කසුකුසුව 10 - චරිත් සේනාධිර සමග

                Image may contain: 1 person, beard and closeup

අවන්හල "මචං" ය. අපගේ මේසයට උඩින් තැඹිලි පාට බල්බයකි. අවන්හල ඇතුලත තරමක් අදුරු ය. නමුදු කතාව උණුසුම් ය. මේ කතාවට මුල්වුයේ දිනක් මට අහම්බෙන් ඇසුණු ඉන්ද්‍රචාපා ලියනගේගේ රොක් ගීතයක් වන අතර, එහි වචන ගොමුවෙන් කියවුණේ සිදුහත් කූමරුගේ අභිනිශ්ක්‍රමණය ගැන ය. පසුව එහි රචකයා ගැන තවත් විමසිමේදි මීට විසි වසරකට පෙර ලාංකීය සංගීත ක්ෂේත්‍රය උඩු යටිකුරු කර ගීතය ද ලියා තිබුණේ ඔහු ම ය., ඒ චරිත් සේනාධීර ය. ඉතින් විසි වසරකට පෙර අපේ හද බිතුවල අනන්තයට යන පාර ඇන්දු පද සිත්තරා වෙනුවෙනි මේ දසවන කසුකුසුව වෙන්වන්නේ.
1. පද රචනයකට නැවුම් බව කියන සාධකය කෙතරම් අත්‍යවශ්‍යය ද ?
මං එක මෙහෙම කියන්නම්. කවුරුහරි "අනන්තයට පාර දිගේ" කියන සින්දු ඇහුවා ම එන්නෙ පොඩි Positive එකක්.හැබැයි ඒකේන් පේන දේට වඩා ගැඹුරු දෙයක් කතා කරනවා. "අනන්තයට යන පාර දිගේ" වචන ටික බලන්න. එකෙන් කියැවෙන්නේ එන්නේ නැති කෙනෙක් ගැන. අනන්තයේ ඉදන් කාටවත් එන්න බෑනේ. අපි හිතන් ඉන්නවා නම් එයා අනන්තයේ ඉදන් එනවා කියලා අපි හරියට ක්ෂිතිජයට යනවා වගේ දෙයක්නේ. අපිට එතනට යන්න බෑ., යන්න යන්න එක එහාට යනවා. ඇත්තට ම බැලුවොත් ඇය එන්නේ නෑ. හැබැයි ඒ වචනයි, කසුන්ගේ සංගීතයයි එක්ක අහද්දි යම්කිසි ප්‍රබෝධමත් ගතියක් තියෙනවා. මීට අවුරුදු විස්සකට කලින් බස් එකට නැග්ගාම අපි ඇහුවේ Six eight beat එකක්. ඒක තමයි මුළු ලංකාවේ සියලු මාධ්‍ය පුරාම ව්‍යාප්ත වෙලා තිබ්බේ. ඒ වගේ මොහොතක වෙනස් music එකකින්, වෙනස් වචන ටිකකින් "අනන්තයට යන පාර දිගේ" ආපු එක ම වෙන ම නැවුම් දෙයක් වුණා. එදා තිබ්බ popular කියපු සිංදුවලට හාත්පසින් ම වෙනස් දෙයක් අපි ඒ සින්දුවෙන් කළා. මං හිතන්නේ ඒ නැවුම්බව මිනිස්සු වැලද ගත්තා., අපි කරපු දේ වැඩ කළා. ඒක තමයි අවුරුදු විස්සකට පස්සේත් කසුන්ට,චාපාට Show එකකට ගියා ම ඒක නොකීය Stage එකෙන් බහින්න බැරි වෙලා තියෙන්නේ. පොඩ්ඩක් හිතන්නකෝ ඔය සින්දුව බිහිවෙන කොට හිටපු අවුරුදු හතර පහේ අය. තාම ඒ අය "අනන්තයට දෙන්න පාර දිගේ" කියනවා. ඒක ලොකු දෙයක්. අනික දැන් මට හිතෙනවා අපේ එදා කෙරුවේ ඉස්සරහට වැඩ කරන වැඩක් කියලා. මං හිතන්නේ ඒ නැවුම් බව තමයි ගොඩක් වටින ම දෙය.
2. "අනන්තයට යන පාර දිගේ" ගීතය ලාංකීය සංගීත ක්ශේත්‍රයේ මොන වගේ හැරවුම් ලක්ෂ්‍යක් ද?
