කසුකුසුව 12 - සදුන් ප්‍රියංකර විතානගේ සමග


               Image may contain: 1 person, standing, beard, sunglasses and outdoor
ඒ ගිය වසරේ ප්‍රලේඛනයේ පොත් ප්‍රදර්ශනයට සමගාමිව පැවැත් වු චිත්‍රපටි ප්‍රදර්ශනය අවසන් වු එක් සවස් යාමක් ය. වැස්ස කඩා වැටෙන්නට අරඇද්දේ දහවල් කාලේ සිට ය. වැටෙන වැහි බින්දු දෙස බලා මගේ අසල උන්නේ අනුරසිරි හෙට්ටිගේ ය. සමහරක් මොහොතක ඉදහිටක අප කාලෙකින් ඇසු ගී පද ,තණු මිමිණෙවා සේ මගේ මනසේත් එවන් පද පේලි ටිකක් ගැවසෙන්නට පටන් ගැණුනි. නමුත් ඒ කවියක් වන අතර, ඒ කවිය කියෙව්වේ කොහොමද , කවදාද යන්න නිශ්චිතව මතක තිබුණේ නැත.
" සර් එහෙටත් වහිනවා ඇති කවිය ලිව්වේ කවුද? "
"ම්ම්ම් සදුන්නේ., සදුන් ප්‍රියංකර විතානගේ ය."
ඉතින් "එහෙටත් වහිනවා ඇති" පොත හොයා මා හඹා ගියේ එදා සිට වන අතර, අවසානයේ මහින්ද අයියා ළග පොත තිබි එය තිළිණ කලේ "කමක් නෑ මල්ලි කවිනේ" කියමිනි. මේ කසුකුසුව ලියැවෙන්න පසුබිම සැකසු ඔහුව මේ මොහොතේ මතක් කළ යුතුම ය. මේ දිගහැරෙන්නේ සෑම වැස්සක ම මට සිහිවෙන කවි පේළිය ලියු ඒ කවියා සමග සිදුකෙරු "කසුකුසුව" ය.
1. ජනමාධ්‍යවේදීයා නමැති භූමිකාව ඔබේ කවියට බලපෑවේ කොහොමද ?
මුලින් ම කියන්න ඕන ජනමාධ්‍යවේදියෙක් වෙනවට වඩා පත්තරකාරයෙක් වෙන්නයි මට ඕන වුණේ. ඔබ අහලා තියෙන දහසක් ජනමාධ්‍යවේදියො අතර සුනිල් මාධව ප්‍රේමතිලක පත්තරකාරයෙක්., දයාසේන ගුණසිංහ පත්තරකාරයෙක්. සංසන්දනය පැහැදිලි ඇති. අද පත්තරකාරයො කියන්නෙ වඳ වෙලා යමින් ඉන්න කොට්ඨාසයක්.
පත්තකාරයො බොහෝ විට කවියෝ. පෙර මම සඳහන් කළ නම් දෙකත් ඇතුළත්ව තව බොහෝ නම් ගෙන්න පුළුවන් උදාහරණ විදිහට. මටත් ඕන වුණේ එහෙම වෙන්න. පත්තකාරයෝ දේවල් දකිනවා. විවිධ දේවල්. ඒවායෙ දෘශ්‍යමානයට එහා ගිය යථාර්ථය. සමහර වෙලාවට මාධ්‍ය අස්සෙන් ගේන්න බැරි දේවල් කවියෙන් ගේන්න පුළුවන්. කොහොම නමුත් කවිය පත්තරාකාරකමට එහා ගිය සූක්ෂ්ම යමක්. එය සාර්ථක කරගන්න පත්තරකාරකම පිටුබලයක්.
2. ආණ්ඩුව කලාකරුවාව දූෂණය කීරිමෙන් කලාවට සිදුවන්නේ කුමානාකාරයේ හානියක් ද?
මේ ප්‍රශ්නය ටිකක් පැටලිලි සහගත වුණත්, මම හිතනවා ඔබ අහන්නේ පවත්නා රෙජිමයන් කලකාරුවන් බිලිබා ගැනීම ගැන වෙන්න ඕන. ලංකාවෙ මේ වෙනකොට කලාකාරකම සහ නලාකාරකම අතර තියෙන්නෙ කෙස්ගහක වෙනසක්. මේ කලාකාරයො උන්නු ගමන් මේ නලාකාරයෝ වෙලා. වහා බැලූ ගමන් පේන දේට එහා ගිය සංකීර්ණකමක් මේ තත්වය අස්සේ තියෙනවා.
