කසුකුසුව - 06 ඉසුරු චාමර සෝමවීර සමග


               Image may contain: 1 person, text
                                                                 කිසිකෙනෙකුගෙන් උපදෙසක් ගන්නැතිව මම ජිවිතයේ ඉවක්බවකින් තොරව ගත් හොදම තීරණයක් නම් උසස් පෙලට සිංහල හා සාහිත්‍යය ඉගෙන ගැනිමට සන්නස්ගල සර් වෙත යාම ය. ඒ පන්තිය වෙනුවෙන් දෙන කාඩ්පතේ පිටත මුද්‍රණය කර තිබුණේ සංහිද මුද්‍රණාලය විසින් ප්‍රකාශනයට පත් කරන පොත කවරවලිනි. මගේ පාසලේ මිතුරියකගේ උපන් දිනයක් වෙනුවෙන් ඇයට ලබාදෙන තිලිණය සදහා ඒ ජුලි මාසයේ පන්ති කාඩ් කවරයේ තිබුණු පොත ලබාදෙන්නට මම තිරණය කෙරුවෙමි. කෙසේ නමුත් ඒ මිල දී ගත් පොතේ එක් කෙටිකතාවක් කියවා පමණක් , ඇයට පසුදින එය තිළිණ කරන්නට හිතු මම අන්තිමට තීරණය කලේ මුළු රැයක් නිදිවරා එය කියවා අවසන් කර දීමට ය. මේ කසුකුසුව සිදුවුණේ ඒ අපුරු කෙටිකතාකරුවා සමග නිදහස් චතුරස්‍රයේ නම් නොදන්නා ගසක් යට ය. නමින් ඔහු ඉසුරු චාමර සෝමවිර ය.
1. වෙඩි උණ්ඩවලින්,බෝම්බවලින් මිනිස්සු ඝාතනය වෙනවා පසුගිය කාලේම. නමුත් ඒ උණ්ඩවලට ම,බෝම්බවලට ම අහුවෙලා දශක කිහිපයක් තිස්සේ තාමත් මියයමින් ඉන්නවා නේද?
අනිවාර්යයෙන් ම., යුද්ධයක් කියන එක භෞතිකව ඉවර උනාට , මිනිස්සුන්ට වෙච්ච Effect එක ඉවර වෙන්න පරම්පරා ගණනාවක් යනවා . භෞතිකව අත් පා අහිමි වෙච්ච මිනිස්සු වගේම, යුද්ධය නිසා අධ්‍යාත්මිකව විනාශ වුණ විශාල පිරිසක් ඉන්නවා. ඒ යුද්ධය තිබුණු ප්‍රදේශවලට විතරක් සීමා වෙන්නේ නෑ. ඒ සමහර ගැඹුරු තුවාල හොඳ වෙන්න නම් මිනිස්සුන්ට මියයන්න ම වෙනවා. පරම්පරා කිහිපයක් ම යයි මේ වෙච්ච දේවල් නැතිවෙලා යන්න. මමත් සමහර තැන්වලින් ලේ ගලමින් ඉන්නවා. මං දකිනවා සමහරක් අය ලේ ගලමින් තුවාලත් එක්ක ඉන්න විදිහ.
2.කාන්තාවක්,කාන්තාවක් විමේ දුක පිරිමින්ට නොතෙරෙන්නේ ඇයි?
ඒක ටිකක් සංකීර්ණ ප්‍රශ්නයක්. සමහර වෙලාවට කාන්තාවකට කාන්තාවක් විමේ දුක කාන්තාවක්ට ම තේරෙන්නෑ. පිරිමියෙක් පිරිමියෙක් වීමේ දුක තව පිරිමියෙක්ට තේරෙන්නෙත් නෑ. .අනෙකා අවබෝධ කර ගැනීමේ අසමත්භාවය අපි ගොඩක් දෙනාට තියෙනවා. පවුල කියන දෙයි පැවැත්ම සඳහා ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයට ම නියම කෙරුණු කාර්යයන් සහ කාර්යපටිපාටීන් තියෙනවා. ගැහැනියක් මෙසේ විය යුතු ය., පිරිමියෙක් මෙසේ විය යුතු ය., ගැහැණු ළමයා මෙසේ හැසිරිය යුතු ය., පිරිමි ළමයා මෙසේ හැසිරිය යුතු ය. මෙහෙම කලොත් එයා හොඳ ගෑණු ළමයෙක් ය., මෙහෙම කළොත් නරක ගැහැණු ළමයෙක් ය., මෙහෙම කලොත් පිරිමියෙක් ය., මෙහෙම කළොත් නපුංසකයෙක් ය වගේ අපිට සාමාජිය අර්ථකථන තියෙනවා. ඒ අර්ථකථන ඇතුලේ ගොඩක් වේලාවට මිනිස්සු හිර වෙනවා. පවුල කියන ඒකකය ඇතුලේ ගැහැණියට දීලා තියෙන කාර්යභාරයන් නිසා ගොඩක් වෙලාවට මිනිස්සු දකින්නේ ඒ හරහා එන "දෙන ලද ස්ත්‍රිය" මිසක් "සැබෑ ස්ත්‍රිය" නොවේ. එහෙත් ස්ත්‍රියගේ සැබෑ ස්වරූපය දකින මිනිස්සුත් නැත්තෙත් නෑ. ස්ත්‍රියත් උත්සාහ කරනවා දෙන ලද රාමුව ඇතුලේ කොටු වෙන්න. ස්ත්‍රියව බලන කෙනාත් ඇයගේ රාමුව විතරයි කියවන්නේ. ජාතිය, ආගම, ලිංගික අනන්‍යතාවය කියන දේවල්වලටත් මේ රාමුව අදාලයි. ඒක ඇත්තට ම හරිම කණගාටුදායකයි.
