කසුකුසුව 07 - ගීහාන් ඩී. චිකේරා සමග
සියළු දෙනාට කලාව අතපත ගාන්නට හැකිවුණ ද , කලාව සියළු දෙනා අතපත ගාන්නේ නැත. එය කලාකරුවෙකු නිර්මාණයකින් දායක වනවිට අපිට හොදින් හැගි යන දෙයකි. ඔහු ඒ ඒ කාර්‍යයට සුදුසුද නැද්ද යන්න අපි තීරණය කරන්නේ ඒ නිර්ණායකය මත ය. මේ කසුකුසුව වසර එකොලහක් මා කතාබහ කරන්නට බලාසිටි මිනිසෙකු සමග සිදු කෙරුණෙකි. නමින් ඔහු ගීහාන් ඩී. චිකේරා ය. මිට වසර එකොලහකට පෙර අමු කට්ටක් කා මිතුරන් සමග ජර්මනියට යෑමට හැකියාව තිබිය දි පවුල වෙනුවෙන් තම අදහස වෙනස් කල " මචං" චිත්‍රපටයේ "මනෝජ්" සමග ය.
1. මිනිස්සු තාමත් "මචං" බලන්නේ ඇයි ?
මං හිතන්නේ ඕන ම කලාකෘතියක Life එක පැවතෙන්නේ ඒක නිෂ්පාදනය කරපු හරි, එළිදක්වපු අවුරුද්ද උඩ නෙමේ. ඒක නරඹන හෝ ඒකට ප්‍රතිචාර දක්වන Audience එක එක්ක නිරන්තරෙන් සම්බන්ධයක් පවත්වාගෙන යනවාද නැද්ද කියන එක උඩ තමයි ඒ කාරණාව තීරණය වෙන්නේ. ඕනෑ ම කලා කෘතියක නාට්‍යයක් වේවා, ෆිල්ම් එකක් වේවා, පොතක් වේවා එකේ ජීව ගුණය පැවැත්වෙන්නේ ප්‍රේක්ෂකයා හෝ පාඨකයා හෝ සමාජය එක්ක ඇතිකරගන්නා වූ ඒ සබැඳියාවත් එක්ක. උදාහරණයක් විදියට ගත්තොත් අපි තාම ග්‍රීක නාට්‍ය බලනවා., ශේක්ස්පියර්ගේ නාට්‍ය තාම බලනවා. මොකද ඒවායේ කතා වෙන සමාජ, දේශපාලන, ආර්ථික, සංස්කෘතික ප්‍රශ්න සහ කරුණු කාරණා අදටත් වලංගුයි. ලෝකයේ එක්දහස් නවසිය තිස් ගණන්වල, හතලිස් ගණන්වල, පනස්ගණන්වල වගේ ම ලංකාවේ ලංකාවේ හැත්තෑ ගණන්වල,අසූ ගණන්වල හදපු Films තාමත් අපි බලනවා. වේදිකා නාට්‍යයත් එහෙමයි. "මචං" Release වෙලා දැනට අවුරුදු එකොළහක් වෙනවා. කොහොම හරි ඒ ෆිල්ම් එකේ කතා වෙන සමාජීයිය හා ආර්ථික ප්‍රශ්ණ, කරුණු කාරණා මං හිතන්නෙ අදටත් වලංගුයි. සමහරවිට 2008 තිබ්බ තත්ත්වයටත් වඩා අද ඒවා වලංගු වෙන්නත් පුළුවන්. ඉස්සරහට ඒවා වැඩි වෙන්නත් පුළුවන්., අඩු වෙන්නත් පුළුවන්. මං හිතන්නේ ඒ connection එක තිබෙන තාක්කල් නරඹන්නන් "මචං" බලයි. ඒක "මචං" වලට විතරක් සුවිශේෂී දෙයක් නෙමෙයි. ඒක ඕන ම කලා කෘතියකට පොදු දෙයක්. ඒක Base වෙන්නේ කෘතිය නිර්මාණය කළ මනුස්සයා උඩ නෙමෙයි. කවුරුහරි හිතනවා නම් steven spielberg හරි වෙනත් විශිෂ්ට නිර්මාණකරුවෙක්ගේ තියෙන ජනප්‍රියතාවය හෝ දක්ෂතාවය මත නෙමෙයි කලා කෘතියක life එක පැවතෙන්නේ. මොකද විශිෂ්ට නිර්මාණකරුවන්ගේ සමහරක් නිර්මාණ දිගු කාලයක් ප්‍රේක්ෂකයා වැලදගත්තත්, ඔවුන්ගේ ම තවත් නිර්මාණ එලෙස ප්‍රේක්ෂකයා බාරගන්නෙ නෑ. කලා කෘතියක් ආරම්භ වෙන්නේ නිර්මාණකරුගෙන්. නමුත් නිර්මාණකරුවා ඒක එළියට දැම්මාට පස්සේ සමාජයට එක භාරයි. සමාජය ඒක පිළිගන්න විදියයි, සමාජය ඒකත් එක්ක ගනුදෙනු කරන විදියයි එක්ක තමයි කලාකෘතියක ජීව ගුණය පවතින්නේ.