ලංකාවෙ අබ්බගාත ධනවාදය අස්සේ කලාකරුවාට පවතින්න අමාරු යි. දියුණු ධනපති රටවල මිනිස්සු අතිරික්ත ප්‍රාග්ධනය කලාව වෙනුවෙන් යෙදෙව්වට මෙහෙ ඒවා යොදවන්නේ ලොකු වාහනවලට නැත්නම් පිච්චමල් පූජාවලට, ලොකු පන්සල්වල බිමට ටයිල් අල්ලන්න. පැවැත්ම සඳහා කලාකරුවන්ට කුලී කුරක්කනක් කරන්න වෙලා තියනවා. කලා නිෂ්පාදනය මගින් පැවැත්ම හදාගන්න ඔහුට/ඇයට අමාරුයි. අනෙක් අතට කලාකරුවො කියන අයත් තමන්ගෙ නිෂ්පාදන විකුණගන්න හැකි යුගයේ ජෝගි නටලා වයසට ගියා ම ආණ්ඩුවෙන් ගෙවල් ඉල්ලනවා. දීමනා ඉල්ලනවා. දැන් මේවා දෙන්නත් ඕන සාමාන්‍ය පොදු මිනිහාට බදු ගහලා. මේක තේරුම් ගන්න ඕන. ජනතාව මත යැපෙන හොඳ තොගයක් ඉන්නවා. කලාකරුවොත් ඒ අය මත යැපෙන්න බලන් ඉන්න එපා. කවුරුවත් ඔබට කියන්නෙ නෑ කලාව කරන්න. කලාව කළේ නැත්නම් මරණවා කියලා කවුරුවත් ඔබේ හිසට පිස්තෝලයක් එල්ල කරන්නෙ නෑ.
ජනතාවගෙන් යැපෙන්නෙත් නැතුව රජගෙදර බිතක්කනේ ලගින්නෙත් නැතුව මේ වගේ රටක කලාව කරන්න බොහොම දැවැන්ත ධීර බවක්, ඉවසීමක් සහ ප්‍රඥාවක් අවශ්‍ය වෙනවා. පාරිභෝජනවාදෝත්තම සමාජයේ පැවතෙමින් ම ඒක කිරීම තවත් අමාරුයි. ඒ සටනේ විවිධ අදියරවලදි සමහරු සුදු කොඩි ඔසවලා යටත් වෙනවා. තවත් සමහරු අවසානය තෙක් වැහැරෙන්නෙ නැතිව සටන් කරනවා. හැබැයි සමකාලීන තත්වය බැලුවා ම සමහරු දූෂණය කරන්න පෙර දූෂණය කරගන්න පැනගෙන යන තත්වයක් තිබෙනවා. ඉතිහාසයේ උපයගත්ත දේවල් තුට්ටුවට දෙකට පරදුවට තියමින් යන හැටි දැක්ක ම අනුකම්පා හිතෙනවා. නම් වශයෙන් කියන්නත් පුළුවන් වුණත් ඒක පුද්ගල නම් පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. කාටහරි හැබැයි අභ්‍යාසයක් විදිහට පුළුවන් අපේ යුගයේ සටන්කාමී කලාකරුවා ධර්මසිරි බණ්ඩාරනායක ප්‍රතික්ෂේපිත ජනපති මෛත්‍රීපාල සිරිසේනගෙ සංස්කෘතික අධ්‍යක්ෂවරයා විදිහට තවමත් කටයුතු කරනවද කියලා හොයා බලන්න.
3. තමන්ගේ ප්‍රකාශනය සමාජගත නොකිරීමෙන් කලාකරුවා සමාජය විනාශයට හෙළනවාද?
