු වෙලා තියෙනවා. වචන අදාල විදියට එකතු කලාම එන අදහස කොච්චර බලපෑම් සහගතද කියන එක මම දන්නවා. ඒ නිසා අදාළ වැඩේට අදාළ විදිහට මම වචන භාවිතා කරනවා.
6.ඔබව ගීත රචකයෙක් විදිහට මං දන්නේ සහ බොහෝ දෙනා දන්නේ කසුන් කල්හාරගේ "රෑ අහසින්" සහ "ඔබට මතකද තවම" ගීත දෙකෙන්. ඒක අහම්බයක් ද? නැත්නම් තවත් එක්තරා දැඩි මනුෂ බැදිමක ප්‍රථිපලයක් ද ?
ඔව්.,දැඩි මානුෂික බැඳීම්ක ප්‍රතිඵලයක් විදිහට තමයි ඒ ගීත දෙක බිහිවෙන්නේ. මම advertising agency එකක වැඩ කරන කාලේ කසුන් කතා කළා "කොහෙද ඉන්නේ? මොකද කරන්නේ?" කියලා. පස්සේ මම කසුන් හිටපු studio එකට ගියා. කසුන් ඇහුවා ලියපු මොනවත් නැද්ද කියලා. ඒ වෙලාවේ කිසි දෙයක් තිබූණු නැති හින්දා මං පස්සේ දවසක ලියපුවා දෙක තුනක් අරගෙන ස්ටුඩියෝ එකට ගියා. කසුන් ඔය දෙක අරගෙන කිව්වා "මචං අපි තව පාරක් මේක ලියමු ද ?" කියලා. මම ඒ වැඩේට හරි කෑමතියි. දවසක් කොළඹින් පිට ගාල්ල පැත්තට ගිහින් නිවාඩුවේ ඉන්න කොට "ඔබට මතක ද තවම" ගීතය සම්පූර්ණයෙන් ම ඉවර කරා. ඒ වගේ ම රෑ අහසිනුත් මං කීප වතාවක්ම ලිය,ලිය ඉවර කලා.
7. " රෑ අහසින්" ගීය ලියැවෙන්නේ හේතුවකට ද? අහේතුවකට ද?
මට එහෙම ලියන්න හේතුවක් කියල එකක් නෑ. මට ලියන්න තියෙන එක ම හේතුව, මම මොනාහරි ලියන්න ඕනේ කියලා හිතෙන එක. ඒක වෙලාවට කොල ටිකකුයි, පැන්සලක් හරි පොතක් හරි හොයාගෙන මොනාහරි ලියලා ඉවර කරලා පැත්තකින් තියනවා. කවුරුහරි ඇහුවොත් වැඩක් කරමුද කියලා, ඔය ලියපුකියපු දේවල් කිහිපයක් එක්ක හම්බවෙලා කතාබහ කරගෙන ඒ වැඩේ කරනවා. රෑ අහසිනුත් එහෙම ලියැවුණ දෙයක්. මේ සින්දුවට ගොඩාක් පිරිසක් විශාල ආදරයක් දැක්වූවා. ඒ love එකට මම ගොඩක් කැමතියි. ඔය සින්දුව කරලා අවුරුදු දොලහක් විතර වෙනවා. ඒක පරම්පරා දෙකකට මුහු වෙන්න ලොකු හේතුවක් වුණා කසුන් dell studio එකේ දි ඕක කියපු එක. ඔය සිංදුව මුලින්ම සංසරණය වුනේ CD එකෙන්. කසුන්ටත් ඒ සිංදුව නිසා හොද ප්‍රතිචාර ආවා.
8. ගීත ලියන එකෙයි පොත් කවර නිර්මාණය කරන එකයි වෙන් කරගන්නේ කොහොමද ?
ඔය දෙක ම එකයි. දෙකෙ ම language එකක්නේ තියෙන්නේ. අර colour සහ imageවලින් language එකක් හදනවා. ලියද්දි language එක පාවිච්චි කරලා වෙනස් ප්‍රකාශනයක් හදනවා. ඔය දෙකම කැන්වස්. දෙකේ ම work කරන්න පුළුවන්. මොකද මං විශ්වාස කරනවා designing අස්සෙ music තියෙනවා කියලා. Layout අස්සේ, අකුරු අස්සේ, චිත්‍ර අස්සේ ඒ music එක තියෙනවා. එක මම මගේ විදිහට කියවනවා.
9. කොච්චර ලස්සන ගීතයක් ලිව්වත් මුලින්ම මතක් වෙන්නේ ගායකයාව. ඒ ගීතයට රචකයාට වඩා වැඩි බරක් ගායකයා දරන හින්දා ද ?
ඒක ඇත්තක්නේ. ලෝක මට්ටමෙන් වුණත් ගීතය වෙනුවෙන් පෙනීසිටින්නේ ගායකයානේ. ඔහුගේ හඬනේ රසිකයා වැළඳගන්නේ. එතකොට ඒ ගීතය ගායකයාගේ තමයි. ගීතය ප්‍රකාශ කරන්නේ එයානේ. එතකොට ගයකයාගේ රූපයනේ මැවෙන්නේ. අමරදේවගේ, ජෝතිපාලගේ, රූකාන්තගේ, කසුන්ගේ සින්දු අපේ ඔළුවේ තියෙන්නේ ඒ ගොල්ලන්ගේ හඬ නිසානේ.