3.සහකාරයෙක් හෝ සහකාරියෙක් ආදරේදි හමුවුණත් ඇයි සමහරක් වේලාවට ලෝකයට හොරෙන් තව කෙනෙක් රසවිදින්නේ?
මම සත්ත්ව විද්‍යාව ඉගෙන ගෙන තියෙනවා ටිකක්. සත්ත්ව විද්‍යාවේ සත්ත්ව චර්යා කියලා පාඩමක් තියෙනවා. ඒ පාඩමේ අපිට උගන්වනවා යුගල් චර්යාව දක්වන සත්තු කියලා සත්ත්ව කොට්ඨාශයක්. එයාලා ජීවිත කාලෙ ම එක්කෙනෙක් එක්ක විතරයි ඉන්නේ. ඒත් අපි මානව සංස්කෘතිය දිහා ඉතිහාසයේ සිට බැලුවොත් ඉතා පැහැදිලිව තේරෙනවා මනුෂ්‍යයා කියන්නේ යුගල් චාර්යාව දක්වන සත්ත්වයෙක් නොවේ කියලා. එයා ගොඩක් දෙනාට ආකර්ෂණය වෙනවා. ඒ නිසා මනුෂ්‍යයා කියන්නේ ලිංගිකව ගොඩක් දෙනාට ආකර්ෂණය වන සත්ත්වයෙක්.
4.ලිංගීකත්වය කියන සාධකය නිසා ලංකාවේ ස්ත්‍රි,පුරුෂ සියල්ලෝ ම බැටකන්නේ ඇයි?
එයාලා දැඩි ලෙස බැට කනවා. මිනිසා කියන්නේ සමාජ සත්ත්වයෙක් වගේ ම, ඉතා පැහැදිලිව ලිංගික සත්වයෙක්. ගොඩක් වෙලාවට අපේ සමාජය අර්ථකථනය කරලා තියෙන දේවල් ඇතුලේ මනුස්සයා ලිංගික සත්ත්වයෙක් කියන කාරණය සම්පූර්ණයෙන් ම අමතක කරලා තියෙනවා. දෙන ලද ලිංගික චර්යාවන්, දෙන ලද ස්වාමියා, විවාහය, ළමයි මෙහෙමයි හදන්න ඕනේ, මේ වයසේදියි සෙක්ස් කරන්න ඕනේ කියලා දෙන ලද චර්යා සමුහයක් දීලා තියනවා. එතනදි සුළුතර ලිංගික ප්‍රජාවට කිසිම දෙයක් නෑ. Transgender කෙනෙකුට හරි, Gay මනුස්සයෙකුට හරි,Lesbian ස්ත්‍රියකට හරි ඒගොල්ලන්ගේ ලිංගික අවශ්‍යතාවයන් මොනම විදිහකින් හෝ ඉටු කරගන්නේ කොහොමද හෝ ඒකේ නීත්‍යානුකූලභාවය හෝ මානුෂිකභාවය අපේ සමාජය කොයි වෙලාවකවත් පිළිගන්නේ නෑ . අපි පිළිගන්න විෂම ලිංගික චර්යාව ඇතුලේ වුණත් විවාහයට කලින් දෙන්නෙකුට ලිංගිකව එකතු වෙන්න බෑ. ඒක ලේසි දෙයක් නෙමෙයි. එහෙමත් Guts තියෙන කොල්ලෙක් හෝ කෙල්ලෙක් තමයි ඕක පැනලා තමන්ව හොයාගන යන ගමන යන්නේ. අපි රාමුවකට සීමා වෙනවට වඩා තමන් කවුද ? තමන්ට මොනවද ඕනේ ? තමා මොනවටද කෑමති වගේ දේවල් හොයාගැනීමේ ගවේෂණයට යන්න ඕනේ. හැබැයි එහෙම Guts තියෙන අය ගොඩක් අඩුයි. ගොඩක් වෙලාවට අපි කරන්නේ දෙන ලද අච්චුවට හරියන්න Fit වෙලා ලිංගික ජීවිතයත් ඒ වගේ ගතකරනවා. සමහරක් විවාහක ස්ත්‍රීන් ජීවිත කාලය