කසුකුසුව 08 - සසංකා විතානගේ සමග
"බඹර වද කියන්නේ ම මල්වල කහට
ගොඩ ගහපු මිනී වළකට
බාදුරා කියන්නේ ම එහෙව් පීඩනයක
ජයග්‍රාහී පිපිරුම"
මේ කවිය මුලින් ම ඇහැ ගැටුණ විට එය ලිවේ කවුදැයි යන්න නොදැන සිටියෙමි. නමුත් මේ කවිය ලියු කිවිදියගේ "රැළි නොවන් රළ" කාව්‍ය සංග්‍රහය එළි දැක්විමේ උත්සවයට නිරායාසයෙන් පය අද්දවන්නට හේතු වුයේ ම ඉහත කවිය යි. ඈගේ නම සසංකා විතානගේ ය. මේ කසුකුසුව සුවිශේෂී වන්නේ නිර්මාණකාරියක් සමග සිදුකල පලවෙනි කතාබහ නිසා ම ය.
1.ඔබ කෑමති මේ පොළොවේ බදුරාවක් වෙන්න ද? රෝස කුසුමක් වෙන්න ද?
* කුසුමක් නොවී ඉන්න තමා කැමති.
2.කිවිදියක් සහ කවියෙක් යන දෙදෙනා සමාන පුද්ගලයෝ ද ?
* පිරිමි සහ ගැහැනු ඇයි මේ තරං වෙනස් කියල පොතකුත් තියෙනවා. ඒක ලියන්නෙත් විවාහක යුවළක්. ඉතිං , කොයිම විදියකින්වත් දෙගොල්ලො සමාන වෙන්නෙ නැහැනෙ. මොන ජාති නාමයෙන් හැදින්නුවත් ඒ දෙගොල්ලක්. අති සියුම් හැඟීමකින් පවා එයාලා වෙනස්. අසමාන වීම ම තමා හොඳම දේ. ලස්සනයි එතකොට.
3.දිසාපාමොක් කෙනෙක් ඇතුලේ දුයිශෙන් කෙනෙක් ඉන්න බැරිද ?
* පැහැදිලිව ම ඉන්න පුළුවන්. ඒ චරිත දෙක දේශපානික වශයෙන් වගේ ම සමාජීය වශයෙන් ගත්තම බල කඳවුරු දෙකක නිරූපණයක් නෙ. ඕකම අනිත් පැත්තට ගමු. දුයිශෙන් කෙනෙක් ඇතුළෙ දිසාපාමොක් කෙනෙක් ඉන්න බැරිද? දුයිශෙන්ට එහෙම නොවී ඉන්න බැරිකමක් නෑ. එයා එහෙම නොවී ඉන්නයි උත්සහ කරන්නෙ. දිසාපාමොක් වුනත් එහෙමයි. දිසාපාමොක්ට බැරිද එයා ජීවත් වෙච්ච පරිසරය ඇතුළෙ දුයිශෙනියානු ගුරුභූමිකාව කරන්න? බැරිකමක් නෑනෙ. ඒත් මෙතනදි දිසාපාමොක්ව maintain කරන්නෙ සහ දිසාපාමොක් maintain කරන්නෙ එයාගෙ පන්තිය. දුයිශෙන් තමා හොඳම ගුරුවරයා කියන එක නෙවේ මං කියන්න උත්සහ කරන්නෙ.සන්දර්භයන් දෙකක් විසින් නිර්මාණය කළ හැකි භූමිකා දෙකක් මේක.
4.මිනිසෙකුට නොපෙනෙන මානයක් කලාකරුවෙක්ට පෙන්නේ ඇයි ?
* කලාකරුවෙකුට ඉබේ පේනව නෙවේ මං හිතන්නෙ. එයා නොපෙනෙන මානයක් දකින්න උත්සහ කරනවා. මොකද්දෝ අතට අහුනොවන හැඟීමක් ඒ මනුස්සයට තියෙනවා. ඒක අසාධ්‍යයයි.
5.නිර්මාණකරුවා සතු අනිත් මිනිසුන්ට නැති වාසනාව මොකක්ද ?
* නිර්මාණකරුවෙක් රිද්ද ගන්නවා වැඩී. සහ රිදෙනව වැඩී. ඒ නිසා ඒක අනිත් මිනිස්සුන්ට වඩා වාසනාවන්තකමක් වෙන්න බෑ. ඒක මාර අවාසනාවක් එක අතකට .
6.කලාකරුවෙක් සමාජ ගැටළු ගැන නිර්මාණයක් නොකලා නම් කලාකරුවෙක් වෙන්නේ නැත්ද ?
