කසුකුසුව 14 - කසුන් මහේන්ද්‍ර හීනටිගල සමග

කෙටි චිත්‍රපටියක් ලෙස මම මා මුල් වතාවට නැරඹු නිර්මාණය මට මතක නැතිමුදු මතක හිටින ලෙස නැරඹු මුල් ම කෙටි චිත්‍රපටය නම් තිසර ඉඹුලානගේ "ලබ්බේ තොයිලේ" යයි. ඉන් ලැබු ආශ්වාදයත් සමග කෙටි චිත්‍රපට ගැන ඇල්ම වැඩි වු අතර අගනුවර පැවතුනු එවන් සිනමා ප්‍රදර්ශන කිහිපයක් නැරඹිමට ගියේ ඒ විෂයට වු අතිශය ඇල්මකිනි. අද ඔබ වෙත මා ගෙන එන කසුකුසුව සිදුවුයේ එවන් කෙටි චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු සමග ය. ඒ ජුනි මස 18 වන දින තරංගනි සිනමාශාලාවේ මුල් වරට තිරගත කෙරු "අපි කොහෙද යන්නේ" චිත්‍රපටයේ අධ්‍යක්ෂක කසුන් මහේන්ද්‍ර හීනටිගල සමග ය. එසේම ඔහු 2014 වසරේදි තම කුළුදුල් කාව්‍ය සංග්‍රහය වන "කවි ඇසිඩ්" කාව්‍ය සංග්‍රහය එළි දක්වනු ලැබිය.
1. අපි කොහෙද යන්නේ කියන එක ගැන අපිට අවබෝධයක් තියෙනවා ද?
මිනිස්සු ජීවිත කාලෙ වැඩිපුරම කරන්නෙ ඒ ගමන අවබෝධ කරගන්න උත්සාහ කරන එක. එක්කො දැනුවත්ව, එහෙම නැත්නං අවිඥානිකව හරි හැම මොහොතක් ම අපි ගෙවන්නෙ ' ඊළඟට අපි කොහෙද යන්නෙ ' කියන ප්‍රශ්නාර්ථයත් එක්ක. ඒ මත තමයි පිරිමි, ගැහැනු සියල්ලන්ගේ ම ජීවිත ලාලසාව විකසිත වෙන්නෙ. ඒ නිසා ඔබ, මම පොදුවේ ගත්තම අපි හැමෝම ' යන්නෙ කොහෙද ' කියන හැඟීම තමයි තත්පරයක් තත්පරයක් පාසා ක්‍රියාවට නංවන්නෙ. 'නිකොස් කසාන්සාකිස්' කියන ග්‍රීක රචකයා ලියපු 'සොර්බා නම් ග්‍රීකයා' පොතේ තැනක කියනවා, "එක් එක් මනුස්සයට වෙන් වෙච්ච තම තමන්ගෙ ස්වර්ග තියෙනව" කියල. කෙනෙක්ට සංගීතය ස්වර්ගය වෙන්න පුළුවන්. ක්‍රීඩකයෙක්ට ක්‍රීඩා පිටිය ස්වර්ගයක් වගේ පේන්න පුළුවන්. රසවතෙක්ට මධුවිතක් ස්වර්ගය වෙන්න පුළුවන්. කවියෙක්ට හුදෙකලාව ස්වර්ගයක් වෙන්න පුළුවන්. ඒ නිසා තමන් කැමති ස්වර්ගෙට තමා කැමති පාරෙන් පරිස්සමින් යන්නයි තියෙන්නෙ.
2. කෙටි චිත්‍රපටයකින් ප්‍රේක්ෂකයා සමග කරන කසුකුසුව අන් කලා මාධ්‍යවලින් (කවි,නවකතා,කෙටිකතා,චිත්‍ර) ඔවුන් සමග කරන සංවාදයට වඩා කොච්චරක් දුරට වෙනස් ද?