ඒ කාලේ අපේ ගොඩක් තිබ්බේ six eight beat එකේ සින්දු. එතකොට ටීවී, රේඩියෝ හැම එකෙන් ම ඇහුනේ ඔය සද්දේ තමයි. තව මොකක් හරි මලක් ගැවුණු සින්දු Trend එකකුත් තිබ්බා. ඒක ගලවගන්න පුළුවන් ද බැරි වෙයි ද වගේ තත්වයක තිබුණේ. ප්‍රසිද්ධ වෙන්න ඕන නම් ඒ පාරෙනුයි කෙනෙක්ට යන්න තිබුණේ. ඒ කාලේ අපිව කවුරුවත්ම දන්නේ නෑ. කසුන්ලාගේ රාජගිරියේ ගෙදර උඩ තට්ටුවට අපි නිතර යනවා එනවා. එතනට තමයි අපි හැමෝම එකතු වෙන්නේ. ඔහොම ඉන්නකොට එක්තරා මොහොතක අපි තීරණය කරනවා මේ ඉන්න විදිහ තවදුරටත් ගෙනියන්න බෑ කට්ටියක් විදියට වැඩ කරන්න පටන් ගන්න ඕනේ කියන එක. ඒ වෙද්දි අපි එලෙවල් කරලා ඉවරයි. කසුන් එතකොට තමයි මට කිව්වේ "මචන් මට දැන් වචන ටිකක් ඕනේ" කියලා. හැබැයි අපිට වැඩේ හරියට ගොඩ දාගන්න අමාරුයි., සල්ලි නෑ. අපි හිටියේ "එක සිංදුවක් කරන්න ඕනේ. හැබැයි එක පත්තු වෙන්න ඕනේ" කියන මතයේ. "අනන්තයට යන පාර දිගේ" හැදෙනකොට කසුන්,විශ්ව,කෞෂල්‍ය A/l Project එක විදියට "කවුළු පියන්පත්" කරලා තිබුණේ. කසුන්ට ඕන වුනේ ඊට වඩා වෙනස් දෙයක් කරන්න. එතනදි මට භාර වුණේ වචන ටික ලියන්න. පලවෙනි verse එකයි, chorus එකයි මම ලිව්වෙ කසුන්ගේ ගෙදරදී. ඒ ටික කසුන්ට දුන්නා ම ඔහු පැය දෙක තුනක් ඇතුලෙදි Melody එක දැම්මා. ඊට පස්සෙයි මම දෙවැනි Chorus එක ලියන්නේ. වැඩේ කරගෙන යද්දී අපිට තේරුණා මේක හරියාගෙන එන්නේ කියලා. සිංදුව Record කළේ කලේ මර්වින් බෙන්ස් අන්කල්ගේ Studio එකේ. ඒ කාලේ හිටපු හොදම sound engineer තමා මර්වින් බෙන්ස්. වැඩේ ඉවර වෙලා එළියට එද්දී ලංකාවේ තිබුණ සද්දේ එක්ක බලද්දි හාත්පසින්ම වෙනස් සද්දයක් තමා සින්දුවට තිබුණේ. දවසක් නදීක ගුරුගේ මට හම්බවුණ වේලාවක කිව්වා එයා "අනන්තයට යන පාර දිගේ" මුලින්ම අහපු වෙලාවේ එයාගේ අයියත් එක්ක කතා කරපු දේවල් ගැන. "අමුතු සෙට් එකක් බැහැලා වැඩක් කරනවා. ලියලා තියෙන්නෙත් අනන්තයට යන පාර දිගේ වගේ එකක් ගැන. මුන්ගේ singingවලයි,Lyricsවලයි,musicවලයි Depth එක මාර වැඩි. කවුද දන්නෑ මේ සෙට් එක" කියලා නුවරඑළියේදී එයාලා කතා වෙලා තිබුණා. මං හිතන්නේ අපිට පුළුවන් වුණා මුළු රටට ම ඕක නෙමේ මියුසික් මේක කියලා මිනිස්සුන්ව වෙන පැත්තකට හරවන්න. ඒ හරවපු එකේ ප්‍රතිඵලයක් විදිහට තමයි අපි දෙන්නා මෙතන කතා කර කර ඉන්නේ. සමහර කෙනෙක්ට හිතෙන්න පුළුවන් "අනන්ත යන පාර දිගේ"න් පස්සේ ඊළඟ එක ආවේ නෑ නේද කියලා. නමුත් මම හිතන්නේ ඒක එන්න ඕනේ ඔබගේ පරම්පරාවේන්.
3. ලාංකීය සංගීත ක්ශේත්‍රයට විවිධ සංගීතවේදින්ගේ විශිෂ්ට බලපෑම් අපි දැකලා තියෙනවා . කසුන් - චාපා සුසංයෝගය කියන්නේ එකට හොදම උදාහරණයක්. ඒ වගේ යුගයක් බිහී කරන්න ඔවුනට තිබුණ දේවල් මොනවාද ? ඒ වගේ Era එකක් හැදෙන්න බලපාන්නේ මොන වගේ දේවල් ද ?
මමත් විශ්වාස කරනවා ඒ දෙදෙනා Era එකක් හැදුවා කියලා. නමුත් ඒ ගැන අපි ගොඩක් කතා කරනවා අඩුයි තාම. මං හිතන්නේ එකට බලපෑවේ තමන් තමන් විශ්වාස කරන සංගීතය කරපු එක. ඉන්ද්‍රචාපා ඉන්ද්‍රචාපා වෙන්නේ ම එයා විශ්වාස කරන එක වෙනුවෙන් පෙනී ඉන්න නිසා. කසුන් කසුන් වෙන්නේ එයා විශ්වාස කරන දේ වෙනුවෙන් පෙනී ඉන්න නිසා. තමන්ගේ Originality කියන දේ තියාගෙන,තමන් කරන දේ වෙනුවෙන් පෙනී ඉන්න පුළුවන් කෙනෙක්ට විතරයි ඒ වගේ විශාල දෙයක් කරන්න පුළුවන් වෙන්නේ. ජෝතිපාල කියන්නෙත් එහෙම කෙනෙක්., M.s. කියන්නෙත් එහෙම කෙනෙක්., අමරදේව කියන්නෙත් එහෙම කෙනෙක්. එතකොට අපි මේ මොහොත වෙනකොට කතා කරන්න Legendsලා ඔක්කොම වගේ තමන් කරන වැඩේ වෙනුවෙන් පෙනී ඉදපු මිනිස්සු. ඒ ගොල්ලෝ කවදාවත් වෙන කෙනෙක් කරන දෙයක් කරන්න ගියේ නැහැ. තමන් Markat එකක් හදාගන්නවා මිසක්, මාකට් එකට අවශ්‍ය විදිහට තමන් වෙනස් වෙන්න ගියොත් Legend කෙනෙක් වෙන්න බැහැ. සමාජය අපිව වෙනස් කරනවා නම් අපිට සමාජය වෙනස් කරන්න බැහැනේ. හැබැයි අපි විශ්වාස කරනවා නම් අපි කරන දේ හරි සහ ඒක ගුණාත්මකභාවයෙන් වැඩියි කියලා සහ වැඩේ වෙනුවෙන් පෙනී ඉන්නව නම් ඒ දේ පවතිනවා.