පුරාවට ම සුරතාන්තය ලබලා නෑ කියලා මම සමහරක් Resach papersවලින් කියවලා තියෙනවා. ඇත්තටම ඒක හරිම ඛේදනීයයි. දෙන ලද අර්ථකථනය ඇතුලේ ස්ත්‍රිය කියන්නේ ලිංගිකත්වය රසවිඳින කෙනෙක් නෙමේයි. ස්ත්‍රිය කියන්නෙත් මනුස්සයෙක්. එයාටත් ලිංගිකත්වය රසවිඳීමේ,තමන්ට කැමති දෙයක් කිරීමේ අයිතිය තියෙනවා. ලිංගිකත්වය කියන්නේ තනි පුද්ගලයෙක් කරන දෙයක් නෙමෙයි. දෙන්නෙක් හෝ ඊට වඩා වැඩි සංඛ්‍යාවක් රසවිඳිමින් කරන දෙයක්. අනිවාර්යෙන්ම ඒක ප්‍රීතිදායක, රසවත් දෙයක් විය යුතුයි. නමුත් ඒක ගොඩක් වේලාවට දුක්බර, කටුක, අමාරු,විසුළුසහගත දෙයක් විදිහට අපි පත් කරගෙන තියෙනවා.
* ඒ කියන්නේ අපි ලිංගිකව ගොඩක් අවාසනාවන්තයි.
අනිවාර්යයෙන් අපි ලිංගිකව ගොඩක් අවාසනාවන්තයි. යුරෝපයේ රටක ටික කාලයක් හරි ජීවත් වෙච්ච මනුස්සයෙක් දන්නවා තමන් කවුද, තමන්ගේ ලිංගික අනන්‍යතාවය හෝ රස වින්දනය හොයා ගැනීමේ වපසරියක් කොතෙක්ද කියලා. ඉතින් ගොඩක් වෙලාවට ඒක අපේ තරුණ පරම්පරාවට අහිමි. අපි Park එකක වුණත් kiss කරන්න ඕනේ හරි බයේ. එළිය අත් අල්ලාගෙන ගියොත් ඒක හරි විකාරයක් තව කෙනෙක්ට. සිපගැනිම වගේ සරල දෙයක් එහෙම නම් ඊට එහා දෙයක් කොහොමද ? ඉතින් ඒක හරි විකාර සහගතයි වගේම දුක්බරයි. ඒකට අපේ අධ්‍යාපන ක්‍රමයත් වගකියන්න ඕනේ. මම කියන්නේ නෑ ඒ අදහස පොල් බූරු නිදහසක් විය යුතුයි කියලා. අපේ අයත් එක බුද්ධිමත්ව භුක්ති විඳින්නත් දැන ගන්න ඕනේ. පහුගිය දවසක ගැහැණු ළමයෙක් ගාව කොන්ඩම් තිබණා කියලා ඒක News එකක් වුණා. ගැහැණු ළමයෙක් තමන්ගේ ආරක්ෂාවට කොන්ඩම් එකක් ගෙනියනවා නම් එයා බුද්ධිමත් ගෑහැණු ළමයෙක්., ඒක පැසසිය යුතුයි. අන්තිමට ඒක පත්තරයක පුවතක් වුණේ ඒයා වල් ගැහැණු ළමයෙක් කියලා සමාජයට ඒත්තූ ගන්නලා. ගබ්සා අච්චරයි මෙච්චරයි, HIV positive කියන්නේ මිනිස්සු කොහොමත් ලිංගිකත්වයට නැඹුරුයි කියන එක. ලිංගිකත්වය ගැන නිසි අධ්‍යාපනයක් නැති නිසා නෙමෙයිද එහෙම වෙන්නේ. ඒ නිසා අපේ අධ්‍යාපනයෙන් සහ සංස්කෘතියෙන් ලිංගිකත්වය බුද්ධිමත්ව රසවිඳින්න මිනිස්සුන්ට දැනුමක් දීම අවශ්‍යයි.
5.මිනිස්සු අතීතය එක්ක මෙච්චර දීග කන්නේ මොකද ?