මෙහෙමයි., සිනමාව කියන්නේ රූප එක්ක කරන රූපමය ගනුදෙනුවක්. එතකොට ඒ රූපමය ක්‍රියාවලිය තුළ තමයි කෙටි චිත්‍රපටයත් අන්තර්ගත වෙන්නෙ. ඒ වගේ ම සිනමාව කියන්නෙ අසීමාන්තික විශ්ව භාෂාවක්. මොකද හොඳ සිනමාපටයකට පුළුවන් අපේ හදවත් පතුලට කිඳා බැහැලා හිතේ අඳුරු අහුමුලු වල තියෙන ගොළු - කළු කුහර පවා කූද්දන්න ; කතා කරවන්න. අන්න ඒකයි බහුතර ප්‍රේක්ෂකයට 'කවි' ගෙඩිපිටින් කට පාඩම් නොහිටියට තමන් ආස බයිස්කෝප් වල උප්පැන්නේ ඉඳන් මතක. ඒ තරමට ම ඒ සිනමා කෘතිය ආත්මීය වශයෙන් කා වැදිලා. අනික තමයි සිනමාවට නිශ්චිත එක් දේශ සීමාවක් නැහැ. කාල සීමාවක් නැහැ . ඒක සීමා මායිම් නැතුව නිදහසේ විඳගන්න පුළුවන්. වැදගත් ම දේ තමයි කවිය, නවකතාව, කෙටි කතාව, චිත්‍ර කලාව, ගීතය, මූර්ති කලාව , ඇයි ඒ විතරක් නෙමෙයි තාක්ෂණික උපක්‍රම සියල්ල 'සිනමා සෞන්දර්යය තුළ' හරි රහට ගොනු කිරීමේ විස්මිත හැකියාවක් පවතිනවා. සිනමාව කියන්නෙ ම ඔය සියලු කලා මාධ්‍යයන්ගෙන් සුපෝෂණය වන රස ගුලාවක්. ඔන්න ඔය නිසා ම තමයි කෙටි සිනමාපටයකින් වුණත් ලෝක ප්‍රේක්ෂකාගාරය එක්ක පුළුල් , නිදහස් කතාබහකට යන්න හැකියාව ලැබෙන්නෙ.
3. කවියන්ට වැඩිපුරම මගහැරුණේ ආදරය ද ?
ඔව්., ආදරය ! ඉතිහාසෙ ඉඳන් ම ගත්තම කවියො තමන්ගෙ කවීත්වය ඇතුළෙ වැඩිපුරම හොයන්න ට්‍රයි කරල තියෙන්නෙ ආදරේ. ඒ ආදරේ විවිධාකාරයි. වෙලාවකට මව්වත් පෙමක්, තවත් වෙලාවක පෙම්වතියකගෙ, පෙම්වතෙක්ගෙ , නන්නාඳුනන කෙනෙක්ගෙ ආදරේ , විප්ලවයක් වෙනුවෙන් කැපකරපු ආදරේ , මියගිය, මිස් වෙච්ච ආදරේ, යහපත් සමාජයක් වෙනුවෙන් බුර බුරා නැගෙන ආදරේ ... ඔන්න ඔහොම මේ ආදරේ රූපාන්තරණ හැඩතල හුඟක් තියෙන්න පුළුවන්. හොඳට ළංවෙලා ඉසියුම්ව කවි දිහා බැලුවොත් අපිට පේන්න පටන් ගන්නවා කවියො ආදරේ වෙනුවෙන් තමයි තමන්ගෙ ලියවිලි , සිතුවිලි , අරගල සියල්ල ගොනු කරල තියෙන්නෙ. ඕක සුන්දර ඇරියස් එකක්, අතීත කාමී හැඟීමක්, යම්කිසි බලාපොරොත්තුවක් වෙන්නත් පුළුවන්. දමිළ කවියෙක් වෙච්ච 'පුදුවෛ රත්නතුරෛ' ලියනව මෙන්න මෙහෙම. 'ශ්‍රී පාද කඳු මුදුනින් පමණි මා හිරු උදාව දකින්නට ප්‍රිය කරන්නේ ඒ අයිතිය මට අහිමි නොකරන්න' කියල. ඔය බලන්න කවියෙක් සමස්ත සමාජෙන් අයදින්නෙ මොන තරං වටිනා කියන මානුෂවාදී හැඟීමක් ද කියල. කවියා කියනව ඔහුගෙ අනුල්ලංඝනීය අයිතිය ඔහුගෙන් උදුරගන්නෙපා කියල. ඔය තුළත් අපිට පේන්න පටන් ගන්නව කවියට, කවියාට වගේ ම මුළු මහත් සමාජෙටත් මිස්වෙලා තියෙන්නෙ 'ලව්' කියල. ඒක යම් තරමකට හෝ තෘප්ත වුණ දවසට මීට වඩා යහපත් ලෝකයක් බිහිවේවි !