2. "මචං" සාර්ථක වෙන්නට උබෙර්තෝ පසෝලිනි කොච්චරක් හේතුවුණා ද ?
ඒ ප්‍රශ්නය යොමු කරන්න ඕනේ අධ්‍යක්ෂකවරයාට. මම ඒකට දායක වුණේ නළුවෙක් විදියට. අපි හිතනවානේ මොනවා හරි දෙයක් ලියන්න නිර්මාණකරුවෙක් සමාජ සංදර්භය ඇතුලේ ම ඉන්න ඕනේ කියලා. නමුත් දැන් පිරිමි ලේඛකයෙක් කාන්තාවක් වෙන්න ඕනේ නෑනේ කාන්තාවක් ගැන ලියන්න. නිර්මාණකරුවෙකුට සමාජයේ තියෙන ගැටුම්, අසාධාරණකම්, අසමානකම් ගැන සංවේදී නම් , තමන්ගේ රටේ තිබෙන සංස්කෘතියට වගේ ම තමන් ආගන්තුක වෙන සංස්කෘතියකට සවන් දෙන්න පුළුවන් නම් , හොද කලාකරුවාට පුළුවන් වෙනවා අපි කොයි රටේ හිටියත්, කොයි සමාජයේ හිටියත්, ලෝකෙ කොයි තැනක හිටියත්, අපි ඉන්න පසුබිම්වල සුළු සුළු වෙනස්කම් තිබුනත් මිනිස්සු වශයෙන් අපි අත්දකින දේවල් ගොඩක් සමානයි කියන එක හඳුනාගන්න. ඇත්තටම කලාවෙන් සිදු කෙරෙන සමාජ මෙහෙවර තමයි ඕක. අපිට ඇමරිකාවේ අර්නස්ට් හෙමිංවේගේ පොතක් කියවලා රස විඳින්න පුළුවන් වෙන්නේ ඇයි ? ලංකාවෙ ඉන්න කුඩා දරුවෙකුට Harry potter බලලා රසවිඳින්න පුළුවන් වෙන්නේ කොහොමද ? අප්‍රිකානු ලේඛකයෙක් ලියපු නවකතාවක් රස විඳින්න පුළුවන් වෙන්නේ කොහොමද ? ඒක පුළුවන් වෙන්නේ කලාවෙන් මිනිසුන්ව එක්කාසු කරන්න තියෙන හැකියාව නිසායි. දේශපාලනයෙදි පාලක පන්තිය විසින් බල තණ්හාව හා ආර්ථික වාසි ලබාගැනීම අරමුණු කර ගෙන ගෙනියන දේශපාලන ක්‍රමවේදය අපි දකින්නේ ගොඩක් වෙලාවට මිනිස්සු භේදභින්න කරන්න හදන එකක්. නමුත් කලාවෙන් කරන්නේ ලෝකෙ කොයි තැනක හිටියත් මිනිස්සු ඒකරාශි කරන එක. අත්දැකීම්වල පොඩි පොඩි වෙනස්කම් තිබුණාට මිනිස්සු වශයෙන් අපේ හැගීම් සමානයි. අන්න ඒ දේ තමයි හොඳ Art එකකින් එළි දක්වන්න පුළුවන්. පිකාසෝගේ "ගුවර්නිකා" බැලුවා ම ලංකාවෙ මිනිස්සු හැටියට පුළුවන් අපිට ඒකට සංවේදී වෙන්න. මීට සති කීහිපයකට කලින් වෙච්ච Easter attack එක අපි දැක්කා. පසෝලිනි ගැන මට පෞද්ගලිකව කතා කරන්න බැහැ. නමුත් ඔහුට මේක සාර්ථකව කරන්න පුළුවන් වුණා නම් ඒකෙන් ඔප්පු වෙන්නේ ඔහු සාර්ථක, සංවේදී නිර්මාණකරුවෙක් කියන කාරණය. මොකද Artවල තියෙන ප්‍රධාන ගුණාංග ඔහු හදුනාගෙන ගෙන තියෙන නිසා.