4. "අභිනිෂ්ක්‍රමණය" ගැන මොකද හිතන්නේ ?
අභිනිෂ්ක්‍රමණය කියන්නේ මම ලියපු Lyrics වලින් කැමතිම lyric එකක්. ඒකට මට ලියන්න මේකයි හේතුව කියලා කියන්න බෑ. ඉස්සර අපි යාළුමිත්‍රයෝ හමුවුණාම ජීවිතය ගැන යම් යම් දේ කතා කළා. කාලයක් තිබ්බා බොරැල්ල කනත්තටත් එහෙම ගිහින් කතා කර කර ඉන්න. කසුන්,චාපා,කන්නා,කෞව්වා, මම රෑ නවය දහය වෙනකන් එතනට වෙලා ජිවිතය,දේශපාලනය පොත්පත් වගේ එක එක දේවල් ගැන කතා කර කර ඉන්නවා. ඒ වගේ නිස්කලංබවක් වෙන කොහෙන්වත් හොයාගන්න බැහැ. එතනින් අපේ නිර්මාණ ජීවිතයට ගොඩක් දේවල් ලැබුණා. මට මතකයි ඉස්සර පාලම් හැදෙන්න කලින් පාරුවෙන් එගොඩ කැළණියට ගිහිල්ලා, ගග අද්දර මිනිස් නැති පැත්තකට සේන්දු වෙලා ඒ තියෙන ගහක් යට යම් යම් දේ කතාබහ කරනවා. ඒ කතාබහ ඇතුලේ තිබුණා සෑහෙන දර්ශනික කියවීම් ගොඩාක්. අභිනිෂ්ක්‍රමණය සින්දුවේ තියෙන්නෙත් සිදුහත් කූමාරයා මාලිගාව හැර දා යන සිද්ධිය තමයි. හැබැයි චාපාට ඕන වුණේ මේ බණ වගේ අහන්න නැතිව, Rock musicවලින් ඒ දේ කියන්න. ඔය සින්දුව කරලා දැනට අවුරුදු පහළොවක් විතර වෙනවා. නමුත් ඒ කාලෙදි බුද්ධ චරිතයට සම්බන්ධ යමක් Rock musicවලින් ප්‍රකාශ කරලා තිබුණේ නැහැ. මට හිතුණේ මේ සියල්ලෙහිම තිබෙන ශුණ්‍යත්වය,නිසරුබව කෑ ගහලා කිව්වේ නැත්නම් මිනිස්සුන්ට මේ වැඩේ දැනෙන්නේ නැහැ කියලා. මේකේ melody එක හදන්නේ නදීක ගුරුගේ. අභිනිෂ්ක්‍රමණය කියන දේ අපි අහන්නේ ඉතාමත් සෞම්‍ය විදිහට. නමුත් තරුණ අපිට ඒ හැඟීම ඇත්තටම එන්නේ එහෙම නෙමෙයිනේ. සිදුහත් කූමාරයාට වුණත් ඒ හැඟීම එන්න ඇත්තේ එහෙම වෙන්න ඇති. මොකද එයා ගත්තේ අපි හැමෝම ගන්නේ නැති තිරණයක්. එයා දාලා යන්නේ අපිට නිකං හීනෙන්වත් හිතන්න බැරි දේවල්. ඒක අපිට නිකන් කියන්න බෑනේ හරි සෞම්‍ය විදහට. මට ඕන වුණේ ඒ කාලේදි, ඒ ජවයත් එක්ක, "මොකක්ද මේ කළේ?" කියන එක කියන්න. අනික මම ඉතාමත් ම කෑමති ඉන්ද්‍රචාපා එක ප්‍රකාශ කරන විදිහට. මං හිතනවා ඇත්ත අභිනිෂ්ක්‍රමණයේ ඒ Feel එක මේ සිංදුවේ තියනවා කියලා.
5. සිදුහත් කූමාරයාට වගේ වර්තමානයේ ජීවත් වන හැම කෙනෙක්ට ම අභිනිශ්ක්‍රමණය කරන්න බෑ නේද?