4. දමිළ ලාංකීය ප්‍රජාව වෙනුවෙන් හඩ නැගු ප්‍රබල ම සිංහල කවියා මංජුල වෙඩිවර්ධන ද ?
දමිළ ජනතාවගේ දේශපාලනික අයිතිය, අරගල කිරීමේ අයිතිය වගේම ජීවත් වීමේ අයිතිය ගැනත් මුලින්ම නිශ්චිත හරවත් කතාබහක් ආරම්භ වෙන්නෙ දමිළ සමාජයෙන්ම තමයි. අපි ගත්තොත් ඒ ආදිතම කතාබහ සාහිත්‍යයෙන් පෝෂණය කරපු විශිෂ්ට දමිළ කවියෙක් , රංගධරයෙක් තමයි 'ජෙයපාලන්'. ඒ වගේ ම චේරන්. දමිළ සාහිත්‍යය පෝෂණය කරපු විශිෂ්ට මුසල්මානු කවියෙක් තමයි එම්.ඒ.නුහ්මාන්. නුහ්මාන් තමයි ලියන්නෙ යාපනයේ පුස්තකාලය ගිනි තැබීම ' බුදුන් ඝාතනය කිරීමක්' කියල. ඔවුන් සතුව ඒ වගේ අතිශය දක්ෂ උත්ප්‍රාසාත්මක සාහිත්‍ය භාවිතයක්, අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කිරීමක් ,පෙනී සිටීමක් , 'මරු කොන්දක්' පැවතුණා. දැන් මං එන්නං ඔබ අහපු ප්‍රශ්නෙත් එක්ක සිංහල ජන සමාජයට හා සාහිත්‍යයේ නියෝජනයට. ජන ඝාතක යුද්ධයකට මානුෂවාදී මුහුණුවරක් දෙන්න තමයි බහුතරයක් දකුණේ ඉඳන් පෝළිම් ගැහිලා හිටියෙ. එහෙම මොහොතක ඉතාම සුළුතරයක් ' දමිළ ජනතාවගේ සිවිල් සහ දේශපාලනික අයිතිවාසිකම් ' වෙනුවෙන් තමන්ගෙ පෑන වමට බර කරල මෙහෙයවනව. ඒ අතර මට අනුව ප්‍රබල කවි ලියපු කිහිපදෙනක් ම ඉන්නව. අජිත් සී හේරත්, මංජුල වෙඩිවර්ධන , රෝහිත භාෂණ අබේවර්ධන, මහේෂ් මුණසිංහ වැන්නන්. ඒ අතරින් හේරා සහ වෙඩ්ඩා සුවිශේෂයි. ඒකෙ වැදගත් ම කාරණාව මේ කාව්‍යක්කාරයන්ට දේශපාලනයේ පමණක් නෙමෙයි , රෝමාන්තික කවියේ පවා සියුම් අහුමුලු වලට රිංගන්න තරම් දක්ෂතාවයක් පැවතුණා. අජිත් සී හේරත් වතාවක් ලියනව, ' මළ කඳන් හා උණ්ඩ මැද සිට - සමනලුන් හා මල් දකින නුඹ - වැරදි නම් කෙලෙසකින් කියමි ද - මල් ම මිස ලේ කවුරු පතති ද ' කියල. ඉතිං හිතන්න ඕක නෙවෙයි ද ඒ මොහොත. ඇයි එතකොට බෝම්බ පොකුරකින් සමාජයක් හිල් වෙලා තියෙන දැන් මේ මොහොත ! ඕක සර්වකාලීන කවියක් !!
5. චිත්‍රපටයක් කියන්නේ යථාර්ථයක් නොවුණත්, මනුස්සයෙක් සතුටෙන් ජිවත් වෙන්න උත්සාහ කරන කොට, ඔහුගේ හෝ ඇයගේ ජිවිතය විත්‍රපටයක් තරම් ම අපුරුයි ද?