අතීතය හරහානේ අපි එන්නේ. අතීතයක් නැතුව මනුස්සයෙක් නෑ කියලයි මං හිතන්නේ. මට මගේ පොඩි මගේ පොඩි කාලේ අමතක කරලා ලොකු මනුස්සයෙක් වෙන්න බෑ. මිනිස්සු හැමතිස්සේ ම ගොඩාක් අතීතකාමී. අනිත් එක අපේ ඇරියස් අපි අරගෙන එන්න අතීතයෙන්. මිනිසාගේ ලිංගික චර්යාව ගත්තත්,වෙන ඕනෑම සමාජයිය චර්යාවක් ගත්තත් අතීතය කියන එකට ගොඩක් දුරට අදාලයි. ඒක මං හිතන්නේ මනුෂ්‍ය ස්වභාවය. දැන් ගඩොල් බිත්තියක් ගත්තොත් උඩ ගඩොල් තියෙන්නෙ යට ගඩොල් උඩනේ. අපි හැමෝටම Self dialogue එකක් තියෙනවා. එතනදි මම මගේ අතීතයත් එක්ක කතා කරනවා. මට අතීතයේ වෙච්ච දේවල් මොනවාද , මගේ අම්මා කොහොමද මාව හැදුවේ , කවුද මට ගැහුවේ , කවුද මට ආදරය කළේ වගේ දේවල් ඔයා, මම, අපි හැමෝ ම අපෙන් අහා ගන්නවා. ඒකෙන් තමා අපි ගොඩ නැගෙන්නේ. අපි කවුද කියන පුද්ගලයා හදන්නේ අතීතයෙන්.
* නමුත් කලාකරුවා කියන පුද්ගලයා සාපේක්ෂව ගොඩක් අතීතය එක්ක ගනු දෙනු කරනවා නේද ?
මං හිතන්නේ තමන්ගේ ප්‍රකාශන මාධ්‍යය විදිහට චිත්‍රය හරි, කෙටිකතාව හරි, සංගීතය හරි, කවිය හරි වෙනත් ප්‍රකාශන මාධ්‍යක් තෝරාගන්නා කලාකරුවා අනිත් අයට වඩා අධිසංවේදී ගුණයෙන් යුක්තයි. මං ඒකෙන් අදහස් කරන්නේ නෑ අනිත් මිනිස්සු සංවේදී නෑ කියලා. එයාලගේ අධිසංවේදීත්වය හරහා නිර්මාණය තුළින් එයාගේ අතීතය ඉබේම වැමැරෙනවා. ඒක නතර කරගන්න බැරි ප්‍රවාහයක්. කලාකරුවෙකුට තමන්ගේ අතීතය ඔහුගේ කලා කෘතියට හෝ නිර්මාණයට අතිශය අදාළයි. ඕනෑ ම ලේඛකයෙකුගේ ඕනෑම කෘතියක් අරන් බැලුවොත් එහෙම ඒ පුද්ගලයාගේ අතීතය අපිට දකින්න පුළුවන්. ගහ ගලවනකොට මුලුත් ගැලවිලා එනවා වගේ අතීතයත් ඉබේ ම ගැලවිලා එනවා. අතීතය නැතිව Art piece එකක් කරන්න බෑ.
6.සම්බන්ධතාවයක අනෙකා අපගෙන් වෙන්ව යනවිට එය දරාගැනිමට ඔහු හෝ ඇය පිළිබදව හොද අවබෝධයක් තිබිය යුතු නොවේද ? එය ම ආදරයේ පැතිකඩක් විදිහට ඔබ දකිනවා ද?
මං ඒ ප්‍රශ්නයට එකග නැහැ. එහෙම වෙන්නත් පුළුවන්., එහෙම නොවෙන්නත් පුළුවන්. මං ආදරය කරපු කෙනෙක් මාව දාල ගියොත් එහෙම එයාට මං ගොඩක් ආදරෙයි සහ මං එයාට ගොඩක් බැදිලා නම් එයාගේ සතුට වෙනුවෙන් මං ඒක විද දරා ගන්නවා කියලා හිතන මිනිස්සු ඉන්නත් පුළුවන්. නමුත් ඊට වඩා වෙනස් අයත් ඉන්න පුළුවන්. ඒක මං හිතන්නෙ පුද්ගලභාවය මත Depend වෙනවා. පෞද්ගලිකව මම නම් මුලදී දුක් වෙයි. නමුත් ආදරේ හින්දා ඒ දුක දරා ගන්නවා කියලා මම හිතන්නේ නැහැ. පෞද්ගලිකව මම පිළිබඳව, මම කොහොමද survive වෙන්නේ, මම ජීවත් වෙන්නේ කොහොමද කියන කාරණය තමයි එතනදි අවංකවම මම මූලික කර ගන්නේ. එතන ආත්මාර්ථකාමීත්වයක් තියෙනවා. එක්කෝ මට දුකයි., මට ඉවසගන්න බෑ කියලා මැරෙන්න ඕනේ., එහෙම නැත්නම් මම ජීවත් වෙන්න ඕනේ. ඒ දෙකෙන් කොයිකද කියන එක මම තීරණය කරන්න ඕනේ. ඒකෙදි ඒ අපිට කියන්න පුළුවන් මං එයාට ආදරේ නිසා මම ඒක ආදරේ කොටසක් විදිහට මැරෙනවා කියලා. එහෙම කරන අයත් ඇති. නමුත් මම ඒ ගොඩට අයිති වෙන්නේ නෑ. එක මම survive වීම ගැන කාරණාවක්.