ඒක තමයි මම කලින් කිව්වෙ ඒක ලේසි Decision එකක් නෙමෙයි කියලා. අභිනිෂ්ක්‍රමණයේ තියෙන්නේ පෝය දවසට අහන්න පුළුවන් බණක් නෙමෙයිනේ. අනික සිද්ධාර්ථ ඒ දේ එදා කළේ කොහෙද යන්නෙ කියන එක දන්නේ නැතුව. අද අපි පන්සලක ගිහිල්ලා මහණ වෙන එකයි, සිදුහත් කූමාරයා අභිනිෂ්ක්‍රමණය කිරීමයි කියන්නේ දෙකක්. නමුත් සිද්ධාර්ථ කූමාරයාට මේ දැන් අපිට තියෙන අවකාශය එදා උදා වෙලා තිබුණේ නැති වුණාට එයා තමුන්ව විශ්වාස කරපු තැනක් තිබුණා. එයා විශ්වාස කළා තමන් යන්නේ හරි පාරක බව., ඒ විශ්වාසේ හින්දා තමයි සිදුහත් කූමාරයාට තනියම කැලේකට යන්නේ. දැන් අද මං ගිහිල්ලා පන්සලක මහණ වුණොත් ඒක අභිනිෂ්ක්‍රමණයක් නෙමෙයි. මම දන්නවා මං මෙතනට යන්නේ, එතන වෙන්නේ මොනවද කියලා. ඊට පස්සේ මට ඉගෙනගන්න වෙන්නේ කලින් එක්කෙනෙක්ගේ දෙයක්. නමුත් සිදුහත් කූමාරයා තනියම ගිහින් සත්‍ය හොයාගත්තේ. මම අභිනිෂ්ක්‍රමණය ගැන සින්දුව ලිව්වාට පැටලීමෙන් පැටලීමට යන තවත් එක් මනුස්සයෙක්. නමුත් සසරෙන් නික්ම යන එක ගැන කෙසේ වෙතත් අපි අපේ වැඩේ ඇතුලේ සිදුහත් කූමාරයා කරපු දේවල් කරන්න පුළුවන්. අපි කරන වැඩේ ගැන තියෙන විශ්වාසය සහ අනෙකුත් දේ එකතු කරගෙන අපිට සාර්ථක ගමනක් යන්න හැකි. සමහර වේලාවට එක Comfortable zone එකෙන් එලියේ වෙන්න පුළුවන්. සිදුහත් කූමාරයා රජ මැදුරෙන් එළියට යනකොට, එයා අපිට දෙනවා Symbol ටිකක්. මහල්ලෙක්,ලෙඩෙක්,මලකදක්,පැවිදි රුවක්. අවුරුදු විසිගණනක පුද්ගලයෙක් පළවෙනි වතාවට මේවා දකින්න විදිහක් නෑනේ. ඒකෙන් කියන්නේ එළියට බහින්න, එළියට බැහැලා මේ සමාජයත් එක්ක හැසිරෙන්න,සත්‍ය හොයන්න කියන එකයි . රජමැදුරේ ඉන්න මහල්ලයි, පාරේ ඉන්න මහල්ලයි වෙනස්. රජමැදුරේ තියෙන මල ගෙදරයි, පාර තියන මල ගෙදරයි වෙනස්. ඒ අවබෝධයෙන් පස්සේ තමයි අභිනිෂ්ක්‍රමණය කරන්න ඔහු තීරණය කරන්නේ . අපිට අභිනිෂ්ක්‍රමණය කරන්න බැරිවෙන්න පුළුවන්. නමුත් ජිවිතේදි ඒකේ තියෙන යම් යම් සුළු දේවල් අපිට කරන්න පුළුවන් වෙන එක වැදගත්. අඩුම තරමේ ඒ ධර්මයේ මූලික හරය පවා දැනගෙන ජීවත් වෙන එක ලොකු දෙයක්.
6.මිනිස්සු රැවටි රැවටි ජීවත් වෙමින් සත්‍ය හොයාගෙන යන්නට පෙළඹෙවෙන්නේ නැත්තේ ඇයි ? නැත්නම් සත්‍යයෙන් කිසිම ඵලක් නොමැති හින්දා ද ?
මිනිස්සු රැවටෙනවා කියන එකේදි ම මිනිස්සු රැවටිලානේ ඉන්නේ. එතකොට එයාලට තේරෙන්නේ නෑ සත්‍යයක් කියලා දෙයක් තියෙනවා ඒක හොයන්න ඕනේ කියලා. ඒක අදට විතරක් නෙමෙයි නෙමෙයි සර්වකාලීන තියෙන ප්‍රශ්නයක්. මම ඔබව රැවැට්ටුවොත් ඔබට ඕන වෙන්නේ නෑනේ සත්‍ය හොයන්න. සත්‍ය කියන දේ හොයන්න පෙළඹෙන්නේ ඔබ රැවටිලා නැත්තම්නේ. ඒ නිසා රැවටිච්ච මිනිස්සුන්ගෙන් ඇත්ත හොයන්න බලාපොරොත්තු වෙනවා කියන්නේ තේරුමක් තියෙන දෙයක් නෙමෙයි. මොකද රැවටිච්ච මිනිහෙක් රැවටිලා ඉන්නේ. සත්‍ය කියන දේත් සාපේක්ශයිනේ කාලයෙන් කාලයට. ඉස්සර මිනිස්සු උතුම් කියලා සලකපු සත්‍යය ගැන දැන් මිනිස්සුන්ට තියෙන්නේ වෙනස් මතයක්.,අදහසක්. ඒ නිසා නිර්මාණය ඇතුලේ හෝ ආධ්‍යාත්මික ජීවිතය ඇතුලේ හෝ ලෞකික ජීවිතය ඇතුලේ හරි මනුස්සයෙක් වෙනස් වෙන්න හදනවා කියන්නේ එයාට යම් කිසි අවබෝධයක් තියෙනවා කියන එකයි. රැවටිච්ච මනුස්සයෙක්ට වෙනස් විම කියන දේ කරන්න අමාරුයි. හැබැයි දැන් සමාජයේ මිනිස්සු දැනගෙන,කැමැත්තෙන් රැවටිලා ඉන්නවා.සමහරක් අය ඒ රැවටිම ගැන නොදැනුවත්. සිදුහත් කූමාරයා වුණත් තමන් දැනගත්ත දේ අමතක කර දාලා මාලිගාවේ හිටියා නම් සැපෙන් ජීවත් වෙන්න තිබුණානේ. සමහර අය Comfortable zone එක ඉන්න ඕන හන්දා තමන් රැවැටිලා ඉන්නේ,ප්‍රශ්නයක ඉන්නේ කියන එක අමතක කරනවා. ඒක අපි හැමකෙනාගේ ම එදිනෙදා ජීවිතයට පොදු දෙයක්. මෙතන තියෙන්නේ තමන් හිතන ගැඹුරේ වෙනසක්. ඒ ගැඹුරට ම ගියොත් අපිට ඇත්ත හොයාගන්න පුළුවන්.