ඒකත් ටිකක් විවාදාපන්නයි. කොහොම නමුත් කලාකරුවා කියන්නේ මනුෂ්‍යත්වය වැඩිපුර වගා-දිගා කරගත්තෙක්. ලෝකය පෙළගැහෙන්නේ අමනුෂ්‍යත්වය කෙරෙහි නම් එතැනදීත් කලාකරුවා තමන්ගෙ ප්‍රකාශනය සමාජගත නොකරනවා නම් ඔහු නිසැකව ම සමාජය විනාශයට හෙළනවා. මේ රට විවිධ අරගලයන්හි ලේවලින් පෙඟුණු රටක්. මෑතකදි ම ඇරඹෙන්නට ගිය යොන් මැරිල්ල සලකන්නකො. අපි දැක්කද කලාකරුවා තමන්ගේ ප්‍රකාශනය සමාජගත කරනවා? තනිකරම ප්‍රබන්ධයක් ලෙස තමා ලියූ කතාවක චරිතයක ක්‍රියාකාරකමක එන විස්තරයක් ෆේස්බුක් එකේ පළ කරපු ශක්තික සත්කුමාර අසාධාරණ විදිහට සිරගත කරලා දින 100ක් වෙනවා. කලාකරුවෝ කිහිපදෙනෙක් හැරෙන්නට ඔබ දැක්ක ද රැල්ලක් වගේ කලාකරුවො එකතු වෙලා ඒකට විරෝධය පළ කරනවා?
කලාකරුවා මනුෂ්‍යත්වය වෙනුවෙන් තමන්ගේ ප්‍රකාශනය සමාජගත නොකරනවා නම්, ඔහු නිසැකව ම සමාජය විනාශයට හෙළනවා.
4. මිනිස්සුන්ට ප්‍රේමය සදාකාලිකව ජීවත් කල හැක්කේ පැරණි මතකයෙන් පමණක් ද?
මම හිතන්නේ ඔය ප්‍රශ්නයට උත්තරය ඔව් කියන එකයි. හැමවිට ම සමකාලීන යථාර්ථය අප්‍රිය අමනාප සිදුවීම්වලින් ගහණයි. මිහිරි අවස්ථා නැහැ කියන එක නෙවෙයි කියන්නේ. නමුත් ප්‍රේමය සදාකාලිකයි පැරණි මතකයන් අස්සේ. පැරණි මතකයන් කියන්නේ හැමවිට ම ප්‍රේමය වගේ විෂයක දි පිරිපහදු කළ ඒවා. අමිහිරි සිදුවීම් අයින් කරපු එක්තරා ආකාරයක් ප්‍රබන්ධයක් පැරණි මතක කියන්නේ. ඉතින් හැමවිටම අත්හැරුණු, මගහැරුණු, වියෝ වුණු ප්‍රේමයන් සදාකාලිකව ජීවත් වෙනවා පැරණි මතකයන් අස්සෙ. ඒවා සිහිකිරීම පවා ආස්වාදයක්. හැබැයි අමතක කරන්න එපා, වර්තමාන නිමේෂය පවා සැනෙකින් අතීතය බවට පත් වන බව.
5. කලාවේදි සතුරා වුවත් මිනිසෙකු බවට සිතන්නට පොළඹවන්නේ කෙලෙස ද?
මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සබුද්ධිකව සැලසුම්සහගතව කරන අයෙක් හැරෙන්නට කලාකාරයෙකුට සතුරෙකු ඉන්නට බැහැ. සතුරු දෘෂ්ටිවාදයක් දරන්නෙක් වුවත් මිනිසෙකු ලෙස සලකන්නටයි කලාව මිනිසාට උගන්වන්නෙ. ඒත් ඒක භාවිතයක් විදිහට එහෙම ද කියලා ප්‍රශ්නයක්. අපේ කලා සමාජය සැලකුවත් එහෙමයි. කලා සංස්කෘතික සමාජයත් අතිශය ගැටුම්කාරී සහ විනාශකාරී දේවල්වලින් සහ ස්වෝත්තමවාදයෙන් පිරිලා. පෙරදි වගේ විචාර විචේදන දරාගන්න බෑ. ආත්ම රාගය ඉස්මත්තට ඇවිල්ලා. කෘතියකට කරන විචාරයකට පවා ශරීර භාෂාවෙන් උත්තර දෙන තැනකට ඇවිත්. ඒක අමුතු දේකුත් නෙවෙයි, සමාජයේ ගුණාංගයන්ගේ පිළිබිඹුවක් මේ කලා සාහිත්‍ය සමාජයත්. අපේ සමාජයට වගේ ම කලා සංස්කෘතික සමාජයටත් කලාකරුවාටත් ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි.
6. මිනිසෙකුගේ සතුට සීමා කීරිම කලාකරුවෙක් විදිහට ඔබ දකින්නේ කුමානාකාරයෙන් ද?