10. ඉතින් ඒ ගීතයේ සැබෑ හිමිකරුවාට ලැබිය යුතු වටිනාකම අහිමි වී යන එක ගැන ගැටළුවක් නැද්ද ? ඔබත් ගීත රචකයෙක් නිසා මේ කාරණාව නිසා පශ්චාත්තාප වෙනවාද ?
නෑ., මම සින්දුව ලියලා පෙට්ටගමක දාලා වහලා තිබ්බොත් මට විතරයිනේ ඒක සීමා වෙන්නේ. එහෙම දැම්මොත් ඒක ගීතයක් විදිහට නිර්මාණය වෙන්නේ කොහොමද ? අනිත් මිනිස්සු මං කියන දේ දැනගන්නේ කොහොම ද ?
11. ඉස්සෙල්ලාම ගීතයක් ලිව්වේ ඇයි? හේතුවක් එහෙම මතකද?
ඉස්සෙල්ලා ම ගීතයක් ලිව්වේ ඉස්කෝලේ කලා උළෙලකට. මගේ ඉස්කෝලේ වැල්ලම්පිටිය සිද්ධාර්ථය. පන්තියේ යාළුවෝ "උඹ ලියහන්, උඹ ලියහන් කියලා දිගටම බල කළා. මගේ රෙකෝඩ් කරපු පළවෙනි සින්දුව කළේ කිත්සිරි ජයසේකර.
12. තාමත් අපි සේකරගේ සිංදු අහන්නේ ඇයි? කියවන්නේ ඇයි?
මහගම සේකර කියන්නේ හරි දැවැන්ත චරිතයක්. ඔහුගේ ජිවිත කාලේ බොහෝ දේවල් කළා. සේකර කලා කටයුතු වෙනුවෙන් නොසෑහෙන්න මහන්සි වුණ චරිතයක්. සේකර කරපු හැමදේම රසවත්. සේකරව මගහැරලා කිසිම කවියෙක්ට,ගීත රචකයෙක්ට ඉන්න බැහැනේ. අමරදේවත් එක්ක එකතුවෙලා ඔහු ලාංකීය සංගීතයේ ලකුණක් තිබ්බා. ඔහු කලා ක්ෂේත්‍රයට කරපු දේට මම ගෞරව කරනවා වගේ ම තාමත් සේකරව මං, කියවනවා.,අහනවා. හිටපු ගමන් "ප්‍රබුද්ධ" අරගෙන සැරින් සැරේ අතට අරගෙන කියවනවා.,ආයෙ පැත්තකින් තීයනවා. සේකර දායාද කරපු දේවල් සෑහෙන්න අපිට බලපෑවා. ඒ බලපෑමට තියෙන ආදරය හින්ද තමයි සේකරව අපි තාම කියවන්නේ. ජීවිතය ගලන් යද්දි සේකරව අපිට හමුවෙන්න පටන් ගන්නේ සමාන්‍ය පෙල කාලේදි වගේනේ. එතකොට ඒ වෙලාවේ කියවපු සේකර ඒ වෙලාවේ. පස්සේ ඒ කවියම ඒ ලෙවල් කරන කාලේ ,දැන් අපිට කියවන්න ලැබුණාම හමුවෙන්නේ විවිධ අරුත් එක්ක. නිර්මාණය එකම වුණාට කාලයෙන් කාලයට අරුත වෙනස් වෙනවා. මම මුල් කාලේ කියවපු සේකර නෙමේ දැන් ඉන්නේ. සමහරක් මිනිස්සු ඉන්නවා ඇති ජීවිත කාලේ ම සේකර කියෙව්ව.
මං හරි ආසයි කා ගාව හරි තියෙනවා නම් මහගම සේකරගේ playlist එකක්, මඩවල එස් රත්නායක ගේ playlist එකක්... ඒත් එහෙම නෑනේ. අමරදේවගේ තියෙන්න පුළුවන්., රූකාන්තගේ තියෙන්න පුළුවන්. හැබැයි රචකයෙක්ගේ කියලා playlist එකක් නෑ. මෑතකදි සමහරක් රචකයෝ ඒ ගොල්ලන්ගේ albums out කරලා තියෙනවා. එතකොට නම් අපිට රචකයා අහුවෙනවා. හැබැයි දැන් නම් youtube,facebookවල ගීත රචකයන් කවී,ගීත list කරලා තියෙනවා.
13. ඔබ දකින විදිහට ලියන්නෙක් කියන්නේ කවුද ?
ලියන්නෙක් කියන්නේ නොලියන්නෙක්. ලියනවා කියන්නේ වේගයෙන් කරගෙන යන වැඩක් නෙමෙයි. ලියන්නෝ වැඩිපුරම කරන්නේ නොලිය ඉන්න එක. නොලිය ඉන්න ගමන් තමා ලියන්නේ.
14. ලියන්න වැඩිපුරම වේදනාවක් දුන්න සහ ඔබට තවමත් ඇහෙන විට හිතේ සැනසුමක් ඇතිවෙන ගීත මොනවාද ?
අර මුලින් ම ඉස්මතු කරපු සිංදු දෙක තමයි. නිතර නිතර හමුවන තැන්වල, වල බහින තැන්වල නිතර නිතර ම කියැවිලා මගේ හිතේ ඒ සිංදු දෙක ගැඹුරු තැනක තියෙනවා. නමුත් ඒ දෙක හින්දා අමුතු සතුටකවත්, දුකක්වත් ඇති වෙන්නේ නෑ. මං ලියපු සිංදු කිහිපය මම ඉදලා,හිටලා අහනවා. සමහර විට අලුතින් සින්දුවක් ලියන්න ගියාම හරි ලිව්වම හරි මම කලින් ලියපු වචන තියනවද කියල බලන්න අර පරණ සින්දු ටික අහනවා. සමහරක් කලාතුරකින් එන මොහොතවල් තියෙනවා නිදහසේ පැත්තකට ගිහිල්ලා ඔය සින්දු කිහිපය අහන. සමහර දේවල් තියෙනවානේ පොඩි ගට් එකක් ගන්න පුළුවන් දේවල්. මම කරපු වැඩ පැත්තකින් තියලා ඒවා මම ම ද කළේ කියලා හිතන්න, මම මාව ම විදගන්න ඒක අවස්ථාවක් කර ගන්නවා. ජිවිත කාලය පුරාවට අපි ඇතුලේ අපි රහක් හදාගන්නවනේ. ඒ දේවල් අපි පුරුදු පුහුණු කරලා වර්ධනය කරගත්ත දේවල්නේ. සංසාරයෙන් ගෙනාපු දේවල් නෙමෙයිනේ. ඉතින් ඒක condition එක තරමක් strong කරගන්න ලියපු කොළ ටිකක් පෙරළා බලනවා.,කරපු සිංදු ටිකක් පැත්තකට ගිහින් අහනවා., ටක් ටක් ගාලා පරණ පොත් කවර ටිකක් බලනවා.
14. ගීත රචකයෙක්‍ට ආදරෙන් හැර වෙනත් විදිහකින් අන්තවාදියෙක් වෙන්න බෑනේද?
මං කියන්නේ කවුරු වුණත් ආදරේටත් අන්තවාදීයෙක් වුනොත් ඔහු ත්‍රස්තවාදීයෙක් වෙනවා. එහෙම අය තමයි සිය දිවි හානි කර ගන්නේ. පෙම්වතියට පිහියෙන් අනින්නේ. ආදරය කියන්නේ share එකක්නේ. ඒක පෞද්ගලිකව තියාගෙන,ඒකට ඉරිසියා කරලා,හීන මානයට පත්වෙලා තමයි ඕක අන්තවාදය දක්වා යන්නේ. ආදරය ඕනෑම තත්ත්වයක් යටතේ දරා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ආදරය හරහා අපිට විවිධ දේවල්, විවිධ ප්‍රතිඵල ලැබෙනවානේ. ඒක දරාගන්න නැතුව,අන්තවාදියෙක් වුනොත් ඔහු ත්‍රස්තවාදියෙක් වෙනවා.
15. ඇත්තටම ජිවිතය ගීතයක් ද ?
ජීවිතය කියන්න හරි සංකීර්ණ ගමනක්නේ. ඒක ගීතයක අහලකින්වත් තියන්න බෑ. ජීවිතය කියන්නේ ඊට වඩා විශාල දෙයක්. ජීවිතය ඇතුලෙන්නේ ගීතය බිහි වෙන්නෙත්. ඒ නිසා වඩා විශාල ජීවිතය. ගීතය හරි අනිත් දේවල් කියන්නේත් ජීවිතේ පොඩි පොඩි කොටස්.
අප නැවත පහලට යනවිට සිම්බා හිටියේ නැත. "අපි මචං" කණ්ඩායම කරන "සිකුරුලියා" කවරය ඇහෙමින් තිබෙන අතර එය නාසා තරුණයෙක් පියානෝව වාදනය කරමින් හිදි. වෙසක් පොහෝයෙත් පොත් ගන්න ආ පවුලක දරුවෙක් රාක්කයෙන් ගත් පොතක් නැවත එය ඇතුලට අසීරුවෙන් රිංගවන්නට හදයි. පොත් පලසෙන් පොත් දෙකක් බෑගයට දමා, සංජය අයියා වැලදගෙන වෙන්වුයේ ඉක්මණින් හමුවෙන බව පිලිණ දෙමිනි.

                                                                                                                          - අයන්ත යුනේෂ් ප්‍රනාන්දු -

Comments

Popular posts from this blog

සිංහල සිනමා වංශය

සමාජ යථාර්ථවාදය සහ සිනමාව .

කසුකුසුව 01 - රත්න ශ්‍රී විජේසිංහ සමඟ