8. වෙනස් විම යන සාධකය මේ ලොකේ සියලු ම දේට පොදු සාධකයක්. එක ගී පද රචකයෙක්ටත් උරුම දෙයක් . ඔබේ ගී පද රචනයන් බැලුවාම එක හොදින් තේරුම් ගන්නට පුළුවන්. ඔබ ඒ වෙනස දෙන්නේ භාරගන්නේ කොහොමද ?
මං ලියපු සිංදු ටික, කවි ටික හොඳට බැලුවා ම ඔබට තේරෙයි යම්කිසි රටාවක්, ශෛලියක් එයට තිබෙන බව. නමුත් කසුන්, ඉන්ද්‍රචාපා, නදීක ගුරුගේ, නදීක ජයවර්ධන වගේ අයත් වැඩ කරද්දි ඒ ගොල්ලන්ගේ කටහඬ, Melody එක ගැන මට අවබෝධයක් තියෙනවා. එතකොට කසුන්ට ලියන විදිහේ සින්දුවක් මම චාපාට ලියන්නෙ නෑ. චාපා සාමාන්‍යයෙන් කැමති Rock musicවලට. ඒ නිසා මම ඒ සංගීතයට Support කරන්න පුළුවන් වචන නිර්මාණය කරන්න වෙනවා. මං රචකයෙක් විදිහට කවියක් ලියනවාට වඩා ටිකක් සැලකිලිමත් වෙනවා ගී පද රචනයක් ලියද්දි. මං ලියන හැම අකුරකට ම මම වගකියනවා. එතකොට Music කරන්නේ කවුද, සින්දුව කියන්නේ කවුද කියන එක ගැන මම අනිවාර්යයෙන් සැලකිලිමත් වෙනවා. මං ලියන වචන ටික සමාජයට යහපත් බලපෑමක් මිසක් ඒක අන්තිමට චාටර් සිංදුවක් වෙන්න මට ඉඩ තියන්න බැහැ. අපි හිතමුකෝ ඒ වචන ටිකට ඒ ගායකයාගේ හෝ සංගීතය නිර්මාණවේදීයාගෙන් අවශ්‍ය සාධාරණය ඉෂ්ඨ වෙන්නේ නෑ කියලා. එතකොට ඒකේ වගකීමක් මට තියෙනවා. ඒ නිසා ම මම වැඩකරද්දී යම්කිසි තෝරා ගැනීමකිනුයි වැඩ කරන්නේ. නමුත් කවුරු එක්ක වැඩ කරත් මං ලියන එක ගැන මම වගකියනවා.
9. ගී පද රචකයෙක් වෙන්නට ඔහුගේ සමාජ වටිනාකම කියන දේ බලපාන්නේ කොහමද ?