7.ඇතැම් මිනිසුන් තවත් මිනිසෙකුගේ ලිංගිකත්වයට එරෙහි වන්නේ ඇයි ?
ඒක ශිෂ්ටාචාරය පුරාවට ම තිබුණ දෙයක්. ඒක මනුෂ්‍යත්වය සම්බන්ධයෙන් දියුණු ආකල්ප තිබුණු තැන්වල ඒක තේරුම් අරගෙන හොඳ විදිහට බාර ගන්නවා. හැබැයි නොදියුණු සමාජ වල ගොඩක් වෙලාවට ඒ දේ එහෙම වෙන්නේ නැහැ. අර මං කලින් කිව්වා වගේ දෙන ලද ලිංගික ආකෘති විතරයි භාර ගන්නේ. එතනින් එහා දේවල් අදාල නැහැ. එයාලා හිතනවා ඒ දේවල් සමාජයේ පැවැත්මට තර්ජනයක් හෝ තමන්ගේ පෞරුෂයට තර්ජනයක් හෝ නැත්නම් ඉදිරියේ දී තර්ජනයක් වෙයි කියලා එයාලා බය වෙනවා. ඇත්තටම ඒක හාස්‍යජනකයි. එහෙම එකක් නැහැ.LGBTQ ප්‍රජාවට ඔය කාරණය ගොඩක් වේලාවට බලපානවා. අපේ වගේ සමාජ ක්‍රමයකදී ඔය ප්‍රශ්ණය ගොඩාක් නරක විදිහට බලපානවා. ඒ වගේ ම විෂමලිංගික මනුස්සයන්ටත් ඔය ප්‍රශ්නයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒකට හේතුව අපේ සමාජය තියෙන ලිංගික සාක්ෂරතාවයේ දුර්වලකම. ඇත්තටම ඒක අපේ අධ්‍යාපන ක්‍රමයේ මෙන්ම පවුල ඇතුලේ දෙන සමාජයිය පුහුණුව සහ සමාජය විසින් තීරණය කරනු ලබන වටිනාකම්වල පටුබාවය තමයි ඒකෙන් හෙළිදරව් වෙන්නේ. ඉතිං ඒක ඇත්තටම කනගාටුදායකයි.
8.ඔබේ ලියමන් හරි සැහැල්ලුයි...
කිය වන පුද්ගලයාට සැහැල්ලුවක් දැනෙන විදියට ලියන එක තමා මං හිතන්නෙ අමාරු. ඒක ලියන මනුස්සයාට ලේසි නැහැ. මම දැන් ලියන දේ දකින්නේ හුදු භාවයන් විමෝචනය කරලා සැහැල්ලු වෙන්න ලියන එකයි, ඒ සඳහා තව කෙනෙක් ඉලක්කගත කරන ආමන්ත්‍රණය කරන එකයි දෙකක් විදිහට. මම ඩයරියේ ලියන එකයි, මම ඔයාට පොතක් ලියලා කියවන්න දෙන එකයි දෙකක්. හැබැයි ඩයරිය විශිෂ්ට කෘතියක් වෙන්නත් පුළුවන්. ඈන් ෆ්‍රෑන්ක් ඩයරියක් ලිව්වේ එයාට. නමුත් එක විශිෂ්ට කෘතියක් වුණා. හැබැයි හැම එක්කෙනාගේ ම ඩයරි එහෙම වෙන්නේ නෑ. ලිවීම කියන්නේ තමන්ව නිදහස් කරගන්න ගමන් ම හෝ ඒ අරමුණින් තොරව තව කෙනෙක් සඳහා කරන දෙයක්. ඒ සැහැල්ලුව ගන්නත් ලේසි නැහැ. මම දකින විදිහට ඒකට අපි හිතන්න ඕනේ සහ අභ්‍යාසය තියෙන්න ඕනේ වැඩක් කියලා මම විශ්වාස කරනවා. සැහැල්ලූ වාක්‍යයක් ලියනවා කියන දේ සැහැල්ලු නැහැ.