3. අපිට සුවදායි අවසානයක් "මචං" ගෙනාවාට ඒ සියලු චරිත සහ ඒ හා සම්බන්ධ අනිත් මිනිස්සුන්ට මුහුණ දෙන්නට සිදුවෙන ඛේදවාචකය ගැන හිතන්න අපිව පොළඹනවා ද ?
ඒක සුවදායි අවසානයක් කියලා අපිට කියන්න පුළුවන්ද ? හරි එයාලගේ ව්‍යාපෘතිය සාර්ථක වෙනවා. එකෙන් අපි ආතල් එකක් ගන්නවා. ඒ වුණාට අපි දන්නවානේ වෙන රටකට ගිහිල්ලා වැඩ කරන්න යන මිනිස්සු විඳින දුක. ඒ චරිතවලට ඉස්සරහට තියෙන අභියෝගය කුමක්ද ? ජොබ් එකක් හොයන්න ඕනේ., අහුවෙයි ද ? නැද්ද ? සමහර වෙලාවට එයාගේ ලංකාවේ ඉන්න නෑදෑයන්ට එයාට වඩා හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඒක සුබවාදී අවසානයක් කියන්න පුළුවන් උත්තේජනයක් තියෙනවා තමයි. චිත්‍රපටිය බලලා ඉවර උනාම අපිට සතුටක් හිතෙනවා එයාලා මේක කරා නේද කියලා. නමුත් පස්සේ අපිට මෙයාලා ඉදිරියට කරන්න ඉන්නේ මොනවාද කියන එක ගැන කල්පනා කරන්න වෙනවා.
4. මිනිස්සුන්ට නැවත නැවත අහලා,බලලා අලුත් දෙයක් ඉගෙනගන්න පුළුවන් නිර්මාණ බිහිවෙන්නේ නැත්තේ ඇයි?
සමහර නිර්මාණ බිහිවෙනවා., සමහර නිර්මාණ බිහිවෙන්නේ නෑ . නිර්මාණයක ජීව ගුණය රඳා පවතින්නේ ඒක පාඨකයාට අදාලද නැද්ද කියන කාරණාව උඩ. සමහර සින්දු හරි, පොත් හරි, Artistලා හරි ඉතා ඉක්මනට Hit වෙනවා. හැබැයි එයාලා දවසින් දෙකෙන් Hit වෙනවා වගේ ම එයාලා ඉක්මනට අමතක වෙලා යනවා. මොකද එයාලට අදාළත්වය තියාගන්න බැරි වෙනවා. යම්කිසි දෙයක් හොඳ කලාවක් හරි, නරක කලාවක් හරි කියලා විවේචනය කරන්න මම කැමැති නැහැ. මොකද මම කැමති වෙන කලාවක් සමහරක් වෙලාවට ඔබ කැමැති වෙන්න නැති වෙන්නත් පුළුවන්. නමුත් ඒක අවසානයේදී පවතින්නේ society එක උඩ. අපි වෑංගෝ ගත්තොත් ඔහු ජීවත්වෙලා ඉන්න කාලෙදී ඔහුගේ Artවලට කිසි වටිනාකමක් තිබ්බේ නැහැ. මැරුණට පස්සේ තමා එයාගේ Artවලට පිළිගැනීමක් තිබුණේ. එයා අන්ත දුප්පත් තැනක හිටපු කෙනෙක්. අන්තිමට සිය දිවි හානි කර ගන්නවා. නමුත් අද එයාගෙ Art එකක් ඩොලර් මිලියන ගානකට විකිනෙනවා. ඒ ඉතින් යම්කිසි වටිනාකමක් ඒ කලා නිර්මාණයට තිබෙන නිසානේ.
5. "මචං" චිත්‍රපටයේ ඉන්නවා එක් සුවිශේෂී චරිතයක් .ඔහු මිනිවලවල් කපන මිනිසෙක්. ඔහු කියන්නේ එක ම දෙබසයි. නමුත් ඒ වචන ටික තාමත් මිනිස්සුන්ට මතකයි. ඒ චිත්‍රපටයේ හිටපු වසනාවන්ත ම නළුවා සහ චරිතය ඔහු ද ?