සිනමාව කියන්නෙ සරලවම කිව්වොත් ජීවිතේ. එතකොට ඒක 'සියල්ලෝ ම සතුටින් විසිර ගියහ වගේ' අවසානයේ සතුටක්ම පමණක් විය යුතු නැහැ නේද ? මොකද ඇද වැටීම්, බිඳ වැටීම්, හිරිවැටීම්, හිත් රිදීම්, නැවත නැවත නැගිටීම් වලින් තමයි ඕනම කෙනෙක් පන්නරය ලබන්නෙ. හරියටම තැන තැන කොල විසිරිලා, වැරදිලා , කපලා, කොටලා, වදන් තුනපහ දාලා පිටපතක් ක්‍රමිකව පියවරෙන් පියවර වර්ධනය වෙලා අවසානයේ සිනමා කෘතියක් බවට පත්වෙනව වගේම. අන්න ඒ නිසා මං විශ්වාස කරනවා 'රහ' කියන අපූර්වත්වය තියෙන්නෙ සන්තුෂ්ටියේ ම විතරක් නෙමෙයි. විරහවේ, ශෝකයේ සහ ඉවසා බලා සිටීමේ පවා අපූර්වත්වයක් තියෙනවා. මම හිතනවා ඒක තමයි ජීවිතේ පුරාම ලෙහා ගන්න ඕනි, විඳගන්න ඕනි, දරාගන්න ඕනි පාඩම.
6. මිනිස්සු ජිවිතයේ වීරයෝ වෙන බොහෝ දෙනෙකුගේ අවුල් තැන් දකින කොට එක පිළිගන්න අකෑමති වෙන්නේ, ඒ තැන් පෙන්වා දෙන අයව විවේචනය කරන්න පෙළඹෙන්නේ ඇයි ?
මුලින්ම කියන්න ඕනි වීරයො කියන්නෙ මට අනුව, අර ඒලියන්ස්ලා වගේ ජාතියක්. මොකද ළඟින් ආශ්‍රය කරන්න නොලැබෙනකන් වීරයො කියන අය මාරයි. මාරම මාරයි කියල හිතෙන්නත් පුළුවන්. අපිට කවදාවත් මුහුණට මුහුණ හමු නොවනතාක් අඟහරු ජීවීන් අලුත්. මාරයි. අමුතුයි. අපිට වඩා වෙනස් වගේ මාර මාර ඒවා හිතෙනවා. ඒ නිසා කියන්න ඕනි වීරයො කියන්නෙ සමාජය විසින් හදපු 'අත්තක්.' අත්ත හදලා ඒකට අදාළ කෙනාව නග්ගලා ආහ් මෙන්න වීරයා කියලා කුරුසියෙ තියලා ඇණ ගහනවා.' පව් වැඩේ ! වීරයට ඇඳපු ඒ මනුස්සයා බලාගෙන ඉන්නෙ මේකෙන් දෙයියනේ කියල බැහැල නිදහසේ හුස්මක් කටක් ගන්න මොහොතක් එනකල්. අපේ අයියලා ඒකට ඉඩක් දෙන්නෙත් නැහැ. බුවාට එහාට හැරෙන්නත් බෑ. මෙහාට හැරෙන්නත් බෑ. ඔය නිසා මං නම් කියන්නෙ තාවකාලික වීරයො වෙනුවෙන් මිත්‍රයො එක්ක යුධ ප්‍රකාශ නොකරගෙන කරුණාකර වීරයව ගහෙන් බස්සල ඒ මනුස්සයට නිදහසේ පැවතෙන්න ආදරේ විතරක් දෙන්න කියල. ඒක තමයි සැබෑ වීරත්වය ! මොකද ඔහුත් මනුස්සයෙක්. රොබෝවරයෙක් නෙමෙයිනේ . එතකොට අවුල් වියවුල්, ප්‍රශ්න, විවේචන, පෙන්නන්න බැරි තැන්, අතිශය සුන්දර තැන්, හොඳ, නරක මේ හැමදේම වීරයා යැයි සම්මත කෙනා තුළ පවා අනිවාර්‍යයෙන්ම තියෙනව. අපි ඒක පිළිගන්න කොච්චර අකමැති වුණත් ඒක තමයි ඇත්ත. මොකද ශුද්ධ කිසිවක් මේ ලෝකෙ නොපවතින නිසා. ගොඩක් අය හිතනවා, වීරයා කියන්නෙ අර පොඩි කාලේ අපි කියෝපු සිරිමත් ජාතියෙ යහපත් ළමයෙක් විය යුතුයි, රහසින්වත් පව් නොකළ යුතුයි කියල. ඒ ජාතියෙ සුදෝ සුදු වීරයො කවදාවත් බිහි වෙන් නෑ. මොකද ජීවිත නාටකේ වීරයො කියන්නෙත් , දුෂ්ටයො කියන්නෙත් උඩින් ඉබේ පහල වෙන අය නෙමෙයි. මේ අපි ම තමයි !