* එහෙම ලියන්නේ කොහොමද ?
ඒකේ technique එක මෙහෙමයි කියන්න මට තේරෙන්නේ නැහැ. ඒක එක එක්කෙනාට වෙනස්. මම ලියන විදිහට නෙමේයි දමිත් උදයංග දහනායක ලියන්නේ. දමිත් ලියන විදිහට නෙමෙයි ජයතිලක කම්මැල්ලවිර මහත්තයා ලියන්නේ. එක එක්කෙනාට අදාළ විලාසිතා, වර්ණ, හැඩතල, ආර තියෙනවා. ඒ ආරවල් හැම තිස්සේ ම fixed වෙන්නෙත් නෑ හැබැයි. අපි කියවන දේවල් ,අහන දේවල්, අපේ වයස, අත්දැකීම් ඒකට බලපානවා. මම "මලක් කතා කරයි" පොතේ ලියපු විදිහට නෙමෙයි මගේ අලුත් කෙටිකතා පොත ලියලා තියෙන්නේ. මනුස්සයෙක්ට සැහැල්ලුවක් දැනෙන විදියට ලියන එක හරිම අමාරු වැඩක්.
මම ලිවීමේදි මවා ගන්නවා ඉලක්කගත පාඨකයෙක්ව. මට හැමතිස්සෙ ම කතා කර කර, ඇවිද ඇවිද ලිවීමේ පුරුද්දක් තමයි තියෙන්නේ. එතකොට මම මගේ ඉලක්කගත පාඨකයා එක්ක කතා කරනවා. එයා මම වෙන ගමන් ම, මම නෙමෙයි. එයා මගෙන් ප්‍රශ්න අහනවා., එයත් එක්ක මට සංවාදයක් තියෙනවා. "දැන් මෙහෙම ලිව්වොත් මට තේරෙයි ද ?" වගේ. මම ඒකත් ඔලුවේ තියාගෙන තමයි උත්තර දෙන්නේ. ඉතින් ආයේ ලියපු දේ කප කප හද හද තමයි final product එක එන්නේ. "මලක් කතා කරයි" පොත ආයේ කීයවද්දි එකේ සමහර කතා මට out. සමහර තැන් තියෙනවා "ඇයි මං මේක මෙහෙම ලිව්වේ? මේක මෙහෙම ලිව්වා නම් හොඳයි නේද" කියලා හිතෙන. පොත ලිව්වායින් පස්සේ කර්තෘ මැරෙනවා. එතැනින් එහාට කෘතිය අරගෙන යන්නේ පාඨකයා. හැබැයි මම නතර වෙච්ච තැන ඉදලා පාඨකයෙක් විදියට ඒකත් එක්ක යනවා. එතකොට මම පාඨකයෙක්. එහෙම බැලුවාම ඉලක්කගත පාඨකයෙක් සඳහා මගෙත් එක්කම කතා කර ගනිමින් ලියන ගනුදෙනුවත් ඒක. ලිවීම කියන්න හරිම සංකීර්ණ process එකක්. බැලූ බැල්මට කඩදාසියක්, පෑනක් හෝ Computer එකක් තිබුණාට, ලියන්නට කතාවක් තියෙන එකෙන් විතරක් ම අපට ලියන්න බෑ. ඒකට මම හිතන්නේ තව ජාති ටිකක් ඕනේ. ඒ වගේම කියවීමත් වැදගත්. එහෙම නොකර ලියපු ගොඩක් අය ලෝකයේ ප්‍රසිද්ධ වෙලා තියෙනවා . ඒකට ඒ ගොල්ලන්ගේ විශේෂ දක්ෂතාවයක් හේතුවෙන් ඇති. සාහිත්‍ය ඉගෙන ගෙන ලියන්න පුළුවන් මිනිස්සුත් ඇති. නමුත් ලිවීමට Training එකක් ඕනේ., විධිමත් හෝ අවිධිමත් විදිහට . දැන් ගොඩක් වෙලාවට විශ්ව විද්‍යාලවල සාහිත්‍ය අධ්‍යයන අංශවලින් ලේඛකයෝ බිහිවෙනවා අඩුයි. ලේඛකයෝ ගොඩක් වෙලාට බිහිවෙන්නේ එළියෙන්. ඒකෙන් කෙනෙක්ට තර්ක කරන්න පුළුවන් ලියන්න අධ්‍යනයක් ඕනේ නෑ කියලා. ඒකට හේතුව තමයි එළියේ ඉන්න මිනිස්සු ගාව බඩු තියෙනවා. ඇතුලේ ඉන්න අයට බඩු නෑ කියන එක නෙමෙයි මම කියන්නේ. බඩු තියෙන ගමන් ඉලක්කගත පාඨකයාට ලිවීමේ යම් කිසි කුසලතාවයකුත් අවශ්‍යයි. බඩු ම ප්‍රමාණවත් නැත.