ඔය චරිතය චරිතය කලේ "සෙල්වා" කියන තලවකැලේ පැත්තේ කම්කරුවෙක්. ඔහු පුහුණුවක් ලබාපු චරිතයක් නෙමෙයි. ඔබ කියනවා වගේ ම ඒ චරිතය හරි සුවිශේෂී චරිතයක්. වචනයක්වත් කතා කරන්නේ නෑ චිත්‍රපටිය තුළදී. හැගීම් හොඳට ඉස්මතු කරන්න පුළුවන්, අපිට ආකර්ෂණයක් ඇති වෙන විදියේ මුහුණක් එයාට තියෙන්නේ. Film එක කරලා අවුරුදු අවුරුදු කිහිපයකට පස්සේ සෙලවා ලෙඩ වෙලා අන්තරා වෙනවා. ඔහු දැන් ජීවතුන් අතර නැහැ. මායි ධර්මප්‍රිය ඩයසුයි ගියා ඔහුගේ අවසන් කටයුතුවලට. දැන් ඔබ අහපු ප්‍රශ්නය මට ගම්‍ය වූණේ ඔහු දැන් ජනප්‍රිය චරිතයක් හරි, ඔහුට ෆිල්ම් එකෙන් පස්සේ ලොකු තැනක් හම්බ වුණා වගේ කියන එකක්නේ. එහෙම කිසි දෙයක් හම්බ වුණේ නැහැ. ඔහු චිත්‍රපටියට කලිනුත් කම්කරුවෙක්., චිත්‍රපටය පස්සේත් කම්කරුවෙක්., මිය යන්නේ කම්කරුවෙක් විදියට. එයාට තවත් නිර්මාණයකට සහභාගි වෙන්න සමාජ සම්බන්ධකම් සහ වාසනාව කියන දේ තිබුණේ නැහැ. මිනීවළ කැපූ සෙල්වාට අවසානයේ ඉතාමත් ඛේදජනක මරණයක් අත් වුණා. මේක ඔබ ලියනවා නම් අනිවාර්යයෙන් ම මතක් කරන්න ඕනේ අපේ ටීම් එකේ සහෝදරයෙක් හැටියට සෙල්වාව.
6. මිනිස්සු ඒකමතික තීරණයක ඉන්නේ සමහරක් දේවල් සම්බන්ධයෙන්. ඒක වෙනස් කරගන්න බොහෝ අය කෑමති නෑ. නමුත් ඒ අය ස්වයංව නැවත නිවැරදි තීරණයකට එන එක කොහොම වැදගත් දෙයක් ද ?
ඒක තමන් විසින්ම ද එන්නේ ? නැත්නම් වෙන කාගේ හෝ බලපෑමකින්ද ? දැන් "දොළහක්" නාට්‍ය ගත්තොත් එතන සංවාද හරහානේ මිනිසුන්ගේ තීරණ වෙනස් වෙන්නේ. එතනදී පළවෙනියෙන් ම ළමයාගේ මරණිය දණ්ඩනයට විරුද්ධ වෙන්නේ ජූරි සභික 8. එකොළොස් දෙනෙක් ඉන්නේ ඒ ළමයව එල්ලූම්ගහට යවන්න ඕනේ කියන තීරණයේ . ජූරි සභික 8 කියන්නේ අපි මේ ගැන පැයක් කරා කතා කරමු කියලා සහ ඔහු මතු කරන සහ අහන ප්‍රශ්නය තමා තමා "ඇයි?" කියන ප්‍රශ්නය. ඔහු එය නාට්‍ය මුලදීම දිගින් දිගට ම අහනවා. "එහෙම වෙන්න පුළුවන් ද?" "මෙහෙම වෙන්න බැරිද ?" මං හිතන්නේ නෑ සමාජය හැම මිනිහා ම එකම තීරණයක ඉන්න ඕනේ කියලා. ජාතිවාදය කියන එක ගත්තාමත් හැම මිනිහා ම ඒ ගැන එකම තීරණයක ඉන්නවා කියන්න බැහනේ. අනිත් එක තමයි අපි වෙනුවෙන් ඒ තීරණ ගන්නෙ කවුද ? දැන් සාමාන්‍ය මිනිසුන්ගෙන් අහල ද රටේ ප්‍රධාන තීරණ ගන්නේ ? නෑනේ. දැන් ලෝකයේ රටවල්වල පාලක පන්තිය විසින් එගොල්ලන්ගේ මාධ්‍ය හරහා, එයාලගේ දේශපාලනය නායකයෝ හරහා, සමාගම් හරහා, සංවිධාන හරහා මේ ජාතිවාදය ව්‍යාප්ත කරන එක තමයි පේන්න තියෙන්නේ. ඒත් එක්ක ම හැබැයි මිනිස්සුන්ගේ ආර්ථික ප්‍රශ්ණවලට විසඳුමක් ලබා දෙන්නේ නැහැ. මිනිස්සුන්ගේ සැබෑ ප්‍රශ්ණ වසන් කරලා අදාල නැති දේවල් අවුස්සනවා. මිනිස්සු එහෙම එක තීරණයකට එන්නේ පාලක පන්තිය විසින් එහෙම අදහසක් සමාජගත කරන හින්දාමයි. එතන පාලක පන්තියේ න්‍යාය පත්‍රයක් තියෙනවා. හැබැයි "දොළහක්" නාට්‍යයෙන් පෙන්නුම් කරන්නේ මිනිස්සුන්ට සමාන අවකාශයක, සමාන පුද්ගලයෝ විදිහට විවෘතව ප්‍රශ්න කරන්න සහ තර්ක කරන්න ඉඩක් ලැබුනා ම එතනදී බලය පෙන්නල්ලා, කෑගහලා, ආවේගශීලීව කතාකරන අයට විරුද්ධව Moment එකක් හැදෙන විදිහයි. නාට්‍යයේ මුල ටිකේදී අපිට පෙනවා චරිත දෙක තුනක් හයියෙන් කෑගහනවා. හැබැයි අටවෙනි ජූරි සභිකයා ආරම්භයේ සිට ම අරගොල්ලන්ට දිගින් දිගට ම හිස නමන්නේ නැතුව මේ සාධාරණ සැකය කියන කාරණාව විතරක් මතු කරමින් ඒ ඔස්සේ ප්‍රශ්න කරන නිසා ඔහු ලබාදෙන නායකත්වයෙන් ටිකෙන් ටික සාධාරණව හිතන්න පුළුවන් මිනිස්සු ටිකක් හඩා ගන්නවා. එතනදි කලින් කෑගහපු අයගේ තර්කවලට තිබෙන ඉඩ අඩු වෙනවා . අනික ඔවුන්ගේ දෙබිඩි පිළිවෙත එළියට එනවා. දොලහක් නට්‍යයේ තියෙන වැදගත්කම තමයි සමානව මිනිස්සුන්ට ගනුදෙනු කරන්න ඉඩක් හැදුණාම සත්‍යට ඉඩක් ලැබෙනවාමයි කියන දේ පෙන්වා දෙන එක.
7. සමහරක් නිර්මාණකරුවන්,කලා ශිල්පින් නිතර ම පාහේ අපි දකිනවා.,අහනවා. නමුත් සමහරක් ශිල්පින් නිතර ම පාහේ නිර්මාණවලට එන්නේ නෑ. නමුත් ඒ නිර්මාණකරුවා දායක වෙන ඉතා සුළු කොටසක් වුවත් කවදාවත් රසිකයාගේ හිතේන් අමතක වෙන්නේ නෑ. ඒ මැජික් එක මොකක් ද?