ඔබ අදහස් කරන්නෙ රාජ්‍ය අසමත්කම විසින් මේ මොහොතෙ පුරවැසියාව අසතුටට පත් කරමින් ඉන්න එක නම්, මට කියන්න තියන්නේ මේ රටට මහ වෙනසක් අවශ්‍යයි. කවුද සතුටෙන් ඉන්නේ මේ රටේ? සතුට සම්බන්ධ ලෝක මට්ටමේ නිර්ණායක සලකල බැලුවත් අපට පේනවා අපි ඉන්නේ පහළ ම අඩියේ වග. මේ රට එක මිටකට එකතු වෙලා ගොඩනැගිය යුතු තත්වයක තියන්නෙ. හැබැයි පාලකයො කරන්නෙ බල්ලන්ට කෝටු විසි කරනව වගේ සතියකට දෙකකට වරක් සිදුවීමක් විසි කරලා මතවාදී සමාජයයි ක්‍රියාකාරිකයොයි, මාධ්‍යයි කෝටුව ගේන්න කැලේ යවන එක. මේ නරාවලෙන් රට ගොඩනගන්න කැපවීම්සහගත පොදු පෙරමුණක් අවශ්‍යයි.
7. ආගමික වාරණය නිසා පීඩාවට පත් වු කලාකරුවා වෙනුවෙන් ඔබ පෙනි ඉන්නේ ඇයි?
බොහෝ දෙනෙක් විවිධ පාර්ශ්වික කාරණා ඉදිරියට දමමින් පෙනී සිටීම මගහැරපු ශක්තික සත්කුමාර වෙනුවෙන් මම පෙනී ඉන්නවා. මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කළ ඔහුගෙ ලේඛනයේ තියන්නෙ ප්‍රබන්ධයක්. එහි සාරය සලකලා බැලුවා ම ඔබට පෙනේවි එහි එන්නේ කතාවක එක්තරා චරිතයක් විසින් ලියපු ලේඛනයකට කොටසක් බව. යථාර්ථයේදි ආගමික සංස්ථා ඇතුළෙ විවිධ අශ්ලීල ක්‍රියා දවස ගාණෙ සිදු වෙනවා. සිය ගණනක් සිරගතව අච්චු විඳිනවා. ප්‍රබන්ධයක් ලියූ අයෙක් සිරගත කර තිබෙනවා. මේක සාධාරණ ද?
අනෙක් අතට ආගමික සංස්ථාව සහ පාලක සංස්ථාව අපේ වගේ රටක දැඩි විදිහට එකක් මත එකක් යැපුණත් ලෝකයම සලකල බලද්දි ආගමේ කාර්යභාරය අවසන් වෙලා කියලා ඔබට පෙනේවි. ආගමක් මිනිස්සුන්ට අවශ්‍ය ඇයි? මනුෂ්‍යත්වයෙ මූලික කොන්දේසිවලින් ශික්ෂිත සමාජයකට ආගම් අවශ්‍ය නෑ. බොහෝ දියුණු ශිෂ්ට රටවල් ආගමෙන් අයින් වෙමින් යනවා. අඩු තරමේ රාජ්‍ය සහ ආගම වෙන් කරල තියන තැනකටවත් මේ රට යන්න ඕන. ලෞකික රාජ්‍ය සහ ලෝකෝත්තර ආගම අතර ඇයි සබැඳියාවක්?
මිනිසුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්නට එක්සත් ජාතීන් විසින් හඳුන්වා දුන් ප්‍රඥප්තියක් පාවිච්චි කරල තමයි ශක්තික සත්කුමාර සිරගත කරල තියන්නේ. ඒ අයිසීසීපීආර් පණත. පසුගිය සමයයේ යොන් මැරිල්ලට චෝදනා ලැබුව දාමරිකයන් හදිසි නීතිය යටතෙ ප්‍රශ්න කරද්දි ලේඛකයන් මේ පණතින් මට්ටු කරන්න උත්සාහ ගන්නවා. මේ පණත් හඳුන්වා දුන් මිනිසුන් සිහිනයෙන්වත් නොසිතූ දේවල් තමයි මෙහෙ කරමින් ඉන්නේ. මේක පැහැදිලිව ම කැත වැඩක්. කිසිදු කොන්දේසියක් මත මේක සාධාරණීකරණය කරන්න බෑ. නාමධාරී කලාකාරයෙක් නොවුණ නිසා ඔහුට තිබෙන සහයෝගයෙ අඩුවකුත් තියනවා. විවිධ කෝන්දේසි ඉස්සරහට දමමින් සටන මගහරින්න දැරෙන උත්සාහයනුත් ඒ අතර තියනවා. මේ සිද්ධියෙදි සත්කුමාරගේ ප්‍රබන්ධයෙ කලාත්මක සූක්ෂමතා ප්‍රශ්න කරන අයගෙන් අපට අහන්න තියන්නේ කලාව ද ලොකු මනුෂ්‍යත්වය ද කියලා. කොහොම වුණත් කේවළව ශක්තිකගේ ප්‍රශ්නය වෙනුවෙනුත් පොදුවේ ප්‍රකාශනයේ නිදහස වෙනුවෙනුත් අපි නොකඩවා සටන් කරනවා සහ කළ යුතු යි.