මං "අනන්තයට යන පාර දිගේ" ලියන්න කලින් එක සිංදුවක් තමයි ලියලා තිබුණේ. ඒක විශ්ව පරණයාපා එයා ම Music කරලා කියාපු සින්දුවක්. නමුත් මම කවියෙක් විදිහට ඉස්කෝලේ කාලේ ඉදන් ම වැඩ ටිකක් කරගෙන තිබුණා. "අනන්තයට යන පාර දිගේ" තුළින් අපි කට්ටියට ම එළියට එන්න හේතුවක් වුණේ ඉස්කොලේ එක ම පන්තියේ හිටපු හින්දා. නමුත් මම හිතන්නේ නෑ ලියන කෙනෙක්ට තමන්ගේ තත්ත්වය හෝ සමාජ වටපිටාව බලපානවා කියලා. ලියන එක අපි කොච්චර විශ්වාසයෙන් ලියනවාද සහ Originality කියන එක කොච්චරක් දුරට තියෙනවද කියන එක තමයි මම හිතන විදිහට වැදගත් වෙන්නේ. ලියන එක ගැන තමන් ගෞරව කරන, රැකගෙන යන Ethics ටිකක් ඇතුලේ ඒ සාර්ථකවත්ය අත්පත් කරගන්නවා මිසක් ගී පද රචකයෙක් වෙන්න සමාජ වටපිටාව බලපානවා කියන එක මම භාර ගන්නේ නැහැ. කොයිම විදිහක සමාජ තත්ත්වයක හිටියත් අපි ලියන එක මිනිස්සු භාර ගන්නේ නැත්නම් සාර්ථකත්වය කරා යන්න අමාරුයි. අවුරුදු විස්සකට කලින් මම හිතුවේ නෑ ඒ කාලේ හිටපු ප්‍රසිද්ධ ගායකයෙක් වෙනුවෙන් සින්දුවක් ලියන්න. සමහර විට ඒ කාලේ හිටපු ලොකු කෙනෙක්ට මං ලියපු එක Set වෙන්න නොතිබෙන්නත් තිබුණා. අනන්තයට යන පාර දිගේ වුණත්. මොකද අපි තැන් දෙකක ඉන්නේ. මම හැබැයි හැමවෙලේ ම අපිත් එක්ක හිටපු කට්ටියක් එක්ක තමයි මේ ගමන ගියේ. එතකොට ඒ සාර්ථකත්වය ආවේ ඒකෙන්. ඒ කාලේ කසුන්ව කවුරුත් දන්නෙත් නෑ., ඉන්ද්‍රචාපාව කවුරුත් දන්නෙත් නෑ. හැබැයි මේක අපි අපි අතරේ තමයි වුනේ., මොකද අපි ගැන හොඳට ම දන්නේ අපි. මම ගිහිල්ලා වෙන කාට හරි වචන ටික දෙන්න ගියොත් මම මම ඇතුලේ ම වැඩේ ෆේල් කර ගන්නවා. එතනදි මට ඕනේ වෙන්නේ ප්‍රසිද්ධ කෙනෙක්ට කියලා මගේ වචන ටික සිංදුවක් කරගන්නයි. මේ වැඩේදි සමහර වේලාවට Gap එක වැඩි වෙනවා. නමුත් මම එහෙම Try කලේ නැහැ. මගේ සමකාලීනයෝ අතරේ තමයි මගේ නිර්මාණ හුවමාරු වුණේ. එතකොට සාර්ථකභාවය බෙදාගන්නේ අපි Team work එකක් විදිහට. ගෙදර එක්ක හැදුනු සම්බන්ධතා තිබුණත් කසුන්ටත් අවශ්‍ය ඕන වුණේ අපේ කට්ටියගෙන් ම වැඩක් කරගන්න. මං හිතනවා එක සාර්ථක වුණා කියලා.
10. ඉන්ද්‍රචාපා ඇයි ජෝතිපාල කෙනෙක් නොවෙන්නේ ?
ඇයි ඉන්ද්‍රචාපා ජෝතිපාල කෙනෙක් වෙන්නේ? ජෝතිපාල Filmවල, විවිධ Styleවලින් සින්දු දහස් ගණනක් කියලා තියෙනවා., එතකොට එයා මිනිස්සු අතරට යන විදි ගොඩයි. මොකද ඒ කාලේ Filmවලට සින්දු ගොඩක් තියෙනවා. ජෝතිපාල ඉන් බොහෝමයක් Filmවලට දායකත්වය දීල තිබෙනවා. එතකොට ලංකාවේ හිටපු ජනප්‍රියම නළුවන්ගේ Background සින්දු කිව්වෙ ජෝතිපාල. හැබැයි ඒක අපිට චාපාගෙන් බලාපොරොත්තු වෙන්නෙත් බැහැ., හරි යන්නෙත් නැහැ. හරියන තැන් නැතුවා ම නෙමෙයි. චාපාට ආස එකයි චාපා කියන්නේ. ඒකේ Market එක සහ fan base එක පොඩි. අනික ජෝතිපාලට ඉන්ද්‍රචාපා වෙන්නත් බැහැ. මං ජෝතිපාල මහත්තයාගේ වැරැද්දක් නෙමෙයි. නමුත් ඒ දෙන්නා සම්පූර්ණ වෙනස් පාරවල් දෙකක, ගමන් දෙකක් ගිය දෙන්නෙක්. මං හිතන්නේ චාපා ජෝතිපාල කෙනෙක් වෙන්න බැරි එකට වඩා වෙන්න ඕනේ නැති දෙයක් තමයි තියෙන්නේ.
11. නිර්මාණකරුවා තමන්ගේ පීඩනය හෝ හැගිම යම්කිසි ප්‍රකාශනයකින් ඉදිරිපත් කලා ම ඒ දේ එතනින් අවසන් වෙනවා කියලා ඔබ හිතනවා ද?