"කලා සමාජය" සහ "තරු සමාජය" කියන්නේ දෙකක්. මං කල්පනා කරන විදිහට Artist කෙනෙක් කියන්නේ යම්කිසි විශේෂ නිපුණතාවක් තියෙන පුද්ගලයෙක්. හැබැයි ඒ විශේෂ නිපුණතාවය තියෙන්නේ කලාකරුවන්ට විතරක් නෙමෙයි. ගොවියටත් තියෙනවා, වඩුවාටත් තියෙනවා .එක එක ක්ෂේත්‍රවල වැඩ කරන worksලාටත් තියෙනවා. හැබැයි අවාසනාවකට අපේ සමාජයේ සමහර නිපුණතාවන්යන්ට දෙන වටිනාකම වැඩි., සමහර එවුන්ට අඩුයි. Media culture එක නිසා ජනප්‍රියත්වය කියන දේ ලොකු දෙයක් වෙලා. ජනප්‍රියත්වය කියන එක වාණිජ භාණ්ඩයක් බවට පත්වෙලා. ඒ නිසා කලා සමාජයෙන් ඔබ්බට ගිහිල්ලා තරු සමාජයක් හැදිලා තියෙනවා. හැම කලාකරුවෙකුට ම ජීවත් වෙන්න ක්‍රමයක් ඕන වෙනවා. සමහර Artistලා ඉන්නවා full-time වෙන රස්සාවක් කරන ගමන් , කලා කටයුතුවල නියැලෙනවා. මම ඒක දකින්නේ Professional hobby එකක් විදිහට. සමහර කට්ටිය ඉන්නවා කලාව ම full-time කරන කට්ටිය. රස්සාවක් කරන ගමන් කලාවේ නියැලෙන අයට තියෙන නිදහස වැඩි, තමන් දායක වෙන කලා වැඩ මොනවද කියන එක තෝරලා බේරලා, එයාලට හොඳයි කියන ඒවට විතරක් දායක වෙන්න. අනිත් අයට ඇත්තටම ඒ choice එක නැහැ. ජීවත්වීම සඳහා එයාලට දෙන දේ කරන්න වෙනවා. මම ආශ්‍රය කරන ගොඩක් Serious Artistලා කැමැත්තෙන් නෙමෙයි මේ වැඩේ කරන්නේ. එයාලට මේ තිබෙන System එක සම්බන්ධයෙන් දැඩි කලකිරීමක් සහ විවේචනයක් තිබෙනවා. නමුත් එයාලට ඒක වෙනස් කරන්න විදියක් නැහැ. මේ system එකේ දි අපි අවසානයේදී භාණ්ඩ බවට පත්වෙනවා. අපිට අපිව විකුණන් කන්න වෙනවා. ඒත් එක්ක ම සමහර කට්ටියක් ඉන්නවා මේ ජනප්‍රියත්වය පස්සේ විතරක් ම ලුහුබදින. එයාලා මේ Industry ඒක ඇතුළේ වැජඹෙනවා.
වේදිකාව ගත්තාම නළුවන්ට Stage presents කියලා දෙයක් තියෙනවා. සමහර නළුවන්ට පුළුවන් මිනිසුන්ව එක පාරට ම ආකර්ෂණය කරගන්න. එක්කෝ කටහඩින්, මුහුණෙන්, බැල්මකින් ඇස් දෙකෙන් හරි මොනවාහරි දෙයකින්. ඒ පුද්ගලයාගේ වටේ පැහැදිලි කරන්න බැරි Energy එකක් තියෙනවා. ඒ වගේම එයාලට හැකියාව තියෙනවා ඒ ඇතුලේ තියෙන Energy එක එළියට project කරන්න. ඒකත් එක්කම හැබැයි ඉගෙනගත්ත technique එකකුත් තියෙනවා. දැන් ගත්තොත් මේ වෙද්දිත් ලෝකේ හොඳම නළුවෙක් විදිහට සලකන laurence olivier කියන නළුවාට පුළුවන් වේදිකාවේදි කාටහරි රහසක් කියනවා වගේ කතා කරන්න ප්‍රේක්ෂකාගාරයේ අන්තිම ආසනයේ ඉන්න පුද්ගලයාට ඇහෙන විදිහට. අපි දැවැන්තයි කියලා සලකන නළුවන්ට ඔය දෙකම තියෙනවා.
8. "දොළහක්" තුල ජුරි සභිකයෙක් වෙන එක කොච්චර අමාරු දෙයක් වුණා ද ?
"දොළහක්" කියන්නේ ගොඩාක් දෙබස් තියෙන නාට්‍යක්. නමුත් මගේ චරිතයට තිබුණේ දෙබස් ටිකයි. නාට්‍ය පැය දෙකාහාමරක් විතර දුවනවා. නමුත් මගේ දෙබස් ටික එක පෝලිමට කියවගෙන ගියා නම් එතන විනාඩි පහක්වත් නෑ. ඒ නාට්‍යයෙන් මම Actor කෙනෙක් විදිහට මම ගොඩාක් ඉගෙන ගත්තේ Reaction කියන එක. මගේ වටේ සිද්ධ වන දේට නිහඩව React කරන විදිහ. දොළහක් තුලින් මම ඒ අවස්ථාව උදා කරගත්තා.
9. රගපාන එකට වඩා කාටුන් අදින එක සිරියස් ද ?