7. තමන්ට කෑමති දෙයක් ලියන්න බැරි,ගයන්න බැරි, රගන්න රටක ජීවත් වෙන එක කලාකරුවෙක්ට මොන වගේ අත්දැකීමක් ද ?
අතිශය අප්පිරිය, තනි වචනෙන් කියනවා නං 'ඊයා' කියල හිතෙන , නමුත් සුළු කොට තකන්න බැරි බරපතල හැඟීමක් ඒක. මොකද ගෝලීය දේශපාලනය , කලාව, තාක්ෂණය , සිනමාව, අදහස් ප්‍රකාශනයේ නිදහස, ලිංගික නිදහස, ජීවත් වීමේ අයිතිය ලෝක මට්ටමින් තියුණු පුළුල් කතාබහකට නතු වන මොහොතක අරුම පුදුම දූපතක් හෙන බැරියස් කෝටියක් සහ ඇරියස් කෝටියක් කරේ එල්ලගෙන සෑහෙන ආපස්සට යනව. ඇස් ඇරලා බලනකොට අපේ මුළු වටපිටාවම ගෝත්‍රික ප්‍රවාහයක ඒකාධිපතීත්වයට ලක්වෙලා. හරියට අර පුනරුදයට කලින් තිබ්බ ' වැඩවසම් කාලෙ ' වගේ. නිර්මාණයක්, සිතුවිල්ලක් , ප්‍රකාශනයක් එළි දක්වන්න කලින් ආගමික සංස්ථාවන් වල අවසරය ගන්න සිද්ධ වෙලා. මේ අතිශය නරක 'රාජ්‍ය මුර බල්ලන්' බුර බුරා බලාගෙන ඉන්නෙ කලාකාමී අත් දිහා. අත ඔවුන්ගේ හිස පිරිමදිමින් ඉන්නවා නම් , සන්තෝසම් දෙනවා නං එහෙයි කියනවා නං 'අන්න කලාකරුවො' කියන්නත්, පවතින සමාජ ක්‍රමය ප්‍රශ්න කරනවා නං, සත්‍යය ගවේෂණයේ යෙදෙනවා නං, ප්‍රකාශනයේ නිදහස ඉල්ලා අරගලයේ යෙදෙනවා නං මේ බලාධිකාරිය ඒ අතිශය අහිංසක අත් හපන්නත්, හිර කරන්නත්, ප්‍රකාශන අයිතිය අමු අමුවේ මරා දමන්නත් කටයුතු කරනව. ඕක තමයි මේ මොහොත. එදා පට්ට ගතානුගතික සමාජයක ඉඳන් ' බව තරණය' වගේ කෘතියක් ලියන්න මාර්ටින් වික්‍රමසිංහ මහත්තයා අසීමාන්තික නිදහසක් හොයා ගන්නකොට අද වගේ දවසක කලාකරුවන්ට ඒ නිදහසේ 'නි' යන්නවත් හොයාගන්න නැහැ. වෙලාවට මේ රාජ්‍ය මුර බල්ලන්ට සාහිත්‍යයේ ගැඹුර නම් ලොවෙත් තේරෙන් නෑ. එහෙම වුණා නං එයාලගෙ ආගමික පොලීසිය හතර වෙනි තට්ටුවට කුදලාගෙන යන්නෙ, හිර කරන්නෙ ශක්තිකට කලින් ටිමා ව. මොකද ටිම්රාන් හරි ලස්සනට ලියනවනෙ පොඩ්ඩියේ කවිය ඇතුළෙ ' අම්මා බුදු ගෙයි බණ කතාවක් ලියපු විදිහ සහ ඒක දැකල මුචලින්ද පවා නයි කඳුළු හලපු ' විදිහ. අන්න ඒක තමයි අපි දකින , මේ වටපිටාවෙ හැමදාම සිද්ධ වුණ තිත්ත ඇත්ත. එතකොට මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කරන්න 'පලිහක් වශයෙන්' හඳුන්වා