8. ජනප්‍රිය සංස්කෘතිය කවියා වෙනස් කීරිම කවියට හිතකර ද?
ඒක කවියා යොදාගන්න විදිහ අනුව තීරණය වෙයි. කොහොම වුණත් ජනප්‍රිය සංස්කෘතියේ සමහර අංග යොදාගන්න පුළුවන් කෘතියේ සාර්ථකත්වයට වගේ ම කෘතිය ජනයා අතරට ගෙනියන්න. ඇත්තට ම අපේ රටේ වෙලා තියන්නේ ජනප්‍රිය සංස්කෘතිය කැලේ යන එක. ජනප්‍රිය සංස්කෘතිය කියන්නෙ නරක දෙයක් නෙවෙයි. අධ්‍යයනය කළ යුතු, යොදාගත යුතු දෙයක්. මම නම් ඒ දිහා බලන්නේ සුභවාදීව.
ජනප්‍රිය සංගීතයෙ පුරාවෘත්තය ජෝති ගැන සැලකුවත්, එම්.එස්., ක්ලැරන්ස් වගේ අය ගත්තත් ඒ කරපු දේවල් මැකී නොයන ලෙස සටහන් වෙලා තියනවා. ජනප්‍රිය සංස්කෘතිය ගැන වන කතිකාව නැවත මතු කළ යුතු යි. ජනප්‍රිය කලාවේ අංග විශාල ගණනක් තියෙනවා මතු නොවී යටපත් වුණු. උදාහරණයක් විදිහට සිංහල පොප් සංගීතය ගැන සැලකුව ම ඒක එක්තරා තැනක නැවතුණා. වෙන වෙන රැළි මතු වුණා. මේ විදිහට ගත්ත ම ජනප්‍රිය සංස්කෘතිය අත්හැරිය යුතු දෙයක් නෙවෙයි.
9. "කොළඹ" කවියෙක්ට මොන වගේ වස්තුවක් ද?
කොළඹ කියන එක මහ දෙයක් වුණු යුගය අවසන්. තොරතුරු තාක්ෂණයේ පුපුරායෑමත් එක්ක ගම සහ නගරය අතර වෙනස නැති ම වෙලා ගියා. අනෙක් අතට ගම සහ නගරය අතර දැන් වෙනස ක්‍රොන්කීට් ප්‍රමාණයේ වෙනස විතරයි. කොළඹ කවියෙක්ට බොහෝ අනුභූති ගේන තැනක් කියන කාරණය නම් ඇත්තක්. එකවිට සුරපුර සහ අපාය තිබෙන තැනක්. තවමත් සාහිත්‍ය කලා කතිකාව නම් කොළඹ කේන්ද්‍රීය නිසා කවියෙකුට ඒ අර්ථයෙනුත් කොළඹ වැදගත්.
10. මහගම සේකර,රත්න ශ්‍රී විජේසිංහ, සමර විජේසිංහ ලාංකීයට කවියට සිදුකල බලපෑම ඉන්දික ගුණවර්ධන අතින් සිදුවුයේ කුමන අයුරින් ද?
ඉන්දික ගුණවර්ධන ලංකාවේ සයිබර් කවියේ ආරම්භකයා කිව්වොත් නිවැරදියි. නව මාධ්‍ය විදිහට ගැනෙන සමාජ මාධ්‍ය ලංකාවෙ අවකාශයට විවර වෙද්දි කවිය ඊට හැඩගස්වන්න මූලික වුණේ ඔහු. කවියේ කලාත්මක ස්වභාවයන් පැත්තෙන් ගත්තත් ඉන්දික වෙනස් මානයක් කවියට ගෙනාවා. කිකලෙක වුණත් ලංකාවෙ කාව්‍ය ව්‍යාපාරයේ ඉන්දික ගුණවර්ධනගෙ නම මග නොහැරී සටහන් වේවි. ඉන්දිකගේ කවියෙ තේමාත්මක සුවිශේෂතා, සෞන්දර්යාවාදී මාන සම්බන්ධයෙන් ගැඹුරින් කියැවීමක් අවශ්‍ය යි. ඉන්දික ජීවත් ව උන් කාලයෙ ඔහු ගැන කියවීමක් තිබුණේ නැහැ. අද පවා එවැන්නක් නැති වුණත් අනාගතයේ දි නිසැකව ම ඔහුගේ මැදිහත්වීම ගැන සාකච්ඡාවක් ඇති වෙයි.