මං හිතන්නේ ඒක තමා මුල. නිර්මාණකරුවා තමන්ගේ ප්‍රශ්නයක් හරි, පීඩනයක් හරි, සමාජයට කීයන්න ඕන දෙයක් හරි නිර්මාණයකින් එලියට දැම්මොත් ඒක ඔහුට තවදුරටත් අයිති නැති දෙයක්. මං කවියක් ලියලා ඔබට දුන්නොත්, මගේ කවි ටික එකතු කළ පොතක් විදියට එළි දැක්වූවොත්, නැත්නම් Facebook එකේ දැම්මොත් ඒක මට අයිති දෙයක් නෙමෙයි. ඒ කවි පොත කවුරු ගනීද කියලත් මම දන්නේ නැහැ.,කවුරු කියනවද කියලා මම දන්නේ නැහැ. නමුත් ඒක මම ලිව්වේ කියන එක එයාට අදාලත් නෑ., අදාළ කරගන්න ඕනෙත් නෑ. මගේ යම්කිසි නිර්මාණයකට ඔබ දෙන අර්ථකථනය වෙනස්., ඒ නිර්මාණයට ම තව කෙනෙක් දෙන අර්ථකථනය වෙනස්. නමුත් මං ගාව තියෙන්න පුළුවන් වෙනම අදහසක්. මම කියන්නේ නිර්මාණකරුවෙක් යම්කිසි නිර්මාණයක් කරලා සමාජයට භාර කලොත් ඒක් ආරම්භයක්. නමුත් කවියක් ලියලා එක ඩයරිය ඇතුළේ ම තිබ්බොත් එකෙන් කිසිම කෙනෙක්ට ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. අපි දෙන්නා හමුවෙන්නෙත් අවුරුදු විස්සකට කලින් කරපු ගීතයක් නිසා. ඒ කියන්නේ එක ඉවර වෙලා නෑ කියන එක. ඔබ මට කතා කළා., නමුත් එහෙම කතා කරන්න බැරි කීදෙනෙක් ඉන්නවා ඇති ද ? අපි යම්කිසි නිර්මාණයක් කරලා ජනගත කළොත් ඒක එතනිනුයි ආරම්භ වෙන්නේ. නමුත් ඒක කවදා පත්තු වෙයිද කියලා අපි දන්නෙත් නෑ.
12. සමහරක් කවියෝ ඉන්නවා., නමුත් ඔවුන්ව අපි දන්නේ ගී පද රචකයෙක් කියලා විතරයි. තවත් ගී පද රචකයන් ඉන්නවා. නමුත් ඔහුගේ කවිය ඊට සාපේක්ෂව අතිශය ප්‍රබලයි. ඔබ මේ කුලක දෙකෙන් තෝරගන්නේ කුමක්ද ? එහෙම වෙන්නේ ඇයි ?
ගී පද රචකයෙක් වෙන්න කලින් මම කවියෙක්. නමුත් ඊළඟ ප්‍රශ්නයට මට තියෙන උත්තරය තමයි ඒක ගී පද රචකයාගේවත්,කවියාගේවත් ප්‍රශ්නයක් නෙමෙයි කියන එක. කෙනෙක් කවිය හෝ ගීතය යන දෙකෙන් තමන්ට පරිශීලනය කරන්න පුළුවන් ලේසිම කොටස පරිශීලනය කරලා පසුව ඒ ඔස්සේ එන සෙවිම අත්හැර දැමීම නිසා තමයි ඔය දේ වෙන්නේ. සාමාන්‍යයෙන් කවියෙක්ගේ ලස්සන කවියක් දැක්කොත් මම පුළුවන් තරම් එයා ගැන හොයනවා. නැත්නම් අපි දන්නේ පිඟානට බෙදලා කට ළඟට එන ටික විතරයි. මිනිස්සු හොයන්නේ නැති එක තමයි ඔතන තියෙන අවුල. කොහොමත් කවියෙක්ව සමාන්‍ය වටපිටාවේ හොයාගන්න අමාරුයි. කවි එහෙම රේඩියෝවල,Tvවල යන්නේ නෑනේ. නමුත් සින්දු ඔය දෙකේම යනවා. ලෝකේ ගී පද රචකයෝ වුණත් ගොඩක් දුරට මුලින් ලියලා තියෙන්නේ කවි. අපි සින්දුවක් ඇහුවාම ඒ ඇහෙන ටිකෙන් එකට දායක වුණ නිර්මාණකරුවෝ ගැන තක්සේරු කරන්න බෑ. ඊට වඩා ටිකක් අපි ඔවුන් කරපු නිර්මාණයන් ගැන සෙවිය යුතුම යි. ඇත්තටම අපි අනිත් මිනිස්සුන්ගේ වෙනස් වෙන්නට අවශ්‍ය නම් මේ ඇහෙන ටිකේ විතරක් නෙමෙයි වැඩේ තියෙන්නේ කියන එක අවබෝධ කරගන්න ඕනේ. රත්න ශ්‍රීගේ සින්දු ටික අහද්දී ඔහු කවියෙක් බව අපි දැන ගත යුතුයි නේද ? ඒ ඔස්සේ ඔහු ගේ කවි පොත් කියවිම ආරම්භ කල යුතුයි නේද ? ඒ විතරක් නෙමෙයි ඔහුගේ සමකාලීන නිර්මාණකරුවන්ගේ නිර්මාණ අධ්‍යනය කිරීම වැදගත් නේද ? ගොඩාක් වේලාවට ඊළඟ Generation එකට තියෙන අඩුව Technical sing කරන්න බැරිකම හෝ සංගීත ඥානය නැතිකම නෙමෙයි. අනෙකුත් බාහිර දැනුම අනවශ්‍යයි කියලා හිතන එකය. අපිට රත්න ශ්‍රීව නියමාකාරයෙන් හඳුනා ගන්න පුළුවන් වෙන්නේ ඔහුගේ සියලු නිර්මාණ ගැන පරිශීලනය කිරීමෙන් අනතුරුවයි. මේ සෙවීම හරියට පිපාසයක් වගේ. සමහරක් විට ඒ නිර්මාණය ඉතාමත් සුළු දෙයක් වෙන්න පුළුවන්. හැබැයි ඒ තුලින් දශමයකින් හරි අපි දන්න දෙයක් වැඩි කරගන්නවානේ. තාක්ෂණය නිසා අපිට ඒ සෙවීම තවදුරටත් පහසු වෙලා තියෙනවා. නමුත් ඉස්සර මේ තත්ත්වය හාත්පසින් වෙනස්. එක්කෝ නිර්මාණකාරයාගේ ගෙදර යන්න ඕනේ., නැත්නම් ඔහුට ලියුමක් එවන්න ඕනේ. පරණ පත්තර හොයාගෙන ඔහු ලියලා තියෙන දේවල්,Interview කියවන්න ඕනේ. ඒ නිසා දැනුම එකතු කරගන්න ඕනේ නම් නිතරම හොයන්න වෙනවා.