දීලා තියෙන, ICCPR වගේ පනතක් අතිශය නරක විදිහට , තමන්ට ඕනි ඕනි විදිහට අර්ථකථනය කරල 'කඩුවක් විදිහට' මුවහත් කරලා මේ රට ඇතුළෙ කලාකාමී බෙලි කපා දාන්න කටයුතු කරමින් ඉන්නව. මට මතක් වෙනවා ලෝක ප්‍රකට 'ජෝන් මාශල්' විනිසුරු ප්‍රකාශ කරපු ලස්සන කතාවක්. ' එක් අයෙක්ගේ අසභ්‍ය වචනය තවත් අයෙක්ගේ මිහිරිතම වචනය විය හැකියි.' ඒ නිසා මට කියන්න තියෙන්නෙ, කලාකරුවා කියන්නෙත් 'මනුස්සයෙක්' නිසා සැමට සිහින දකින්න තියෙන 'ශුද්ධ වූ අයිතිය ' ඔහුව රවුම් කරල, ඔහුට අහිමි කරන්නෙපා කියල.' මොකද මේ ගැටලුව තනි පුද්ගලයෙක්ගේ හෝ තනි කලාකරුවෙක්ගෙ ප්‍රශ්නයක් නෙමෙයි. සමස්ත සමාජයට ම බලපාන ඛේදයක්. මොකද කාටහරි තමන්ගෙ ලිං කටේ ඉඳන් අසභ්‍ය විදිහට පේන ප්‍රකාශන බොහෝමයක්, බොහෝ විට තවකෙක්ගෙ සොඳුරුතම , මිහිරිතම ප්‍රකාශනය ' වෙන්න පුළුවන් නිසා
8. ඕනෑ ම කවියෙක් තමන් කරන නිර්මාණයකදි නිරායාසයෙන් නිරතුරුවම එන වචනයක් තියෙනවා. එක කවියාගෙන් කවියාට භාවිතයේදි වෙනස්. මට ඔබෙන් හමුවුනේ "කොරෙන්ති" කියන වචනය ?
ඇත්තටම 'කොරින්ති' කියන්නෙ බයිබලයේ සඳහන් වන්නක්. මම ඉතාම කැමති කොටසක් තමයි කොරින්ති 13 තියෙන ' ප්‍රේම පාරමිතාව.' ඉවසිලිවන්තව, ඉසියුම්ව, සරලව සුගමව ඒත් ගැඹුරෙන් අපරදිග සාහිත්‍යය බයිබලය ඇතුළෙ ප්‍රේමය ගැන එහෙම ලියනවා. එතකොට පෙරදිග ඉඳන් පසු කාලීනව ඕශෝ , තන්ත්‍ර වගේ අයත් ප්‍රේමය ගැන ඒ හා සමාන ම කතා ' නිදහසේ , හරි ආදරෙන්' කියනව. සහ ඒවා ලියවෙමින්, පරිවර්තනය වෙමින්, ලෝකෙට මුදා හැරෙමින් අප කරා එනවා. ඒ නිසා කොරින්ති ආදරේ කරන, ප්‍රේමයෙන් බැඳෙන ලෝකවාසී හැමෝටම ලස්සන ජීවන පාඩමක් කියා දෙනවා. හැබැයි එය ඔබ ඉගෙනීමට සූදානම් නම් පමණක් ! අන්න ඒකයි වැදගත්. මේ ප්‍රේම පාරමිතාව ලෝකවාසී බහුතරය තේරුම් ගත්ත දවසට යුධ ගැටුම් , ජාතිවාදී කෝලහාල, බොරු කුල ප්‍රශ්න සියල්ලට විසඳුම් ලැබෙයි. මම ඒකට පට්ට ලව් ඒකයි. ' ප්‍රේමය ඉවසිලිවන්තය, කරුණාවන්තය, පාරට්ටු නොවේ. හනික නොකිපෙයි. නපුරු සිත් හි ධාරණය නොවෙයි. ලොවේ සියල්ල මා සතුව ඇතත් ප්‍රේමය මා අස නැති නං පලක් නැත!' බලන්න ලස්සන...