9.මිනිස් ජිවිතය මෙච්වර හැඩ අප කෑමති අයුරින් අපට වෙනස් වෙන්නට බැරි නිසා ද ?
මම විශ්වාස කරන්නේ නෑ මිනිස් ජීවිතේ හැඩයි කියලා. හැබැයි විවිධත්වය තියෙනවා. ඒත් මිනිස් ජීවිතය හැඩ නැහැ. කවුරු හරි ලංකාවේ මිනිස්සු සීයක් අරගෙන, ඇහුවොත් ඔයා සතුටින් ද ඉන්නේ කියලා මම හිතන්නේ නෑ ගොඩක් දෙනෙක් "මම සතුටින් ඉන්නේ., මගේ ජීවිතය හැඩයි" කියලා කියාවි කියලා. දෙන ලද සංකල්ප, ආකල්ප මුදල් සහ අධ්‍යාපනය, තමන්ට තියන ශරීර ස්වභාවය, තමන්ගේ ආර්ථික මට්ටම කියන දේවල් එක්කලා මිනිස් ජීවිතය හරිම සංකීර්ණයි. සමහර වෙලාවට අපි ගම උත්ප්‍රාසයට ලක් කරනවානේ. දුප්පත් මිනිස්සු හොඳයි., දුප්පත් මිනිස්සු පව්., ලස්සන ජීවිත ගත කරනවා., ඇලේ නානවා කියලා. නමුත් ඇත්තටම ගමට ගිහිල්ලා බැලුවොත් ඒ ජීවිත එහෙම නැහැ. පිටින් බැලුවම හැඩයි කියලා හිතෙන ජීවිත, ඇත්තට ම හැඩ ද කියන ප්‍රශ්ණය ඒ මිනිස්සුන්ගෙන් අහන්න වෙනවා. මං හිතන්නේ නෑ අපේ වගේ රටක මිනිස් ජීවිතය හැඩයි කියලා.
* ජීවිතය ලස්සනයි කියලා හිතනවා ද ?
අවබෝධය සහ තේරුම් ගැනීම ඇතුව තමන්ගේ උගුලෙන් ගැලවිච්ච මිනිස්සුන්ගේ ජීවිත ලස්සනයි. අනිත් අයගේ ජීවිත ගොඩක් වෙලාවට ඛේදයක්. මිනිස්සුන්ට සල්ලි හම්බ කරන්න පුළුවන්., ලස්සන උපයගන්න පුළුවන්. හැබැයි සතුටු උපයගන්න එක වෙනම කාරණයක්.
10.අප තනි විම නිසා අපට ලැබෙන්නේ මොනවාද ?
තනි වීම නිසා අපිට Self Dialogue එකට අවකාශයක් ලැබෙනවා. තමන් සමග කරන සංවාදය හැම මනුස්සයෙකුට ම වටිනවා. ඒකට ලොකු අවස්ථාවක් ලැබෙනවා තනි වීම නිසා. නමුත් ඒකත් පුද්ගලභාවය මත වෙනස් වෙනවා. සමහර මිනිස්සු තනි වීම විදිනවා., සමහර මිනිස්සු තනි වීම විදවනවා. නමුත් තනි වීම නිසා වෙන හොඳම දෙය නම් තමන් සමග සුහද , අවංක සංවාදයක් නිර්මාණය කර ගන්න අවකාශය තැනීමයි. දර්ශනවාදයේ තියෙන ලෝකෙ ලොකුම ප්‍රශ්න කිහිපයෙන් එකක්නේ "මම කවුද ?" කියන එක. මම කවුද කියන එක ඇත්තටම විසඳගන්න පුළුවන් තනිව ම සංවාද කිරීමෙන්. දැන් ඔබේන් හෝ මගේ කාර්යාලයේ මිත්‍රයෙක්ගෙන් මම කවුද කියන ප්‍රශ්නය ඇහුවොත් ඔය දෙන්නා ම දෙන උත්තරේ දෙකක්. හැබැයි ඇත්තට ම මම කවුද කියලා දන්නේ මම. ඒක මමත් එක්ක කතා කරලා ගන්න ඕනේ උත්තරයක්.
11. මිනිස්සුන්ට මතක හිටින වචන ගෙන එක කවියෙක්ට කොච්චර අමාරු වැඩක් ද ?