13. කලාවේ කියවෙන තරම් ආදරය පාරිශුද්ධ ද?
මං හිතන්නේ ආදරය කියන එක පොඩි ගනුදෙනුවක්. අපි Artවලින් පෙන්වන තරම් ම පාරිශුද්ධ යමක් ආදරයේ නෑ කියන එක තමයි මගේ හැඟීම. ආදරය කියන්නේ අනෙකාට යම් යම් පරිත්‍යාගයන් දෙමින් යන ගමනක්නේ. එතකොට අනෙකාත් අපිට පෙරළා එලෙස ම ආදරය ලබා දෙනවා. නමුත් අපි ඒ දෙන ආදරය හා පරිත්‍යාගයන් නැවතුනොත් එහා පැත්තෙන් ලැබෙන එක දිගටම තියෙන්නේ නෑ. ඒක වෙන්නේ ආදරය ගනුදෙනුවක් වන නිසා. ලෝක ඉතිහාසයේ තියෙන හැම පාර්ශුද්ධ ආදර කතාවක ම කවුරුහරි මැරිලා තියෙනවා. හිටපු අයට මොකක් ද වෙලා තියෙන්නේ., ආදරය නැති වෙලා ගිහිල්ලා. කෙනෙක් ඕනම පිස්සුවක් කෙළිද්දි ඒ මනුස්සයාට සදාකාලිකවම ආදරය කරන්න පුළුවන් ගැහැණියක් හෝ පිරිමියෙක් හොයගන්න බෑනේ. අපි දැකලා තියෙනවා ආදරය වෙනුවෙන් මරාගෙන මැරෙන අය., සියදිවි හානි කර ගන්න අය. ඇයි එහෙම වෙන්නේ ? එක්කෝ එයා බලාපොරොත්තු වුණ දේ ලැබිලා නෑ., නැත්නම් හිත රිදිලා. එහෙම මොකක් හරි දෙයක්නේ. ගනුදෙනුවක් නැත්නම් ආදරේදි ප්‍රශ්නයක් නෑනේ. අපි එයා ආදරේ කරද්දි අනිවාර්යයෙන් ම අනෙකාගෙන් ඊට පෙරලා ආදරය බලාපොරොත්තු වෙනවා. නමුත් Art කියන Concept එක ඇතුලේ ආදරය, රාගය සහ වෙනත් Feelings අපි ප්‍රතිනිර්මාණය කරලා තියෙනවා එක එක Levelsවල. ඇත්තටම අපි මේ අයිසින් ටික අයින් කරලා බැලුවොත් ආදරයේදි තියෙන්නේ ගනුදෙනුක් විතරයි. නමුත් අපි Eternal love කියලා දෙයක් තියෙනවා කියන එක අමතක කරන්න හොද නෑ. බුදුහාමුදරුවෝ,Jesus වගේ ශාස්තෘවරුන් කලින් අපි වගේ ම හිටපු මිනිස්සු. නමුත් එක මොහොතක එයාලට පුළුවන් වෙනවා ගනුදෙනුවක තිබුණු ආදර සම්බන්ධකම් අතහැර දාලා විශ්විය ආදරයක් කරන්න පටන් ගන්න. මේ ගනුදෙනු අත හැරපු තැනකදී අපිට පුළුවන් වෙනවා මිනිස්සු, සත්තු, ගහකොළ මේ හැමදේකට ම ආදරය කරන්න. නමුත් ඒක ඔබට මට කරන්න පුළුවන් ලේසි වැඩක් නෙමෙයි. ඒක ඔබ මගෙන් අහපු ප්‍රශ්නෙට මුලික වුණ ආදරය නෙමෙයි., ඊට වඩා උත්තරීතර දෙයක්.
විසිවසරකට පෙර වියරුවෙන් ගැයු ගීයේ පද රචකයා සමග සංයමයෙන් සිදු කෙරු කතාබහ අවසන් කරන විට රාත්‍රී දහයාමාර ය. ගෙදරට ඩිං ගා යෑමට ත්‍රිවිලයට නගින්නට පෙර ඔහු කියු අවසන් වචන කිහිපය මම ඉන්පසුව ගෙවුණ හුදෙකලා මොහොතවල් කිහිපයක සිහිකෙරුවෙමි.,තවමත් සිහි වේ.
"අපේ කාලය දෑන් ටිකෙන් ටික ඉවර වී ගෙන යන්නේ. නමුත් අපි නවත්තපු තැනින් උඹලා මේක ඉස්සරහට ගෙනියන්න ඕනේ. මොකද උඹලාට තමා කවදා හරි මේක ඇදගෙන යන්න පුළුවන් වෙන්නේ."

                                                                                                                                  - අයන්ත යුනේෂ් ප්‍රනාන්දු -

Comments

Popular posts from this blog

සිංහල සිනමා වංශය

සමාජ යථාර්ථවාදය සහ සිනමාව .

කසුකුසුව 01 - රත්න ශ්‍රී විජේසිංහ සමඟ