11. අප මේ ඇවිද යන්නේ පාලකයන් විසින් ගොඩගැසු මිනි කන්දක් මත යන්න මිනිසුන්ට තේරුම් යන තෙක් කවියාගේ මෙන්ම ජනමාධ්‍යවේදීයාගේ ව්‍යායාමය අසාර්ථකයි ද?
සමස්තයක් හැටියට ඔබ කියන පරමාදර්ශ ජනමාධ්‍යවේදියාගේ භූමිකාව අවසන්. රටේ මාධ්‍ය ආයතන කිසි ම ප්‍රබුද්ධත්වයක් නැති මිනිසුන්ගේ කාළකණ්ණි කේවල සිතුම් පැතුම් මත මේවා ක්‍රියාත්මක වෙන්නෙ. මාධ්‍ය ආචාරධර්ම කියල ජාතියක්වත් ඔවුන් දන්නෙ නෑ. මේ රටේ මිනිස්සුන්ගෙ හැසිරීම් ගැන පවා මට නම් තියන්නෙ ප්‍රශ්නයක්. තමන්ගෙ සමීප ම කෙනෙක් අහිමි වුණ වේදනාව අස්සෙ ගිහින් කැමරා මයික්‍රෆෝන් දිගු කරද්දිත් කණ පැළෙන්න ගහන්න බැරි තරම් මිනිස්සු දීනයි ද? ඔබ දැක්ක ද පසුගිය දිනෙක එක්තරා නාලිකාවක් මව් කෙනෙකුට ඇගෙ පුතාගේ මරණයේ ආරංචිය සජීවීව ගෙන ගිය විදිහ. ඒ වගේ ම අක්මීමන හමුදා වෙඩි පහරින් මිය ගිය පියාගෙ දියණියට කිසිදු හිරිකිතයක් නැතිව කැමරාව මානා වොයිස් කට් ගත්තු හැටි. පාලකයන් ගොඩ ගැසූ සහ ගොඩගසන්නට නියමිත සියලු මිනී කඳු මේ මාධ්‍යකාරයන්ට රස මසවුළු. සුළුතරයක් ඉන්නවා මේවා අස්සෙ කරකියාගන්න දෙයක් නැතිව හෘද සාක්ෂිය කම්පිත කරගෙන ඉන්න. මේ සියල්ල කුණුවෙලා ඕජස් ගලමින් ගඳ ගහනවා. නව පන්නයේ මාධ්‍ය මැදිහත්වීම් සහ අලුත් සිතීම් කලාපයක් සහිත මාධ්‍ය ක්‍රියාකාරිකයෝ අවශ්‍ය යි. මේ සියල්ල එක්තරා තීරණාත්මක අවසානයක් සටහන් කරමින් අලුත් දේවල් බිහි වෙයි. දැනටත් එහෙම වෙමින් තිබෙනවා.
....................
අපි සමහරක් රෑ යාම්වල, සමහරක් පැටලිලි සහගත දේවල් ගැන කතා කරමු. ඔහු ඒය දකින විදිහ මට පෙන්වා දෙන අතර, මම ඒ ඔස්සේ තාමත් ගමන් නොකර එකතැන නැවති හිදිමි. නමුදු මේ සියලු දෑ අතහැර පියවරක් ඉදිරියට තැබිය යුතු යැයි මම දැඩිව විශ්වාස කරමි., මම නොනැවති තවමත් ඔහු සමග කසුකුසුව කරගෙන යමි. මේ වදන් ගොමුව ඔබ දකින්නේ ඒ විශ්වාසය නිසාවෙනි.
                                                                                                                                  - අයන්ත යුනේෂ් ප්‍රනාන්දු -

Comments

Popular posts from this blog

සිංහල සිනමා වංශය

සමාජ යථාර්ථවාදය සහ සිනමාව .

කසුකුසුව 01 - රත්න ශ්‍රී විජේසිංහ සමඟ