මිනිස්සුන්ට මතක හිටින වචන ගේනවා කියලා කවියො සැලසුම් කරලා කරන වැඩක් නෙමෙයි ඒක. ඒක අවිඤ්ඤාණිකව වන දෙයක්. ඒක කවියෙකු සතු වාක්කෝෂය මත තීරණය වන දෙයක් නෙවෙයි. ලොකු වාක්කෝෂ තියෙන පමණින් කෙනෙකුට කවියෙක් වෙන්න බෑනේ. මනුස්සයෙක් කවියෙක් වෙන්නෙ කොතනින්ද කියන එකත් මහා බැරෑරුම් ප්‍රශ්නයක් . ඒක එයාගේ සියුම්කම, එයා දේවල් දකින විදිහ සහ එයා දේවල් ඉදිරිපත් කරන විදිහ ඇතුලේ තමා අර මතක හිටින වචන, අපූරු සංකල්ප කියන දේ එන්නේ. ඒක කවියාගේ තියෙන තියුණුභාවයත් එක්ක වෙන වැඩක්. ඒක එයාගේ වාක්කෝෂය හෝ හිතාමතා කරන වැඩක් නෙමෙයි. ඒක බුද්ධිමය ගනුදෙනුවක්., බුද්ධිමය කාර්යයක්.
12. නිර්මාණයකින් අවසානයේ මතු කරන නිහඩතාවය මිනිස් හිතක කොච්චරක් දෝංකාරය නගනවා ද ? ඔබට ඒ වගේ නිහඩතාවයක් ගෙනදුන් නිර්මාණයක් තියෙනවා ද?
මං හිතන්නේ වැඩියෙන් ම සද්ද කරන්නේ නිශ්ශබ්දතාවය. වැඩියෙන්ම අපිව බය කරන්නේ සහ අපිව තිගැස්මට ලක් කරන ශබ්දය තමයි නිහඩතාවය. මම කියන්නේ නෑ නිර්මාණයක් නිශ්ශබ්ද විය යුතුයි හෝ නිර්මාණයක් ඝෝෂාකාරී විය යුතුයි හෝි සංගීත නාදයක් වගේ අනුනාද දෙමින් රිද්මයකට නිර්මාණය වීය යුතුයි කියලා. ඒක නිර්මාණය මත වෙනස්වන කාර්යයක්. සමහර නිර්මාණ ඝෝෂාකාරී. සමහර නිර්මාණ සෞම්‍යයි. සමහර ඒවා හරිම නිශ්ශබ්දයි. ඒක නිර්මාණයට අදාළ දෙයක්. නිහඬව නිර්මාණ ගොඩක් මාව තිගැස්මට ලක් කර තිබෙනවා. විශේෂයෙන් ඡායාරූප කලාව තුළ මම ඒ තිගැස්ම ගොඩක් දුරට අත්දකිමින් ඉන්නවා. හරි සද්ද පින්තූර තියනවා. ඒ වගේම නිහඬ පින්තූරත් තියෙනවා. හැබැයි ඒ නිහඬතාවය ඇතුලේ මහා භාවාත්මක ප්‍රකාශන පුපුරවා හරිනවා. අරක හොඳයි, මේක හොඳයි කියන්න මම ඉක්මන් වෙන්නේ නෑ. හැබැයි මම නිහඩතාවය සහිත කලා නිර්මාණවලට පුද්ගලිකව මම වැඩි කැමැත්තක් දක්වනවා. හැම නිර්මාණයකටම හඬක් තියෙනවා. කවියකට, කෙටි කතාවකට, චිත්‍රයකට, චිත්‍රපටයකට වගේ හැම දෙයකට ම හඬක් තියෙනවා.
මට ඒ වගේ නිර්මාණ ගොඩක් තියෙනවා. වෑංගෝගේ සමහර චිත්‍රවල නිහඩතාවය වගේ ම අර මුලින් කිව්ව විශාල ශබ්දයත් තියෙනවා. Still life, Departures , blissfully yours වගේ චිත්‍රපටි ගත්තොත් හරි නිහඬයි හැබැයි ඒ නිහඬ බවම මතු කරන හඬ හරි ප්‍රබලයි.
වැසිබරව තිබුණ ද කොළඹ අහස එදා අපේ කසුකුසුව ඉවරන තෙක් හැඩුවේ නැත. අහස ද අපේ කතා අසා සිටියා විය යුතු ය. මේ ගෙවන්නේ මගේ ජිවිතයේ හොදම දින කිහිපයක් ය. ඒ මට හමුවෙන මෙවන් ආදරණීය මිනිසුන් නිසාවෙනි.

                                                                                                                                  - අයන්ත යුනේෂ් ප්‍රනාන්දු -

Comments

Popular posts from this blog

සිංහල සිනමා වංශය

සමාජ යථාර්ථවාදය සහ සිනමාව .

කසුකුසුව 01 - රත්න ශ්‍රී විජේසිංහ සමඟ