* 'සමාජ ගැටලුව' කියන වචනෙම ටිකක් ප්‍රශ්නකාරී මට. කොහොම වුනත් ආත්ම කේන්ද්‍රීය වස්තු විෂයයන් පාදක කරගෙන නිර්මාණ බිහිකරපු කලාකරුවො කොච්චර ඉන්නවද? ෆ්‍රිඩා කාලො කියන්නෙ ම 'Self' තේමාව ඇතුලෙ නිර්මාණ බිහිකරපු කලාකාරිනියක්. කමලාදාස් තමන්ගෙ , තමන් දන්න ඇත්ත ස්වයං චරිතාපදානයක් විදියට ලියනවා. කලාකරුව්ව්ක් අහු කර ගන්නා ඕනෑම ප්‍රස්තුතයක අවසාන තිතෙන් පස්සෙ තමයි කලානිර්මාණයක් බිහි වෙන්නෙ. ඒක සමාජ ගැටලුවක් වෙන්නත් පුළුවන් . දැන් විකාරරූපී නාට්‍ය ශෛලිය බිහි වෙන්නෙ ම යුද්ධයේ ප්‍රතිඵලයක් විදියටනෙ. ඒත් ඒක වෙනම කලා සම්ප්‍රදායක් බිහිකරනවා. පවතින දේ එලෙසම ප්‍රතිනිර්මාණය කරලා ශේප් වීමක් එතන නෑ. ඒ නිසා සමාජ ගැටලු තියෙන්නෙ කලාකරුවාටට පෝෂණය වෙන්න නෙවේ.
7.අප බොහෝ දෙනෙක් අනෙකා ළඟ ඇති අපට නැති දෙයක් ගැන හිතලා දුක් වෙනවා. නමුත් අනෙකාගේ ඛේදය අපිට නොපෙනෙන්න හේතු තියෙනවා ද ?
* ආත්මාර්ථය . මමංකාරය. ඉගෝ ( ego) කියල අපි කියන්නෙ. එහෙම වුනාම අනෙකා විතරක් නෙවේ තමන්ටත් තමන්ව හරියට පේන්නෙ නැතුව යනවා.
8.ප්ලේටෝ කිව්වා වගේ කලාකරුවෙක් කියන්නේ බොරු කාරයෙක් ද ?
* එයා ශිෂ්ට සහ යහපත්. බොරුකාරයෙක්. මෙහෙම කියමුකො. දැන් සිනමාව කියන්නෙ ෆැන්ටසියක්නෙ. ඒත් අපි යතාර්ථය ඒ හරහා අද්දකින්න පෙළඹෙනවා. ෆැන්ටසිය හරහා අපිව මෙහෙයවන්නෙ එවැන්නකට. ඉතිං ඒ බොරුව, සද්භාවී. ඒත් බොරුකාරයෙක් කියන්නෙ කලාකරුවෙක් නෙවේ.
9.තමන්ගේ හිතේ තියෙන දේ කලාකරුවට මේ දී තිබෙන රාමුවේ ප්‍රකාශය කරන්න බැරි නම් ඔහු කොච්චරක් ඉන් පීඩාවට ලක් වෙනවා ද ?
* ඒ පීඩාව ඒතරම් වේදනාකාරී. හරියට මොළේට ඇණ ගහනවා වගේ. එක අතකින් ඒක පීඩිතයාට තව තව ලිවීමට අවස්තාවක් විවර කිරීමක් කියල මට හිතෙන්නෙ. බ්‍රෙශ්ට්ව පිටුවහල් කරනවා තස්රීමාව පිටුවහල් කරනවා ඒත් නිර්මාණ කිරීම නවතින්නෑ. මෙතනදි කලාකාරයට තියෙන්නෙ එකම වගකීමයි. ඒ, තව දුරටත් එයාගෙ නිර්මාණාත්මක බව රැකගෙන නිර්මාණ කිරීම. නැතුව බය වීම නෙවේ.
10.ප්‍රේමය තිබෙන තාක් කවියා මියයන යන්නෙ නැත්ද?
* ප්‍රේමය තිබෙන තාක් කවියා මැරි මැරි උපදීවි. ඉපදි ඉපදී මැරේවි. කවියෙකුට විතරක් නෙවේ ඕනෑම මනුස්සයෙකුට ප්‍රේමය නැතුව ජීවත් වෙන්න පුළුවන් කියල මං හිතන්නෑ.
ඉතින් මේ ඉතාමත් වැඩ රාජකාරි බහුල දින කිහිපයකි. පොත් පවා අතපත ගාන්නට වෙන්නේ දෙවරක් හිතාමත ය. නමුත් මේ කසුකුසුව දිගට ම කරගෙන යා යුතු ය. අපට එකට නවතින්නට තැනක් හමුනොවනා තෙක්ම
- අයන්ත යුනේෂ් ප්‍රනාන්දු -
Comments
Post a Comment