9. ඔබේ " කවි ඇසිඩ්" කාව්‍ය සංග්‍රහය නිකුත් කර තිබෙන්නේ යුද්ධය අවසන් වී වසර පහකට පසුවයි. එහි සිංහල භාෂාවෙන් "දෙමළ කවි" රාශියක් ලියැවුනේ ඒ කාලයට සාපේක්ෂව තිබුණු සමාජ,දේශපාලනික,සංස්කෘතික කාරණා සහ හේතු සාධක බලපෑමෙන්. එය කවියෙක්ට සිදුවිය යුතු පොදු දෙයක් ද ?
මම ඔතන දී සිංහල භාෂාවෙන් ලියවුණ 'දෙමළ කවි' කියන උද්ධෘතයට එකඟ නැහැ. මොකද එහෙම කරන්න පුළුවන් නං මං විශ්මකර්මයෙක් වෙන්න ඕනි. සිංහල භාෂාවෙන් දමිළ කවි පරිවර්තනය කරන්න පුළුවන්. සිංහලෙන් දමිළ ලියන්න බැහැ. නමුත් අපිට පුළුවන් දමිළ ජීවිත, ඒ අනවරත අරගලය, එක් එක් මාතෘකා, වටපිටාව, මානව හිමිකම්, දුක් සුසුම් වේදනා, මතක වස්තු සියල්ල නියෝජනය වන විදිහට කවි, කතා , සාහිත්‍ය ශානර ආදිය නියෝජනය කරන්න. ඒ නියෝජනය ඇතුළෙ ඒ යුගයට සාපේක්ෂව විතරක් නෙමෙයි ඒ ඒ සමාජ - දේශපාලනික, සංස්කෘතික කාරණා තවමත් ඒ ආකාරයෙන් ම අදාළයි. හොඳට ඇස් ඇරලා බැලුවොත් ඒ සහගහන අමූලික ඇත්ත අපිට පේනව. උතුරට වසන්තය ගියා කිව්වට වසන්තය යනකොට උතුර සමතලා කරලා ඉවරයි. වසන්තට වෙන්නෙ ගිය පයින්ම ආපහු හැරිලා එන්න. ඒ නිසා මම හිතනව 'කවි ඇසිඩ්' එදාට වඩා අදටත් හෙටටත් ඒ ආකාරයෙන් ම අදාළයි කියල. අනික 2014 කවි ඇසිඩ් කෘතිය නිකුත් කළාට එහි තියෙන යම් යම් කවි මම ඊට අවුරුදු ගාණකට පෙර ලියපුවා. ඔබ හොඳින් එය පරිශීලනය කළා නම් මතක් වෙයි, එහි තියෙනව ' ජමීලා ' කියල කවියක්. ඒක අයිත්මාතව්ගෙ ජමීලා පොත කියෝලා ඉස්කෝලෙ පොලිටිකල් පොත පිටිපස්සෙ මම ලියපු කුරුටු කවිය. මතක හැටියට ඒ 2009 අග හෝ 2010 මුල. ඒක ඒ කාලෙ තිබිච්ච 'සති මැද ලංකා' පුවත්පතේ පළ වුණා
10. ඔබේ කවිය, ඔබ නිර්මාණය කළ කෙටි චිත්‍රපටයට බලපෑවේ කොහොමද ?
මං හිතන්නෙ මගේ කෙටි සිනමාපටය නරඹපු ප්‍රේක්ෂකාගාරය තමයි ඒකට හරිම උත්තරේ දන්නේ. මොකද මම රූප ඔස්සේ ගෙත්තම් කරපු මේ සිනමා කාව්‍යය හුස්ම ගන්නෙ ප්‍රේක්ෂකාගාරයත් එක්ක. මම පැත්තකට වුණා. දැන් ඒ වින්දන පෙනහලු ඔබේ ! ඔබ කියන්න. මම අහන්නම්.
....................................................................................
"අපි කොහෙද යන්නේ" යන පැනයට පිළිතුර හෙව්වා නම් අපේ ජිවිතය මීටත් වඩා වෙනස් වන්නට ඉඩ තිබුණි., මීට වඩා වෙනස් රටක ජීවත් වෙන්නට හැකියාව තිබුණි. ඉතින් අපි කොහෙද යන්නේ කියන එක ගැන හිතන්නට " අපි කොහෙද යන්නේ" නැරඹිය යුතු ය. එය ඔබට අලුත් තැනකින් පටන් ගන්නට ආරම්භයක් වෙනවා නිසැක ය.
- අයන්ත යුනේෂ් ප්‍රනාන්දු -
Comments
Post a Comment