දෙකම සිරියස්. දෙකට ම හැදැරිමක් තියෙනවා. දෙකට ම Reseach කරන්න ඕනේ., පුරුදු පුහුණු වෙන්න ඕනේ. මහන්සි වෙන්න ඕනේ. කියවන්න ඕනේ. ගොඩාක් වේලාවට වේදිකා නාට්‍යයක් ඉවර වෙලා මිනිස්සු අපිට කතා කරනකොට අහන දෙයක් තමයි "අනේ අපිටත් නාට්‍යකට සම්බන්ධ වෙන්න බැරිද?" කියන ප්‍රශ්නය. නමුත් ඒ අය දන්නේ නෑ නාට්‍යක් නිර්මාණය කරන්න යද්දී අපි කන කට්ට. එයාලාට පෙන්නේ අර අන්තිම ලස්සන කෑල්ල විතරයි., නමුත් කැත පෙන්නේ නෑ., මහන්සිය පෙන්නේ නෑ., ඒකට අවශ්‍ය Discipline එක පෙන්නේ නෑ. මං අර කලින් කතා කරපු තරු සංස්කෘතිය එකට බලපානවා. සමහර අයට ඉක්මනට තරුවක් වෙන්න , වේදිකාව උඩ Highlight වෙන්න ඕනේ. ඒ නිසාම අපි දිගින් දිගට ම තහවුරු කරගන්න ඕන දෙයක් තමයි Actor කෙනෙක් වෙන එක අමාරු දෙයක් කියන එක. විනෝදාත්මක පැත්තකුත් අනිවාර්‍යයෙන් තියෙනවා. නැත්තේ නැහැ. නමුත් එක පිටිපස්සේ අමාරු කාර්‍යය රාශියකුත් තියෙනවා. කාටුන් ශිල්පියෙක් වුණාමත් එහෙම බලපෑමක් තියෙනවා. Daily පත්තරයකට කාටුන් අදින කොට Deadline එකක් තියෙනවා. Deadline එකට කලින් මොනාහරි දෙයක් ඇදලා දෙන්න ඕනේ. දැන් ඉස්සර වගේ නෙමෙයි. පත්තර කියවන්න ඕනේ., social media, goosip site බලන්න ඕනේ.. Reseach ගොඩාක් කරන්න තියෙනවා. නමුත් එතනත් විනෝදාත්මක පැත්තක් තියෙනවා. මොනවා වුණත් අදින එකේ Relax එකක් තියෙනවානේ., එක Enjoy කරන්න පුළුවන්. නමුත් Final product එක බලලා අපිට හිතන්න බෑ මේක ලේසි වැඩක්නේ, Enjoy කරන්න පුළුවන් වැඩක් නේද කියලා. එහෙම හිතන එක වැරදි. මේ ක්‍රියාවලිය පිටිපස්සේ ගොඩක් ප්‍රශ්ණ තියෙනවා.
10. මිනිස්සු කාටුන් ආතල් එකකට නොගෙන ඒ ගැන සිරියස් විදිහට හිතන්න පෙළඹෙන්නේ නැත්තේ ඇයි ?
කලාවකට කවදාවත් සමාජය වෙනස් කරන්න බෑහැනේ. එකට දේශපාලන ව්‍යාපාරයක් ඕනේ. ඒ දේශපාලන ව්‍යාපාරයට කලාකරුවා සම්බන්ධ වෙන්න පුළුවන්., සහයෝගය දක්වන්න පුළුවන්. නමුත් cartoon එකකට, Cartoon Artist කෙනෙකුට සමාජයේ සම්පුර්ණ පෙරලියක් කරන්න බැහැ. ඉතිහාසය දිහා බැලුවා ම විප්ලව වෙලා තියෙන්නේ මහජන නැගිටිම් එක්ක., දේශපාලන ව්‍යාපාර විදිහට තමයි ඒක වෙනස් වෙලා තියෙන්නේ. අපි කියන විවේචන මිනිස්සු ඇත්තට ම භාර ගන්නවා.
* එහෙනම් කාටුන් ඇදලා වැඩක් නැහැනේ...
මේක වැඩක් නැහැ කියලා කියනවා නෙමෙයි මං. මෙකේ වැඩක් තියෙනවා. මම Art වල සමාජ මෙහෙවරක් නැහැ කිව්වේ නෑ . එකේ සමාජ මෙහෙවරක් තියෙනවා. පිකාසෝගේ චිත්‍රයක් ලොකේ විවිධ රටවල මිනිස්සුන්ට රස විදින්න පුළුවන් වෙන්නේ කලාවෙන් අපිව එක තැනකට ගෙන නිසානේ. කලාවෙන් මිනිස්සුන්ව අවදි කරන්න පුළුවන්., ඔවුන්ගේ බුද්ධියට කතා කරන්න පුළුවන්. හැබැයි සමාජය වෙනස් කරන්න පුළුවන් මීට වඩා පුළුල් , සැලසුම්සහගත මහජන ව්‍යාපාරයකින් විතරයි.
11. නිර්මාණයක් තුල මිනිස්සු කෑමති පොදු රසවින්දයක් හදන්න හැම නිර්මාණකරුවෙකුට ම පුළුවන් ද ?
බැහැනේ. සමහර අයට පුළුවන්. සමහර අයට බැහැ.
12. කාටූන් ශිල්පය අනිත් කලා ශිල්පීන්ට වඩා තියුණු එකක් ද ?
එක එක වර්ගයේ කාටුන් ශිල්පීන් ඉන්නවා. මම වැඩ කරන්නේ ජාතික පත්තරයක political cartoonist කෙනෙක් විදිහට. Political cartoonist කෙනෙක් කියන්නේ මාධ්‍යවේදීයෙක් සහ කලාකරුවෙක්. ඒ characters දෙකේම චරිත ලක්ෂණ ඔහුට තියෙන්න ඕනේ. පත්තර කන්තෝරුවේ වුණත් ඔහුට හිමිවන්නේ සුවිශේෂී තැනක්. උත්ප්‍රාසය, සංකේත (symbol) භාවිතය හරහා රටේ තියෙන සමාජ, දේශපාලනික, ආර්ථික කරුණු කාරණා ගැන comment කරන්නයි ඔහුට තියෙන්නේ. ඒක කරන්න වෙන්නේ අපිට දීලා තියෙන ඉඩ සහ අපිට දීලා තියෙන රාමුව ඇතුලේ. ඒ රාමුව ඇතුලේ අපි ඉඩක්,perspective එකක් හොයාගන්න ඕනේ. ඒක Flat එකක් ද ? , ගැඹුරට යනවා ද ?, අපි උඩින් බලනවා ද ?, බිමින් බලනවා ද ?, අපේ චරිතවල ප්‍රමාණය විශාල ද ?, පොඩි ද ?, කොහෙද ඒ ගොල්ලො බලන්නේ ?, එයාලගේ Expression එක මොකක්ද ?, එයාලා Symbol විදිහට භාවිතා කරන්නේ කොහොමද ? කියන එක කාටුන් ශිල්පියාට තීරණය කරන්න වෙනවා. ඒක අනිත් Art වලට වඩා තියුණුයිද නැද්ද කියන්න මට තේරෙන්නේ නෑ. නමුත් ඒක තියුණු Art එකක් බව ඉතිහාසයේ ඉදන්ම අපිට තේරෙනවා.
* නමුත් කාටුන් එකක් කිසිදු භේදයකින් තොරව හැම කෙනෙක්ට ම තේරෙනවා නේද ?
ඒකත් සමහර වෙලාවට වෙනස් වෙනවා. ඇතැම් විට අපි කියන්න හදන දේ මිනිස්සු අර්ථකථනය කරන වෙනස් විදිහකට. අපි අදින එක මිනිස්සුන්ට තේරෙන්නනේ නැති අවස්ථාවලුත් තියෙනවා. ඒ වෙලාවට අපේ සාර්ථකත්වය බිඳ වැටෙනවා. අපිට තියන අභියෝගය තමයි මිනිස්සුන්ට ග්‍රහණය කරන්න පුළුවන් විදිහට ඒ මාධ්‍ය භාවිතා කිරීමයි.
වසර එකොලහලට පසු මගේ ජිවිතයේ ප්‍රියත ම නළුවන් කිහිපදෙනාගෙන් කෙනෙක් සමග කසුකුසුවක් සිදු කරන්නට ලැබිම වෙන ම ආශ්වාදයකි. තවත් මගේ ජිවිතයේ සිත්ගත් මිනිසුන් සමග කාලයක් තිස්සේ සිතේ සිරකරගෙන සිටි ප්‍රශ්න අසා ඔවුනට සොදුරු කරදර කරගෙන යාම ඉදිරියටත් කරගෙන යමි. සැබෑවින් ම කසුකුසුව යනු මගේ ජිවිතයේ අපුරූත ම පර්ච්ඡේදයකි.
- අයන්ත යුනේෂ් ප්‍රනාන්දු -
Comments
Post a Comment